වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
පස්සට යන කාලය
අලුතෙන් සොයා ගන්නා දේ මේ ලොව ඇත්ද යන්න පිළිබඳ දැන් දැන් ඇති වන්නේ සැකයකි. වරක් ලෝක ප්‍රකට ඉන්දීය සිතාර් වාදක රවි ශංකර් පැවසුවේ සංගීතය පිළිබඳ තමන් සතු ඥානය සහ තමන් නිපදවන මියුරු තනුමාලා අලුතින්ම නිපදවූවා නොව අතීත මුතුන් මිත්තන් විසින් විශ්වයේ ගබඩා කරන ලද දැනුමෙන් තමන් වෙත දායාද වූ ඒවා බවය. එය කෙතරම් නිහතමානී ප්‍රකාශයක්ද යන්න පැහැදිලි වන්නේ මේ වන විට බටහිර විද්‍යාවටම බර වූවන් නවතම සොයා ගැනීම් ලෙස එක පිට එක වේගයෙන් එළිදක්වන පර්යේෂණ දෙස අවධානය යොමු කරන විටය.
ක්වොන්ටම් භෞතිකවිද්‍යාඥයන්ගේ අලුත්ම සොයා ගැනීම ලෙස දක්වන්නේ ඍණ කාලයයි. ෆෝටෝනයක චලනයේ තරංග ස්වභාවය නිරීක්ෂණය කරන ඔවුන් විස්මයට පත්වන්නේ යම් වස්තුවකට ෆෝටෝනයක් ඇතුළු වීමට පෙර එය එම වස්තුවෙන් පිට වීම පෙන්වනවා වැනි ලෙස සියලු දෙනාගේ දැනගැනීමට තේරුම සරලව පැහැදිලි කළ හැකි අයුරින් පැවසිය යුතු ගැඹුරු කරුණකි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් යම් පරමාණුවක් ෆෝටෝනවල ක්‍රියාකාරී අවස්ථාවේ හැසිරීම සඳහා ගතවන කාලය මැනීමට ක්වොන්ටම් ඔරලෝසුවක් තැනුව හොත් එහි කටු ඉදිරියට නොව පසුපසට ගමන් කරනු පෙනෙන බවයි.
මෙහි පරස්පරතා ආදිය පිළිබඳ අතහැර කාල මානය පිළිබඳ පමණක් කතා කළ හොත් ආසියාතික අපට මෙය මේ විද්‍යාඥයන්ට තරම් අලුත් දෙයක් නොවන බව පැහැදිලිය. එයට සරලම උදාහරණ ලෙස සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ කාලාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා හෙවත් දඬු බස්නා මානය වැනි ටෙලි නාට්‍ය, තෙලිඟු, මලයාලම් හා හින්දි භාෂාවලින් තැනුණු කාලතරණ චිත්‍රපට ආදි දහසකුත් එකක් සාක්ෂි ගත හැකිය. ඒවාට ද පාදක වූ දර්ශනයක් ලෙස බුදු දහමේ එන පෙර භවයන්හි කළ කී දෑ දැකබලා ගැනීමේ හැකියාව සඳහාද මේ නෙගටිව් ටයිම් හෙවත් ඍණ කාල ක්‍රමය යොදා ගත් බව පැහැදිලිය. වර්ණ චිත්‍රපටයක ෆ්ලෑෂ් බැක් ක්‍රමයට අතීත සිදුවීම් සුදුකළුවෙන් පෙන්වනවා සේ ලේසියට මෙය සිතේ මවා ගත්තද වරදක් නැත.
ඍණ කාලය වැදගත් වන්නේ විද්‍යාවට හෝ නිර්මාණකරණයට පමණක් නොවේ. ඡ්‍යොතිෂයටද, වෛද්‍ය කර්මයට ද එය බෙහෙවින් වැදගත් වූ බව අතීත වෙදැදුරන්ගේ සහ ගණිතයන්ගේ කතාවලින් පැහැදිලි වේ. මීට සියවසකට මෙපිට අතීතයේ මෙරට සිදු කළ වෛද්‍ය කර්මයක් සහ එයට සහාය වූ ඡ්‍යොතිෂමය ගණනය කිරීමක් මඟින් එය තහවුරු වේ. එක් පුද්ගලයකු අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියදී ඔහුගේ වේලාපත්කඩය පරීක්ෂා කළ ඡ්‍යොතිෂඥයා පවසා තිබුණේ දරුණු මාරක අපලයක් ඇති බැවින් එදින අදාළ මිනිත්තු කිහිපය තුළ ජීවිතය බේරාගතහොත් රෝගියාගේ මාරකය පනින බැවින් දීර්ඝායුෂ විඳීය හැකි බවකි.
මෙයට අනුව ක්‍රියාකාරී වූ දේශීය වෙදැදුරා රෝගියාට යම් බෙහෙතක් කොට, ඔහු ඉතා උස් ගසක ඔන්චිල්ලාවක් මෙන් ලනු එල්ලා එහි සවි කළ ඇඳක රෝගියාට සුරක්ෂිතව නිදා ගැනීමට සැලසුවේය. ඇඟපත සවි ඇති පුරුෂයන් කිහිප දෙනකු ගෙන්වා ඇඳ සවි කළ ලනු එකට ඇඹරෙන ලෙස කරකවා මාරක වේලාව ආසන්න වනතුරු එසේ රඳවා ගන්නට උපදෙස් දුන්නේය.
මාරකයේ උච්චතම අවස්ථාව යෙදෙන මොහොත වනවිට ඒ ලනු ඇඹරුම අත් හැරීමට කීවේය. ඇඳ සහිත ලනු වේගයෙන් වට කැරකෙන්නේ විය. ඒ පොළොව භ්‍රමණය වන අතට විරුද්ධ දිශාව බලාය. අසුබ වේලාව ගෙවුණු පසු දෙවැනි බෙහෙත රෝගියාට වෙදැදුරා ද සපයන්නට ඇත්තේ ගැහෙන හදින් විය හැකිය. කෙසේ වෙතත් අසාධ්‍ය තත්වයෙන් මිදුණු පුද්ගලයා නිසල ඇඳ මත යහතින් ඉඳගනු දුටු ගමම ඡ්‍යොතිෂයේත් ආයුර්වේදයේත් ආනුභාවය දැක විස්මයට පත් වූ තරම පැවසිය යුතු නොවේ.
මෙයින් පැහැදිලි වන්නේ කාලය රැවටීමට හැකි ශාස්ත්‍ර අප සතු බවය. එය සැබැවින්ම ගණිත ශාස්ත්‍රයට සම්බන්ධ බව ක්වොන්ටම් වේලා මානය ආ පස්සට යෑම හා පෘථිවි භ්‍රමණයට විරුද්ධව කළ ඒ ඡ්‍යොතිෂායුර්වේද ශිල්පයෙන් මොනවට පැහැදිළි වන්නේය. එවැනි බොහෝ දෑ නුතනත්වයේ වැලි තලාවෙන් සැඟව පවතිනු ඇත. එහෙත් එසේ සැඟව පවතින දැනුම් සම්භාරය හමු වනු ඇත්තේ අපගේ අස්පර්ශී සංස්කෘතික උරුමය සොයන්නෙකුටම පමණි.