පෝෂණ ගුණ සපිරි සිරුරට සිසිලස ගෙන දෙන මුං ඇට

මාර්තු 15, 2024

 

ආයුර්වේද වෛද්‍යවරියක වූ නයනි මහත්මිය රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව තම නිවසේම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් කටයුතු කළාය. ඇයගේ එකම පුතා විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබුවේය.

නිවාඩුවට ගෙදර පැමිණ සිටි පුතා සමීරට එදින උදෑසන ආහාරයට මව විසින් මුංඇට සාදා දුනි.

“අම්මේ, මුංඇට කොච්චර හොඳයි ද? මේ රස්නෙ දවස්වල ඇඟ සිසිල් වෙන්නත් එක්ක.”

ඔව්. පුතේ ඒ නිසාමයි මුංඇට හැදුවේ. මුංඇට ඇගේ සිසිලස ඇති කරනව වගේම ශරීරයට පෝෂණය හොඳින් ලබා දෙනවා.

“ඔවුනේ අම්මේ. මුංඇට කියන්නෙ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ නිසා ශරීරයේ පෘෂ්ඨිමත් බව වගේම ශක්තියත් ලබාදෙනවා නේ.”

“ඒ වගේම මුංඇටවල ඖෂධීය ගුණයත් බොහෝ සෙයින් තියෙන නිසා ඈත අතීතයේ ඉඳලම ඖෂධ සදහා යොදා ගෙන තියෙනවා.”

එතකොට අම්මේ මුංඇට ශ්‍රී ලංකාවෙ දේශගුණික වශයෙන් වියළි කලාපයේ ඉතා සාර්ථකව මුංඇට වගා කරනවා වගේම.ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලත්. විශේෂයෙන් බෙංගාලයේ සෑම තැනකමත් වවනු ලබනවා.

“පුතා දන්නවද? මුං ඇටවල පොදු සිංහල නම මුං වන අතරම සංස්කෘත භාෂාවෙන් මුද්ග සූප ශ්‍රේෂ්ඨ වාජීභෝජන රසෝත්තම වගේ නම් යෙදෙනවා.

හින්දි භාෂාවෙන් මුංග සහ හරිමුග යන නම් යෙදෙනවා .

දෙමළ භාෂාවෙන් පච්චපයරු සහ පනපයාර් කියන නම් යෙදෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් Mung bean Green gram සහ Sona gram නම් යෙදෙනවා .

මුංඇට වල උද්භීද විද්‍යාත්මක නාම

Phaseolus aureus Linn

Phaseolus munago

Vigna radiata
වන අතර කුලය LEGUMINOSAE  හෙවත් ශිම්බී කුලය වෙනවා යනුවෙන් මව විස්තර කළාය.

අම්ම දන්නවද සම්පූර්ණයෙන්ම පැසුණු මුං ඇට කරල්වල ඇට ඉවත් කර හොඳින් එම ඇට වියළා කල් තබාගනු ලබනවා. ඒත් ඉතා ඉක්මණින් ගුල්ලන්ගෙන් හානි වන නිසාත් ඉක්මණින් දිරා යන නිසාත් කල් නොයවා ප්‍රයෝජනයට ගත යුතුයි. එසේම වෙළෙඳ පොළේ තියෙන මුං ඇටවලට ඇතැම් වෙළෙන්දන් විසින් ගුල්ලන්ගෙන් සහ කෘමීන්ගෙන් ආරක්ෂා කරගැනීමට මැලතියන් වැනි කුඩු වර්ග මිශ්‍ර කරනු ලැබීම නිසා ඒවා ශරීරයට හිතකර නොවන නිසා මුංඇට මිලදී ගැනීමේදී ඒගැනත් සැලකිලිමත් වෙන්න ඕන.”

ඒ වගේම තමයි අම්මේ මුං ඇටවල ප්‍රභේද කිහිපයකුත් තියෙනවා.

