වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මේ යුද්ධයෙන් කිසිම තේරුමක් නැහැ...
සතුරු සේනාවේ නායකයා වූ සිම්ජාත්, ඔහුගේ දෙවැනියා ලෙස බලය පතුරුවාගෙන සිටි වයඹදිග කාන්තාරවාසී ගෝත්‍රික නායක හරේරාත්, හෙළ රණශූරයන්ගේ අතින් ක්‍රෑර ලෙස මරණයට ගොදුරු වෙද්දී නැගෙනහිර දිග ෆූනෝ දූපත් වල ඉග්ලීස් රජු ත්‍රස්ත වී ගියේය. දැන් මුළු මහත් සතුරු සේනාවටම නායකත්වය දිය යුත්තේ තමාය. සියලු වගකීම් තම කර පිටට වැටී ඇත. මීළඟට සිදු වනු ඇත්තේ කුමක්ද? ඉග්ලීස් රජුගේ හිස තෝන්තු වී ගියේය.
හෙළ දෙරණ ආක්‍රමණයට පෙරාතුව සිම්ජා විසින් තමන්ට වර්ණනා කර ගොතා කියූ සියලු
තොරතුරු මුසා බස් බව දැන් ඉග්ලීස් රජුගේ දෙනෙත් ඉදිරිපිටම ප්‍රත්‍යක්‍ෂ වී ඇත. අඩ නිරුවත් රූමතියන්, ඇත් දළ, මුතු මැණික්, පුස්කොළ පොත්, සාගරයේ දුර්ලභ ගණයේ මසුන්, වටිනා
ඖෂධ... මේ සියල්ල ලබා ගන්නට හැකි බව සිම්ජා පුන පුනා කී අයුරු ඉග්ලීස් රජුට මැවී පෙණුනි. මුසා බසින් මුළාකොට සිම්ජා තමාත්, තම හිතෛශී සෙබළ පිරිසත් ගෙනවුත් දමා ඇත්තේ මොන තරම් විශාල මර උගුලකට ද? ඔහු කියා සිටි තරම් හෙළයින් පහත් මිනිසුන් නොවේ. තත්පර කිහිපයක දී ආයුධ සන්නද්ධ යෝධයින් සිය ගණනක් තනිවම ඝාතනය කළ හැකි අති දක්‍ෂ සටන් ශිල්පීන්, ඉග්ලීස් රජු ඇස්පනාපිට දුටුවේ පළමු වරටය. එසේම හෙළයින්ගේ යක්‍ෂ ගෝත්‍රික සටන් ශිල්ප කලාව වැනි සටන් කලාවක් ඔහු ජිවිත කාලය පුරා අසා තිබුණේවත් නැත. සතුරු සේනාවේ ලක්‍ෂයකටත් අධික සෙබළුන්ගෙන් දැන් ඉතිරිව ඇත්තේ තිස්පන් දහසකටත් වඩා අඩු ප්‍රමාණයකි. එක් දිනයක දී මිනිසුන් හැට දහසකටත් වඩා මරා දැමීමට තරම් හෙළයින් ගේ රණ ශූරයින් ප්‍රබල පුද්ගලයින් බව ඉග්ලීස් රජු පසුතැවීමෙන් කල්පනා කළේය.
තමා සමග පැමිණි සෙබළුන්ගෙන් ද බොහෝ පිරිසක් මේ වන විට මිය ගොස් හෝ දරුණු ලෙස
තුවාල ලබා ඇත. දැවැන්ත හස්තීන් සහ දරුණු යුද අශ්වයන්ගේ බළ ඇණි සියල්ලම දැන් හෙළයන් විසින් කඩුගා දමා අවසන්ය. මේ සටනේ තේරුම කුමක්ද? තව දුරටත් සටන් කළහොත්, තමා ඇතුළු ඉතිරි සියලුම සතුරු සේනාවට අත්වන ඉරණම ගැන ඉග්ලීස් රජු තාන්තුවාවෙන් මෙන් කල්පනා කළේය. සිම්ජාගේ බසට රැවටී පැමිණියද, ඉග්ලීස් රජු යනු කිසිවෙකුටත් කරදරයක් නොමැති ඉතා අහිංසක පුද්ගලයෙක් වූයේය. ඔහුට තම බිරිඳ සහ දූ දරුවන් සිහි විය.
