අල කැබැල්ලක් සැපීමෙන් කාම උත්තේජනය වැඩි කරන හීන් අරත්ත

මාර්තු 8, 2024

අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශයක ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු වශයෙන් සේවය කළ අසිත මහතා තම බල ප්‍රදේශයේ වැඩිහිටියන් සඳහා නිතර දේශන, සායන සංවිධානය කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට විශාල කැපවීමක් කරන වෛද්‍යවරයකි.

මෙවර ඔහුගේ අවශ්‍යතාව වූයේ මේ ප්‍රදේශවල වාත රෝග වලින් පීඩා විඳින අය බහුල නිසාත් ඒ සදහා හීන් අරත්ත යොදා ගනු ලබන අකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ සටහනක් පැවැත්වීමටයි. ඒ සඳහා ඔහු ආරාධනා කළේ ඔහුගේ ආයුර්වේද විද්‍යාලීය ගුරුවරයකු වූ කථිකාචාර්ය මහේෂ් මහතාටයි.

ඉරිදා දින ගමේ ප්‍රජා ශාලාවේදී එම දේශනයට පෙර අසිත මහතා කතා කරමින් මෙසේ කීය. අද මෙතන ඉන්න වැඩිහිටි ඔබ අතුරින් බොහෝ දෙනකු වාත රෝග වලින් පෙළෙනවා. ඉතිං මේ රෝගවලදි බොහෝ දෙනා කරන්නෙ වේදනා නාශක බෙහෙත් වර්ග බොන එකයි. ඒ වුණාට ඒවා තාවකාලිකයි. අපිට මේ ප්‍රදේශ වල මේ රෝගවලට හොඳ බෙහෙත් වර්ග ගොඩක් තියෙනවා. හීන් අරත්ත කියන්නේ ඒ අතුරින් හොඳම බෙහෙතක්. විශේෂයෙන් ආමවාත, ඇතුළු වාත රෝග රාශියක් සඳහා ගුණ දෙන අගනා ඔසුවක් තමයි හීන් අරත්ත කියන්නේ. ඉතිං මේ පිළිබඳව වැඩිදුර කරුණු ඔයගොල්ලන්ට කියල දේවි මගේ ගුරුවරයා වන කථිකාචාර්ය මහේෂ් මහතා“ යනුවෙන් අසිත මහතා වැඩ සටහන ආරම්භ කිරීමට මහේෂ් මහතාට ආරාධනා කළේය.

ඔව් අපි අසිත කිව්ව වගේම හීන් අරත්ත ගැන කතා කරමු,”යනුවෙන් කියමින් මහේෂ් මහතා දේශනය ඇරඹීය. ආයුර්වේදයට අනුව වැඩිහිටි අයට තමා වාත රෝග බහුලව ඇති වන්නෙ. ඒ වගේම වාත රෝගත් 80 ක් තියෙනවා. ඒ සියල්ලටම හොඳ බේතක් තමයි හීන් අරත්ත යැයි මහේෂ් මහතා විස්තර කළේය.

එතකොට මහ අරත්ත කියල ශාකයකුත් තියෙනවා නේද? ඒවා වාත රෝගවලට හොඳ නැද්ද යනුවෙන් දේශනය අසමින් සිටි විශ්‍රාමික විදුහල්පති වරයකු වූ අමරසිංහ මහතා ඇසීය.ඔව් මහ අරත්ත කියල ප්‍රභේදයක් තියෙනවා ඒත් වැඩිපුරම ඖෂධ සඳහා යොදා ගන්නෙ හීන් අරත්ත. මහ අරත්ත වැඩිපුරම ගනු ලබන්නේ බාහිර යෝග සඳහා ඒ කියන්නේ තැවිලි ආදියට යනුවෙන් මහේෂ් මහතා පිළිතුරු දුන්නේය.