1. නිල්(කොළ පැහැ) වර්ගය.

2. රන්වන් වර්ගය

3. කලු

4. සුදු

5. රතු වර්ගය වශයෙන්.

මේවායින් රන්වන් මුංඇට ගුණයෙන් අධිකයි.

පුතා මුංඇටවල ආහාරමය වටිනාකම සැලකුවාම මුංඇට, උදු කොල්ලු, මෑඇට, මයිසූර් පරිප්පු, තෝර පරිප්පු ආදි දෙපියළි ධාන්‍ය අතුරින් මුංඇට ඉතා ශ්‍රේෂ්ඨ බව ආයුර්වේද මූලික සංහිතා ග්‍රන්ථවලත් දක්වලා තියෙනවා. ඒ වගේම මුංඇට නිර්මාංශ ආහාර ගනු ලබන අය සඳහා වඩාත් සුදුසු ආහාරයක්.

විශේෂයෙන් ඉන්දියන් ජාතිකයන් වැඩි පිරිසක් නිර්මාංශ ආහාර ගන්නා නිසා ඔවුන්ගේ ආහාර සඳහා මුංඇට වැඩි වශයෙන් එක්කර ගනු ලබනවා.

මුංඇට රාත්‍රියක් පෙගෙන්නට තබා එම වතුරෙන්ම තම්බා ගැනීමෙන් ගුණ සපිරි ආහාර වේලක් සාදා ගන්න පුළුවන්. එසේම ඒවා මොටෙයියන් ඇදෙන්නට හැර තම්බා ගැනීමෙන් වඩාත් රසවත් මෙන්ම ගුණදායකයි. තැම්බූ මුං ඇට හෝ මුං ඇට ව්‍යංජනය ඉතා රසගුණ පිරි ආහාර.

මුං ඇට තැම්බූ වතුරත් පෝෂ්‍යදායක පානයක්. තවද සෙම අධික අයට මුං ඇට බැද තම්බා ගැනීමෙන් ශීත ගතිය අඩුවෙනවා.

එසේම මුං පියළි ව්‍යංජනය මුං ගුළි, මුං කිරිබත්, මුං කැවුම්, මුං අළුවා ආදිය මෙන්ම එළවළු ආදියට මුං පරිප්පු මිශ්‍ර කර සකස් කර ගැනීමෙන් ආහාර සකසා ගනු ලබනවා.

ඒ වගේම මුං ඇට, සහල්, ගිතෙල් මිශ්‍රව කරදමුංගු, කුරුඳු, දුරුඇට ආදිය යොදා සාදන ලද “කිචරි” නම් ආහාරය ඉන්දියාවෙත් ශ්‍රී ලංකාවේ ඉන්දියන් ජාතිකයන්ගේත් ඉතා සුප්‍රසිද්ධ ගුණදායක ආහාරයක් යනුවෙන් මව විස්තර කර සිටියාය.

එතකොට අම්මේ මුං ඇටවල ඖෂධීය වටිනාකම කොහොමද පුතා. මුං ඇට රසයෙන් කෂාය සහ මධුර රසයි. ගුණයෙන් ලඝුයි. වීර්‍යයෙන් ශීතයි. විපාකයෙන් කටුකයි.

සෙම් පිත් නසන ගුණ යුතු නිසා සෙම් සහ පිත් රෝග වලට ඉතා ගුණදායකයි. ඒ වගේම ඖෂධ කොළ පැහැ මුං ඇට ශ්‍රේෂ්ඨ බව දක්වා තියෙනවා.

මුං ඇට නිතර ගැනීම ඇස්වලට හිතකරයි. පෙනීම වැඩි කිරීමටත් හේතු වෙනවා. එසේම කල්ගත වූ තුවාල ඇති විටදි මුං ඇට ආහාරයට ගැනීම ඉතා ගුණයි.