අහස පොළොව ගැටලමින් කල්පනා කළ ඉග්ලීස් රජු සමීපයට ඔහුගේ ප්‍රධාන සෙනෙවියාත්, පරිවාර
සෙනෙවියන් කිහිප දෙනෙකුත් පැමිණියහ. එසේම සිම්ජාගේ සහ හරේරාගේ සේනාවන් ගේ ජීවතුන් අතර සිටි සෙනෙවියන් කිහිප දෙනෙක්ද ඔවුන්ට ළං වූහ. ඉග්ලීස් රජු පරාජිත බැල්මකින් ඔවුන් දෙස බැලීය.
“අවසර රජතුමනි... ඔබ වහන්සේ ගේ නියෝග අප බලාපොරොත්තු වෙනවා. දැන් අපගේ නායකයා වශයෙන් ඉතිරිව ඇත්තේ ඔබතුමා පමණයි. අප කරන්නේ කුමක්ද? අපගේ ජීවිත පූජා කර හෝ සටන් කරන්නද? නොඑසේ නම්...”
සිය දෑත් ඔසවා ඉග්ලීස් රජු තම සෙනෙවියා නිහඬ කරවූයේය.
“මේ යුද්ධයෙන් කිසිම තේරුමක් නැහැ...”
ඔහු බැරෑඬි හඬින් කීවේය. ඔහු වටා සිටි සියලුම සෙනෙවියන් සහ නායක සෙබළුන් බලාගත්
බැල්මෙන් ඉග්ලීස් රජු දෙස බලා සිටියහ.
“අප සිම්ජාගේ බසට රැවටුණා. ඔහු අපව කැඳවාගෙන ආවේ විශාල උගුලකට. ඒක ඔහුගේ මෝඩකම. ඇත්ත වශයෙන්ම අප මේ ආක්‍රමණයට එන්න පෙරාතුව කල්පනා කරන්නට තිබුණා. හෙළ රණශූරයින් දක්‍ෂයින් බව මා අසා තිබුණත්, ඔවුන් සතුව මේ තරම් ප්‍රබල සටන් ශිල්පයක් සහ මේ තරම් දරුණු රණශූරයින් සිටිනා බව මා කවදාවත් දැන සිටියේ නැහැ. පෙරදිග ලෝකයේ පාරාදීසය වශයෙන් හෙළ දේශය හඳුන්වන බව මා අසා තිබුණා. හෙළයින් යනු ආගන්තුක සත්කාරයේ උත්තරීතර පුද්ගලයින් බව මාගේ පිය රජතුමන් කිහිප වරක් පවසා සිටියා. මා මෝඩයෙකු වුණා. මා නිසා සිය ගණනක් අපේ දේශවාසී අහිංසක මිනිසුන්ගේ ජීවිත අහිමි වුණා. තවත් සටන් කළහොත් අප සියලු දෙනාටම අත් වන්නේ මේ ඉරණමමයි. අප සියලුම දෙනාට අඹු දරුවන් සිටිනවා. මා කෙලෙසද...”
තව දුරටත් කථා කරගත නොහැකි වූ මේ සංවේදී මිනිසා උක්කුටිකව බිම හිඳගෙන දෝතින් මුහුණ වසාගෙන ඉකි ගසමින් වැළපෙන්නට වූයේය. සත්‍ය වශයෙන්ම ඉග්ලීස් රජු යනු සාමකාමී පාලකයෙක් වූයේය. ගොවිතැනින් සහ කිරි ගවයින් ඇති කරමින් ජීවත් වූ ඔවුන්ගේ ගෝත්‍රික පාලනය යටතේ ජන ජීවිතය ඉතාම නිසංසලේ ගලා ගියේය. ඒ අතරතුර ඇති වූ මේ නොසිතූ ඇබැද්දියෙන් සිය ගණනක් තම ජනතාව මරු තුරුළට ගොස් ඇත. තමා ඔවුන්ගේ පවුල් වලට වග කිව යුතුය. මේ නායකයාට එය දරාගත නොහැකි වූයේය.