නැවතත් දේශනය ඇරඹූ මහේෂ් මහතා අපි අරත්තවලට සංස්කෘත භාෂාවෙන් රාෂ්නා කියල කියනවා. ඒත් ඒ ගැන මතභේද තියෙනවා. එහෙත් ආයුර්වේද ඖෂධ යෝගවල රාෂ්නා ශබ්දය සඳහා දේශීය වෛද්‍යවරුන් යොදා ගෙන තියෙන්නේ හීන් අරත්තයි. ඒ වගේම මලයාලම් භාෂාවේ එන වචනයක් තමයි අරත්ත කියන්නේ ඒ වගේම දෙමළ භාෂාවෙන් කියන අරත්තායි වචනයෙන් අරත්ත නාමය සැදුනා විය හැකියි. එය වඩාත් සරල සිංහල භාෂාවෙන් රැත්ත ලෙසද දක්වා තිබෙනවා .

සහතික වශයෙන්ම නිශ්චය නොවුණත් රාෂ්නා වෙනුවට ගතහැකි ඉතාම සුදුසු ද්‍රව්‍යය අරත්තයි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ඉතා දීර්ඝ කාලයක් මෙසේ ව්‍යවහාර කර තියෙනවා. ඒ නිසා මෙහිදී අරත්ත රාෂ්ණා ලෙස හඳුන්වනු ලබනවා යනුවෙන් මහේෂ් මහතා තවත් විස්තර ඉදිරිපත් කළේය. එතකොට කථිකාචාර්ය තුමා හීං අරත්ත ශ්‍රී ලංකාවෙ විතරද හැදෙන්නේ“ යනුවෙන් දේශනය අසමින් සිටි සුමනා ගුරු මහත්මිය විමසා සිටියේය. මෙහි ජන්ම භූමිය වන්නේ ඉන්දියාවයි.ඒ වගේම ජාවා, සුමාත්‍රා, පාකිස්තානය, බෙංගාලය ආදි රටවලත් වැවෙනවා. එසේම මෙය ශ්‍රී ලංකාවේ වැවෙන සහ වගා කරනු ලබන ශාකයක්. කුරුණෑගල, නුවරඑළිය, පේරාදෙණිය වගේ ප්‍රදේශවල විශේෂයෙන් දකින්න ලැබෙනවා .” යැයි මහේෂ් මහතා පිළිතුරු දුන්නේය .

ඒ වගේම හීන් අරත්ත මීටර් 1ක් 2ක් පමණ උසට වැවෙන පැළෑටියක්. මෙහි කඳ නැමෙන සුළුයි. මෙහි පත්‍ර ගසේ කඳටම සම්බන්ධ වෙලා තියෙනවා. මේ පත්‍ර දිගැටි හැඩයි. මේ පැළෑටිවල මුදුනේ මල් හටගනු ලබනවා. මේවා සුදු පාට මල් පොකුරු ලෙස පවතිනවා. එම මල්වල රෝස හා දම් පාට ඉරි දකින්න පුළුවන්. මේවායේ හටගන්නා ගෙඩි ගෝලාකාරයි.තැඹිලි සහ රතු පාටින් යුතුයි යනුවෙන් මහේෂ් මහතා තවත් කරුණු දක්වා සිටියේය .

සර් අපිට හීන් අරත්ත විවිධ නාමයන් ගැන විස්තර කරන්න පුළුවන් ද “” යනුවෙන් දේශනය අසමින් සිටි ප්‍රදේශයේ ගුරුවරයකු වූ සරත් මහතා විමසා සිටියේය. සාමාන්‍යයෙන් අරත්ත සදහා දේශීය වෛද්‍යවරුන් “රැත්ත “ කියලා කියනවා. සංස්කෘත භාෂාවෙන් රාස්නා, සුගන්ධ මූලා, නාකුලී, උග්‍රගන්ධා, සුගන්ධා, ශ්‍රේයසී, කුලඤ්ජන ආදි නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් අරත්තායි.. අර්දුදම් ,,, අනන්දම්....පෙරාරත්තායි.. යන නම් යෙදෙනවා. හිංදි භාෂාවෙන් කුලඤ්ජන මහාහරී යන නම් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Galanga සහ Small Galanga යනුවෙන් යෙදෙනවා. හීන් අරත්ත වල උද්භිද විද්‍යාත්මක නාම Alpinia calcarata Roscoe සහ  Languas calearata (Roscoe  වන අතර කුලය ZINGIBERACEAE හෙවත් හරිද්‍රා කුලය වෙනවා යනුවෙන් මහෙෂ් මහතා විස්තර කළේය. ඒ වගේම හීන් අරත්තවල අල ප්‍රධාන වශයෙන් ඖෂධ සඳහා යොදා ගන්නා අතර ඇට ද ගනු ලබනවා.