ඒ වගේම ඇස් කන් නාසා මුඛ ආදි බෙල්ලෙන් උඩ රෝගවලදි උණ දැවිලි ආදියේදි මුං ඇට බොහෝ සෙයින් යොදා ගනු ලබනවා. එසේම උණ රෝගීන්ට සුප් වශයෙනුත් යොදා ගනු ලබනවා. මේවායේදි වඩාත් යෝග්‍ය බැදගත් මුංඇටයි.

ඒ වගේම මුංඇට අතිශයින් පෘෂ්ටිමත් බව ඇති කරන ගුණවලින් යුක්තයි. එසේම උෂ්ණ ශරීර ඇති අයටත් උෂ්ණ රෝගවලටත් ප්‍රශස්ත ආහාරයක්.

අනෙක ශරීරයේ වීසර්ප (විසර ගෙඩි) ආදිය හටගත් විට මුං ඇට, නෙල්ලි දලු, කෝමාරිකා කැකළු හාල් සියඹලා දලු, මුරුංගා දලු, අමු කහ අමු ඉඟුරු සුළු ප්‍රමාණයක් ගෙන පොල් කිරි දමා තම්බා පසුව අඹරා ගෙන ඉදිමුම මත ආලේප කිරීමෙන් විසර ගෙඩි පැසවා පිපිරී සැරව පිටවී සුව වෙනවා.

මුං ඇට පිටි ඇල්වතුරෙන් අඹරා ගත් ප්‍රලේපය පැපොල ආදියේ තුවාල කැළල් මැකීම සඳහාත් පියයුරුවල කිරි වැගිරීම වැළැක්වීමටත් පියයුරු වැහැරීම වැලැක්වීමටත් ආලේප කරනු ලබනවා.

ඒ වගේම පුතා මුං ඇට අඩංගු ප්‍රකට ඖෂධ යෝගත් කිහිපයක් ම තියෙනවා.

ඒ අතුරින් මුද්ගාදී පේයාවට මුං ඇට පියළි ඉඟුරු කොත්තමල්ලි අඩංගුයි. මෙය පිපාසය, දැවිල්ල සහිත උණ සහ රක්ත පිත්ත උණ නසනු ලබනවා.

මුද්ගාදී ක්වාථය මුංපියලි සුදු හඳුන් උක්පුරුක් ඉරමුසු ඉරිවේරිය සැවැන්දරා සහිත වන අතර රත්පිත සහ පිතෙන් හටගත් උණ රෝගයටත් අම්ල පිත්ත රෝගයටත් බොහෝ සෙයින් ගුණ දෙනවා. ඒ වගේම මුද්ගාස ලාජාස යවාස කෘෂ්ණා ආදී කෂාය ඇතුළු තවත් යෝග රාශියක් මුං පියළි අඩංගුව භාවිත කරනු ලබනවා.

ඒ නිසා පුතා මුං ඇට කියන්නේ ඖෂධීය වශයෙනුත් බොහෝ සෙයින් ගුණ දෙන ද්‍රව්‍යයක් යනුවෙන් මුං ඇටවල ගුණ ගැන හොඳ විස්තරයක් මව විසින් ඉදිරිපත් කළාය. ඒ වගේම පුතා අපේ තියෙන හොඳම රසායන බේතක් වන කුෂ්මාණ්ඩ රසායනය ගැනීමේදී එළකිරි වෙනුවට මුං ඇට තැම්බූ වතුර ගැනීමත් සිදු කරනවා.

අපේ තරුණ කාන්තාවන් තම ශරීර අලංකාරය සදහා ගනු ලබන රූපලාවණ්‍ය ඖෂධ සඳහාත් මුං ඇට පිටි උපයෝගි කරගනු ලබනවා.

ඒ නිසා පුතා මුං ඇට කියන්නේ අගනා ඖෂධාහාරයක් යනුවෙන් පැවසූ වෛද්‍යතුමිය මුං ඇට පිළිබඳ විවරණය නිමා කළාය.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.