මෙහිදී වැළපෙන තම නායකයා වටා සියලුම සෙනෙවියන් සෙබළ ප්‍රධානීන් රොක් වූහ. ඔහු කියූ
දෙයෙහි සත්‍යතාවය අවබෝධ කිරීමෙන් සියලුම දෙනා කම්පනයට පත්ව සිටියහ. හෙළ මහරජු සහ ඔහුගේ ප්‍රබල රණශූරයින් මීළඟට කුමක් කරනු ඇත්ද? යුද්ධය පිළිබඳ මානසිකත්වය ඔවුන් තුළින් සම්පූර්ණයෙන් ඉවත්ව ගියාක් වැන්න. දැඩි ශෝකයෙන් ඔවුන් කල්පනා කළේ කෑදර සිම්ජාගේ ආක්‍රමණය නිසා මිනිසුන් දහස් ගණනක ගේ ජීවිත පූජා කරන්නට සිදු වීමයි.
මෙහිදී ඉග්ලීස් රජු හිස ඔසවා තමා වටා සිටි සෙනෙවියන් සහ සෙබළ ප්‍රධානීන් දෙස බැලීය.
“තව දුරටත් සටන් කළහොත් අප සියලු දෙනාටම සිදු වන්නේ පෙති ගැසී මිය යාමටයි. ඒ නිසා මේ නිරර්ථක ලේ හැලීම මෙතනින් නතර කරමු. මා පරාජය භාර ගන්නවා සෙනෙවි වරුනි. අඩුම තරමින් අපට සිරකරුවන් වශයෙන් හෝ ජීවත්ව සිටිය හැකියි.”
ඉග්ලීස් රජුගේ සහ අනෙක් සේනාවන්ගේ සෙනෙවියන් සහ සෙබළුන් මුහුණින් මුහුණ බලා ගත්හ.
ඔවුන් අතර කසු කුසුවක් පැතිරී ගියේය. සිම්ජා සහ හරේරා මිය ගිය ක්‍රෑර ආකාරය ඔවුන් නොදුටුවේද? තවත් යුද්ධ කළහොත් තමන්ටත් අත් වන්නේ එම ඉරණමමය. මුළු මහත් සතුරු සේනාවම මීයට පිම්බාක් මෙන් පහත් හඬින් සෙමෙන් කතිකා කළහ. මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවියත් ගෝරාවරුන් සහ හෙළ සෙබළුන් සියලුම දෙනා විමතියෙන් යුතුව මේ දෙස බලාගත් බැල්මෙන් සිටියහ.
මෙහිදී සතුරු සේනාවේ සෙනෙවියන් යැයි කිව හැකි ප්‍රාංශු දේහධාරී මිනිසුන් කිහිප දෙනෙක්
පිරිවරාගෙන එක් පුද්ගලයෙක් ඉදිරියට එනු පෙනී ගියේය. එනම් නැගෙනහිර ෆූනෝ දූපත් වල ඉග්ලීස් රජු වූයේය. සන්සුන් ගමනින්, පරාජිත ලීලාවෙන් ඔහු කෙළින්ම පැමිණියේ මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවියත් සිටි ස්ථානයටය. මෙහිදී ධූරා සිය ගෝරා අසිපත් යුවළ සෙමෙන් ඇදගත් අතර, මහා හර්ෂදේව, පද්මනාථ සහ ජීවාලෝක යන ගෝරාවරුන්ද සිය අවි අමෝරා ගනිමින් වළල්ලක් ලෙස රාජකීය යුවළ ආවරණය කරමින් ඉදිරියට පැමිණියෝය.
