වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
උන්මාදය සමනය කරන කොමඩු
උසස් පෙළ අධ්‍යාපනය හදාරන මිතුරන් දෙදෙනෙකු වූ සමීර සහ දේශාන් පෞද්ගලික පන්තියකට සහභාගි වී ආපසු නිවෙස් බලා ඒමට පිටත්යේ දැඩි අව් රශ්මියට මුහුණ දීමෙන් ඇති වූ පිපාසයෙනි. “අනේ සමීර හරි තිබහයි. අපි මොනව හරි බීලා යමුද?.”
“ඔව්. මටත් එහෙමයි. එහෙනම් බොමු.” සිසිල් පැන් හලේ හිමිකාරිය වෙත ගිය ඔවුහු “හරි තිබහයි ඇන්ටි පිපාසය ඉක්මනින් අඩුවෙන දෙයක් දෙන්න “කීහ.
“එහෙමනම් කොමඩු බොමු. ඒවාට ඉක්මනින් පිපාසය අඩුවෙනවා. ශරීරයට සිසිලසත් ලැබෙනවා” යනුවෙන් සිසිල් බීම හලේ හිමිකාරිය ඔවුන් ට කීය.
නිවෙස බලා ගිය සමීර පියා වෙත ගොස් “තාත්තේ කොමඩු ගොඩක් ගුණයිද.” යනුවෙන් පියා ගෙන් ඇසීය. ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ සේනක තම පුතා වූ සමීර ඇසූ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නේය.
“ඔව් පුතා කොමඩු ගොඩක් ගුණයි. පිපාසය ට ඉතා හොඳයි. ඒ වගේම ඇඟේ දැවිලිවලටත් හොඳයි. රත්පිත, උන්මාදය වගේ රෝගවලටත් හොඳම ඖෂධාහාරයක්. ඇයි පුතා එහෙම ඇහුවෙ..” සේනක මහතා ඇසූ විට සමීර මෙසේ පිළිතුරු දුන්නේය .
“තාත්තේ මමයි දේශානුයි පන්ති ඇරිල එනකොට පිපාසය නිසා කොමඩු බිව්ව. එතකොට තමයි දැනගත්තෙ කොමඩු හොඳ පානයක් කියල” යනුවෙන් සමීර කීය.
“ඔව් කොමඩු කියන්නේ ජලය බහුලව තියෙන පලතුරක්. පලතුරු කියන්නේ මිනිසුන්ගේ අතුරු ආහාරයක් කියලයි හදුන්වන්නෙ. ඒ වගේම බොහෝ සතුන්ගේ ප්‍රධාන ආහාරයක් පලතුරුවලින් මිනිසාගේ නිරෝගීකම ආරක්ෂා කිරීමත් රෝගවලින් සුවය ලැබීමත් සිදුකරන අතරම ශාරීරික පෝෂණයත් බොහෝ සෙයින් ලබා දෙනවා” යනුවෙන් සේනක මහතා විස්තර කළේය.
“ඒ වගේම තමයි වියළි කලාපයේ ජලය හිඟකම නිසා තද වියළි කාලගුණයක් පවතින කාලවල වැවෙන ජල බහුල ඖෂධීය පලතුරු වර්ග අතුරින් කොමඩු වැදගත් පලතුරක්. ඒ වගේම ගොවීන් අතරත් ඉතා ජනප්‍රිය බෝගයක්. කොමඩු වල ඇති ඖෂධීය ගුණ නිසාම පැරණි ආයුර්වේද සංහිතා ග්‍රන්ථවලත් සඳහන් කර තියෙනවා” යනුවෙන් සේනක මහතා තවත් විස්තර කීවේය.
“එතකොට තාත්තේ කොමඩු හැදෙන්නේ අපේ රටේ විතරයිද .”යනුවෙන් සමීර ප්‍රශ්නයක් නැඟීය.
