වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සෙම්, පිත් නසන රෝග රැසකට සංයෝග කරන ආහාර සුවඳවත් කරන
කරාබු
ලවඩගං කටුකංතික්තං ලඝු නෙත්‍ර මිතං මිහ්හ දීපනං පාවනං රුව්‍යංපිත්තාසු නාශකාත් තෘෂ්ණා ජද්දි තථාධමානං ශුෂ්මාශු විනාශයෙන් කාසං ශ්වාසඤ්ච හික්කාඤ්ච කෂායං කෂ්‍යයතිධ්‍රැවම්
විශේෂයෙන් ගෙදර දොර අත් බෙහෙතක් ලෙස පාවිච්චි කරන කරාබු නැටි දත්කැක්කුමක් හැදුණු විට කරාබු කොළවල නැටි කපා කරාබු කොළ දතට තැබීම කරාබු නැටි තලා දතට තැබීම මෙන්ම ඇඟිලි තැලුණු විට කරාබු නැටි ඇල්දියෙන් අඹරා එය පාප්ප මෙන් සකසා තැලුණු ඇඟිල්ලට තබා බැඳීම කට ගඳගසනවාට කරාබු නැටි සැපීම ආදී රැසක්ම ඉටුකරන කරාබු නැටි ආහාර සුවඳවත් කිරීමට මෙන්ම පාරම්පරික හා ආයුර්වේද බෙහෙත්වලට ද යොදා ගන්නා ප්‍රබල ඖෂධයකි.
කරාබු නැටි, කකටුකයි තිත්තයි. සැහැල්ලුයි. ඇසට හිතයි. ශිතලයි. ගිණිවඩයි. පැසවීම කරයි. රුචි කරයි. සෙම පිත ලේ දොස් පිපාසාව වමනය, බඩපිපීම, රුජා, කුසි, ශ්වාසය, හික්කාව සහ ක්ෂය රෝගයද නැතිකරයි. කරාබු නැටි තෙල් ගුණයි.
දේව ප්‍රෂේපාදී භවංං තෛල මග්නිකඞස්ථාන නාශතම්
දන්න වෙෂ්ටකඵා රේතිඝ්නං ගභ¡¡ණ්‍යාවමනාපහම්
කරාබු නැටි තෙල් ගිණිවඩයි. වාතය නසයි. දත්වල බඳින හුණුගල් නැති කරයි. සෙම සහ ගැබිණින්ගේ වමන නසයි.
කරාබු නැටි ග්‍රෑම් සියයක පෝෂ්‍ය ගුණය ශක්තිය කැලරි දෙසිය අසූතුනයි. ප්‍රෝටීන් ග්‍රෑම් පණහයි. මේදය ග්‍රෑම් නමයයි. කැල්සියම් මිලිග්‍රෑම් හත්සිය හතළිහයි. යකඩ මිලි ග්‍රෑම් පහයි. මේදය ග්‍රෑම් නමයයි. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් හතළිස් පහයි. තයමින් මයික්‍රොග්‍රෑම් සියයි. ආයුර්වේදයට අනුව කරාබු නැටි හෘර්දයට සහ ඇස් රෝගවලට හිතකරය. බලවඩයි. සෙත් පිත් නසන ගුණයක් පවතී. බඩ පිපුම, කැස්ස සුව කරයි. බඩගිනි වඩයි. දත්වල හටගන්නා වේදනාව සමනය කරන ඖෂධයකි. මුළු තැන්ගෙට අවශ්‍ය කරන කුළු බඩුවක් වන කරාබුනැටි ශිත දේශගුණය පවතින ප්‍රදේශවල පහසුවෙන් වගාකළ හැකිය. කරාබු නැටිවලට සිංහලෙන් කරඳමුංගු කියාද කරාබු, දේවපුෂ්ප වශයෙන්ද සංස්කෘත භාෂාවෙන් උමංග කියාද ඉංගී‍්‍රසි භාෂාවෙන් ක්ලෝවිස් හින්දි භාෂාවෙන් ලෝංග් වංග භාෂාවෙන් ලවංග කියාද හඳුන්වන කරාබු නැටිවලට දෙමළෙන් හඳුන්වා ඇත්තේ කරම්බු යන නමිනි.