එහෙත් එවන් දෙයක් අවශ්‍ය වූයේ නැත. ගෝරාවරුන් ඉදිරියට පැමිණි ඉග්ලීස් රජු, සිය අසිපත
කොපුවත් සමගම ගළවා ධූරා දෙසට පෑවේය. ඔහු අනුගමනය කරමින් ඉග්ලීස් රජුගේ සහ සිම්ජාගේත්, හරේරාගේත් ඉතිරිව සිටි සෙනෙවියෝ තම අසිපත් සියල්ල, හිණෙන් ගලවා ධූරා දෙසට දිගු කළහ.
මෙහිදී ප්‍රබල මදහසක් නැගූ ධූරා පිටුපස හැරී, මහාසිද්ධ මහරජතුමන් දෙස බැලීය. එතුමෝ
සෙමෙන් හිසින් සංඥා කරත්ම, ධූරා ඇතුළු සියලුම ගෝරාවරුන් සූදානම් ශරීරයෙන් යුතුව ඉග්ලීස් රජුට සහ සතුරු සෙනෙවියන්ට රාජකීය යුවළ වෙත යාමට ඉඩ දුන්හ. සෙමෙන් ඉදිරියට පැමිණි ඉග්ලීස් රජු, හෙළයේ රාජකීය යුවළ අබියස එක් දණක් බිම ගසා සිය අසිපත කොපුව සමගම බිම තබා දකුණත පපුවට තබා තමා යටත් බව ප්‍රකාශ කරත්ම ඔහු පිටුපසින් පැමිණි සෙනෙවියෝද, එය අනුගමනය කළහ. මහාසිද්ධ මහරජතුමන් හිස සලා එය අනුමත කරත්ම, ධූරාගේ සංඥාවකට අනුව ඉදිරියට පැමිණි අනෙක් ගෝරාවරුන්, අර අසිපත් සියල්ල එක්රැස් කර ගත්හ.
මෙහිදී සතුරු සේනාව දෙසට පියවර කිහිපයක් ඉදිරියට පැමිණි ධූරා ප්‍රදේශය රැව් පිළිරැව් දෙන
ලෙස සිය හඬ අවදි කළේය.
“සෙබළුනි... නුඹලාගේ ජිවතුන් අතර සිටින නායකයෝ අවි බිම තබා යටත් වුණා. නුඹලාගේ ජීවිත රැක
ගැනීමට අවශ්‍ය නම් සියලුම අවි බිම තබා දණ ගසා පල්ලා. නුඹලාට අභය දානය ලැබේවි.”
මේ නියෝගය දෙවරක් කීමට අවශ්‍ය නොවීය. තම නායකයන් පරාජය පිළිගත් ආකාරයෙන්ම සතුරු සෙබළුන් සියලුම දෙනා, එකා මෙන් රිදීමැඩිල්ල වෙල් යායේ දණ ගසා, තමන්ගේ සියලු අවි ආයුධ බිම තබා, හෙළයේ මහා සූර්ය පුත්‍රයා වූ තුන්වන මහාසිද්ධ මහරජතුමන්ටත්, ජයමාලී දේවියටත්, මහා ගෝරාවරුන්ටත් සිය නමස්කාරය පුද කළහ.
සතුරු සේනාවේ ඉතිරිව සිටි සියලුම දෙනා යටත් වූ ආකාරය දුටු හෙළ බළ සේනාවෙන් නැගුණු
ජය ඝෝෂාව බොහෝ වේලාවක් රිදීමැඩිල්ල වෙල් යායත්, දික්ගහලෙන කඳු යායත් කම්පා කරවමින් දෝංකාර දුන්නේය.
“මහාසිද්ධ මහරජතුමන් සැරදේවා... හෙළයේ මහා පියාණන් සැරදේවා... හෙළයේ මහා මෑණියන්
සැරදේවා... ගෝරාවරුන් සැරදේවා... හෙළ යක්ඛ ගෝත්‍රයට ජය වේවා... සූර්ය නේත්‍රය අවදි වේවා... හෙළ දේශය දිනේවා...”
මතු සම්බන්ධයි.