“කොමඩු ශ්‍රී ලංකාවේ වගේම වෙනත් රටවලත් වැවෙනවා “ යනුවෙන් පැවසූ සේනක මහතා ඒ ගැන විස්තරයක් ඉදිරිපත් කළේය
“විදේශීය වශයෙන් අප්‍රිකානු මහාද්වීපයේ හටගත් භෝගයක් විදියට සලකන්න පුළුවන් .ඒ වගේම දකුණු අප්‍රිකාවේ ද වගාකරනවා. ඉන්දියාවේ ගංගා තීර දෙපස ඉතා හොඳින් වගා කරනු ලබනවා. එසේම පෙරදිග රටවලත් කොමඩු ඉතා හොදින් වගා කරනව දක්නට ලැබෙනවා.
ශ්‍රී ලංකාවේත් නිවර්තන කලාපීය ප්‍රදේශවල ඉතා හොඳින් කොමඩු වැවෙනවා
ඒ වගේම මහවැලි ව්‍යාපාරය ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවලත් ඉතා හොඳින් කොමඩු වගාකරනු ලබනවා” යනුවෙන් විස්තර කළේය.
“එතකොට තාත්තේ කොමඩුත් වට්ටක්කා වගේම වැල්වල ද හැදෙන්නෙ?” යනුවෙන් සමීර නැවතත් ඇසීය.
“ඔව් පුතා වට්ටක්කා වැල් වගේ තමයි. වියළි කලාපයේ ගොවීන් විශේෂයෙන් හේන් ගොවිතැන් කරනු ලබන අවස්ථාවේ අනෙකුත් ධාන්‍ය ඇට සමඟ කොමඩු ඇටත් කලවම් කරල වපුරනවා. කොමඩුත් කැකිරි පුහුල් වට්ටක්කා වගේම ගෙඩි හටගන්නා වැල් වර්ගයක්.
එසේ වුවත් කැකිරි පුහුල් වැල් වගේ කොමඩු වැලේ රළු කඨෝර ගතියක් නැහැ. කොමඩු වැලේ කොළ වැටකොළු කොළ වගේ ස්වරූපයක් තියෙන්නේ. කොළ මෘදුයි. මේ කොළ ඇඟිලි ආකාරයට බෙදී තියෙනවා. ඒ වගේම කොළවල මේදමය ස්වභාවයක් තියෙනවා.
ඒ වගේම මේ බීජ සිටුවා පැළ හටගෙන දින 30 ක් විතර ගත උනාම මල් හටගැනීම සිදුවෙනවා. මාස 1ක් 1 1/2 ක් පමණ ගිය පසු කොමඩු ගෙඩි කෑමට සුදුසු වෙනවා. කොමඩු ගෙඩි සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ පුහුල් ගෙඩියක් විතර වෙනවා. මේ ගෙඩි කොළ පාටින් යුතුයි. ඒ වගේම ගෙඩිවල සුදට හුරු පුල්ලි දකින්න තියෙනවා. ඒ වගේම ගෙඩිවල මදය රතු රෝස පාටක් ගන්නවා. කලුපාට බීජවලින් යුක්තයි. කොමඩු ගෙඩියක් සාමාන්‍යයෙන් රාත්තල් 6 - 8 ක් පමණ බරින් යුතුයි.” යනුවෙන් කොමඩු ගැන හොඳ විස්තරයක් සේනක මහතා විසින් තම පුතා ට දක්වා සිටියේය.
“එතකොට තාත්තේ කොමඩුවලට කියන තවත් නම් තියෙනවාද ” යැයි සමීර නැවතත් පියා ගෙන් ඇසීය. ඔව්. සිංහල භාෂාවෙන් කොමඩු නමට අමතරව පැණිකොමඩු, පැණි පුහුල් යන නම් යෙදෙනවා
සංස්කෘත භාෂාවෙන් කාලින්ද...කාලිංග .. මාංශල...චිත්‍රා..චිත්‍රාඵල..චිත්‍ර වල්ලියා..ගෝදුම්බා...අල්ප ප්‍රමාණතා...රාජක බීජා.. සහ සුඛවයා යන නම් යෙදෙනවා ..
හිංදි භාෂාවෙන් හලින්දා.
මාර්බුස්...ටාරුබුසා.... යන නාමයන් යෙදෙනවා .
දෙමළ භාෂාවෙන් පානි...පූසනී...පිච්චා..සහ පූල්ලුම් යන නම් යෙදෙනවා.