කරාබු නැටි සංයෝගයෙන් සකස් කරනු ලබන ඖෂධ අතර ශාන්ති රසය කරාබු, කලාඳුරු, වදකහ, ඉඟුරු, කළු දුරු අති විඩයන් කෙළිඳ ඇට අරළු, වැල්මී, තිප්පිලි මේවා සමභාගවගෙන තන කිරෙන් අඹරා ගුලිකරගන්නේ ය. මෙය ළදරුවන්ගේ බඩරුජා, කිරිපණුගාය, බඩදැඟලීම, වමන, ඔක්කාර, අතීසාර යන සියලු රෝගයන්ට ගුණවේ. සරස්වතී චූර්ණය කරාබු, කලාදුරු අල, ඉරිවේරිය, නාමල් රේණු, අමුක්කරා, අල බිං කොහොඹ, බිංතල් අල ඉදිබොඩ, සැවැන්දරා මුල්, එළනෙළුන් අල අගිල් දේවදාර එන්සාල්, සූදුරු තිප්පිලි, සුර ජීවක කල්කය කරාම් සාදිලිංගම් තිප්පිලි, කිරිගරුඩගල්, වැල්මී, වසාවාසී, සාදික්කා, සුවඳ කොට්ටම්, සවිඳලුණු, කළු දුරු , සූදුරු, අසමෝදගම්, සුදුපාෂානම්, සුදුලූණු, ගම්මිරිස්, අරළු, බුළු, නෙල්ලි, ශුද්ධ අත්තන ඇට, කංසා ඇට, කුඹුරු ඇට, මද, අබ මෙම කල්කය අතීසාරය ඇතුළු රෝග රැසකට යොදාගනු ඇත.
කරාබු ශාකයේ වගාව සිදුවන්නේ බීජ මඟිනි. පළමුව ශාකය මීටර් තුනක් හතක් පමණ උසට වැඩේ. අතුරිකිලි උඩු කුරුව විහිදේ. මුහුදු මට්ටමේ සිට අඩි පන්සියයක් පමණ උසට බෑවුම් සහිත වැලි මිශ්‍ර ලොම් පසෙහි සාර්ථකව වැවේ. කරාබු බීජ ඇතිවීමට සති දෙකක පමණ කාලයක් ගත වේ. බීජ තවාන් කරන ලද බඳුන් හෝ මළු සිසිල් සේවණේ තැබිය යුතු ය. තවානේ මාස දහසයක පමණ කාලයක් තිබීමෙන් පස තුළ සෙන්ටිමීටර් තිහක් පමණ වැඩුණු පසු පැළ සිටුවීමේ කාර්යය ආරම්භ කළ යුතු ය. හොඳින් වැඩෙන තුරු තෙතමනය සහ සෙවණ තිබිය යුතු ය. පැළ සිටුවා වර්ෂ අටක් ගමණ ගතවීමෙන් පසු මල් හට ගනී. කරාබු පත්‍රයක දිග සෙ.මී. දොළහක් පහළොවක් පමණ වන අතර පරතරය සෙ.මි. හයක් හතක් පමණ වේ. කරාබු මේරූ කොළ කහපාටය කොළ පොඩිකළවිට කරාබු නැටි සුවඳ වහනය වේ. මල් පීදීම ආරම්භ වන්නේ දෙසැම්බර්, ජනවාරි මාසවලය. මල් හටගන්නා විට සෑම නටුවකම මල්තුන බැගින් හටගනී.
කරාබු ගෙඩි එකම බීජයක් සහිතව රෝස පැහැතිය. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාර වශයෙන් ද බොහෝ ප්‍රයෝජනවත්වන කරාබු නැටි සුළු සුළු අසනීපවලට සුවය ගෙන දෙන මහත් ප්‍රයෝජනවත් ඖෂධයකි. කරාබු නැටි තෙල් ඖෂධ සඳහා මෙන්ම සබන් දත් බෙහෙත් හා වෙනත් ද්‍රව්‍ය සුවඳවත් කිරීමට යොදා ගනිති.
මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි
සටහන
එස්.එස්. එස්. ප්‍රනාන්දු