එසේම හීං අරත්ත මහ අරත්ත ජාවා අරත්ත යනුවෙන් අරත්ත ප්‍රභේද 3 ක් දක්වා තියෙනවා. රේ වගේම හොදින් මේරූ හීන් අරත්ත අල උගුල්ලා ගෙන පිරිසුදු කර පෙති කපා වියලා භාජනවල හොදින් අසුරා තබා ගෙන ඖෂධ සදහා යොදා ගනු ලබනවා යනුවෙන් තවත් විස්තර මහේෂ් මහතා ඉදිරිපත් කළේය .

එතකොට කථිකාචාර්යතුමනි. කොහොමද හීන් අරත්තවල ඖෂධීය වටිනාකම යනුවෙන් දේශනය අසා සිටින මහත්මයකු විසින් ප්‍රශ්න කර සිටියේය. එයට පිළිතුරු දුන් මහේෂ් මහතා කියා සිටියේ හීන් අරත්ත රසයෙන් කටුක බවත් ගුණයෙන් ලඝු, තීක්ෂ්ණ, සහ රූක්ෂ බවත් වීර්‍යයෙන් උෂ්ණ බව සහ විපාකයෙන් කටුක බවත්‍ය. ඒ නිසා සෙම් සහ වාත සමන ගුණ යුතු නිසා සෙම් වාත රෝගීන්ට යෙදිය හැකි බවත් මහේෂ් මහතා කීය. මේ නිසා හීන් අරත්ත බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ඖෂධ යෝග රාශියක් සඳහා යොදා ගනු ලබනවා. යනුවෙන් පැවසූ මහෙෂ් මහතා ඒවා ගැන මෙසේ විස්තර කර සිටියේය.

බාහිර වශයෙන් අධික දහඩිය දැමීම මැඬලීම සඳහාත, සමේ ඇතිවන ශීතතාව සමනය සඳහාත් හීන් අරත්ත අල වියලා කුඩුකර ශරීරයට ඉසිනු ලබනවා.

අභ්‍යන්තර වශයෙන් ස්නායු දුබලතා සඳහාත්, වාතාබාධ සඳහාත් යොදනු ලබනවා. එසේම මුඛ කුහරය පිරිසුදු කිරීම පිණිස හීංඅරත්ත වල කුඩා කැබලි සැපීම සදහා දෙනු ලබන අතර එ මඟින් බඩගිනි අඩුකම උදර වේදනා අරුචිය ආදිය සමනය වෙනවා

ඒ වගේම වාතජ හෘද රෝග සඳහාත් හීංඅරත්ත අල විශේෂයි.

එසේම සෙම් නසන ගුණ හීං අරත්තවල ඇති නිසා ශ්වාස නාල පුළුල් වීමට හේතුවෙනවා. ඒ නිසා ඇදුම ආදියට ඉතා හොඳයි. එසේම මෙමඟින් ස්වරතන්ත්‍රවල ශක්තිය වර්ධනය කරන බැවින් ස්වරභේද මින්මින (මුක්කම) ගද්ගද(ගොත ) ආදී සියලුම ස්වර ආබාධයන්ට හිං අරත්ත අතිශයින් ගුණදායකයි යනුවෙන් මහේෂ් මහතා විස්තර ඉදිරිපත් කළේය

ඒ වගේම හීං අරත්ත මඟින් මූත්‍රකාරක බව මඳක් අඩුකරන නිසා අධික ලෙස මූත්‍ර පිටවීම සහ ප්‍රමේහ රෝගවලට ඉතාමත් ගුණදායකයි. ඒ වගේම තමයි ලිංගික දුබලතා වලටත් හීංඅරත්ත ඉතා හොඳයි. මේ හීන් අරත්ත අල කැබලි මුඛයේ තබා ගැනීමෙන් කාම උත්තේජනය වැඩි කරන බව පවසනවා. යනුවෙන් මහේෂ් මහතා තවත් කරුණු රාශියක් ගෙනහැර දැක්විය.

තවද හීන් අරත්තවල සර්ප විෂ නසන ගුණයත් හොඳීන්ම තියෙනවා. නයා සමඟ සටන් වදින මුගටියා විටින් විට හීන් අරත්ත ගස සපා කා නයා ගෙන් තමන්ට වැදුණු විෂ සමනය කර ගන්නේ යැයි මතයක් තියෙනවා. නකුල හෙවත් මුගටියාට ආරක්ෂාව සලසන නිසා නාකුලී යන නාමය මේ ගසට ලැබී ඇතැයි කියනවා යනුවෙන් පැවසූ මහේෂ් මහතා කෂාය ඇතුළු ඖෂධ යෝග රැසක් ගෙනහැර දැක්විය .

ආමවාත රෝගයට

හීංඅරත්ත අල කෂාය යොදනු ලබන අතර

හීංඅරත්ත කොළ දුම් ඇල්ලීමට ගනු ලබනවා

සන්ධිගත වේදනා ආදියේදී

හීංඅරත්ත අල කෂාය යොදනු ලබනවා

ස්වරභේදයට

හීංඅරත්ත අල තම්බා උගුර කට සෝදනු ලබනවා

අධික ලෙස දහඩිය ගැලීමේදී

හීංඅරත්ත අල තැම්බූ වතුරින් ශරීරය සෝදනු ලබනවා.

වාත රෝග සඳහා

හීංඅරත්ත අල කෂාය යොදනු ලබනවා

කක්කල් කැස්සට

හීං අරත්ත අල, තිප්පිලි, වැල්මී චූර්ණය මීපැණි දමා ලේහ කරනු ලබනවා යනුවෙන් ඖෂධ යෝග රාශියක් මහේෂ් මහතා පෙන්වා දුන්නේය.

ඒ වගේම මහා රාෂ්ණාදී ක්වාථය, රාෂ්ණා සප්තකාදි ක්වාථය, මහා රාෂ්ණාදී පාණ්ඨය, රාෂ්ණා සප්තකාදී පාණ්ඨය, රාස්ණාදී ගුග්ගුලු, රාෂ්ණාදී තෛලය ආදිය සංස්කාරික ඖෂධ ලෙස වෙළෙඳ පලේ දක්නට ලැබෙනවා. ඒ වගේම හීන් අරත්ත අඩංගු ප්‍රකට කෂාය වර්ග රාශියක් ආමවාත, වාත රෝග ඇතුළු රෝග රැසකට යොදනු ලබනවා

එම කෂාය නම් රාෂ්ණා 5, රාෂ්ණා7, රාෂ්ණා13, රාෂ්ණා27, රාෂ්ණා 45 සහ රාෂ්ණා ද්විගුණභාගය ආදී කෂායයි.

ඉතින් මෙන්න මේ විදියට හීන් අරත්ත කියන ඉතා වටිනා ඖෂධීය ශාකය පිළිබඳව ඔබට වැදගත් කරුණු රාශියක් පෙන්වා දුන්නා. ඒ නිසා මේ ප්‍රදේශයේ බොහෝ දෙනකු පීඩා විඳින වාත රෝග ඇතුළු අනෙකුත් රෝගාබාධයන්ට හීංඅරත්ත යොදා ගෙන සාර්ථක අයුරින් ප්‍රතිකාර කරගන්න ඔබට හැකිවේවි යනුවෙන් පැවසූ මහේෂ් මහතා දේශනය නිමා කළේය.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.