ඉංග්‍රීසි භාෂාවෙන් Water Melon සහ Sweet Melon ,යන නම් යෙදෙනවා
කොමඩුවල උද්භිද විද්‍යාත්මක නාමය
Coloeynthis citrullus (L) Kurtze Abeywick වන අතර කුලය CUEURBITACEAE හෙවත් කෝශාතකීක කුලයයි” යනුවෙන් සේනක මහතා කොමඩුවල නාමයන් ගැන හොඳ විස්තරයක් ඉදිරිපත් කළේය.
“ඒ වගේම තිත්ත ලබු, දිය ලබු, තිත්ත වැටකොළු, දේවදාලී තුඹ කරවිල, කරවිල.. හොඬල.. දුම්මැල්ල... පුහුල්... කෝවක්කා ගොන් කැකිරි...කැකිරි සහ වල් රසකිඳ ආදියත් අයිති වන්නේ කොමඩු අයිති කුලයටමයි..
ඒ වගේම කොමඩුවල ප්‍රභේද කිහිපයකුත් තියෙනවා. මූලිකවම
1කොමඩු
2 යක් කොමඩු වශයෙන් ප්‍රභේද 2ක් තියෙනවා. ඊට අමතරව උද්භිද විද්‍යාත්මක ලක්ෂණ අනුව 1පැණි කොමඩ Sweet Melon
2,පත්තක්කා Water Melon
වශයෙන් ද ප්‍රභේද 2ක් තියෙනවා
ඒ වගේම ශ්‍රී ලංකාවේ දැනට බෙහෙවින් ජනප්‍රිය වී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත කොමඩු වර්ගය “තිලිණි” නමින් හඳුන්වනු ලබනවා “ යනුවෙන් සේනක මහතා කොමඩු ගැන තවත් විස්තර පෙන්වා දුන්නේය .
“එතකොට තාත්තේ කොමඩුවල ගුණාගුණ කොහොමද “යනුවෙන් සමීර පියාගෙන් විමසීය.
“පුතා ..කොමඩු ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙනුත් වැදගත්. කොමඩු ගෙඩියේ මදය ඖෂධ සහ ආහාර වශයෙන් ගනු ලබනවා. ඒ වගේම ඇට මල් සහ මුල් ද ගනු ලබනවා.ආහාරමය වශයෙන් සැලකුවාම ගෙඩි පළතුරක් වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබනවා. මදය මිරිකා ගත් යුෂයෙන් බීම සකස් කර බීමට දෙනු ලබනවා. ඒ වගේම සලාද ලෙසත් යොදා ගනු ලබනවා” යනුවෙන් පැවසූ සේනක මහතා කොමඩු වල ඖෂධීය වටිනාකම ගැනත් විස්තර කළේය.
“කොමඩුවල ඖෂධීය වටිනාකම සැලකුවාම ආයුර්වේදයේ ඉතා ඈත අතීතයේ සිටම කොමඩු ගැන සඳහන් වී තියෙනවා. සුශ්‍රැත සංහිතාවේ මේ පිළිබඳව හොඳින් දක්වා තියෙනවා. ඒ වගේම කොමඩු වල කැකිරි සහ තියඹරාවලට සමාන ගුණ ඇති බවත් දක්වා තිබෙනවා.
ඒ වගේම කොමඩු ගෙඩියේ මදය
රසයෙන් මධුර යි
ගුණයෙන් විෂ්ටම්භී ගුණ සපිරියි
වීර්‍යයෙන් ශීත යි.
විපාකයෙන් මධුරයි” යනුවෙන් සේනක මහතා කොමඩු ගැන තවත් විස්තර කීය
එසේම නැවතත් කොමඩු වල ගුණ ගැන කතා කල සේනක මහතා කීවේ. කොමඩුවලින් සෙම වඩන බවත් පිත සමනය කරන බවත් ය. එසේම කොමඩු පානයෙන් මල. මූත්‍ර..හොදින් බැහැර කරන බවත් රත්පිත්, දැවිල්ල, මූර්චා ආදිය පහ කරන බවත් මූත්‍ර කාරක බවත් කී සේනක මහතා එසේම බඩගිනි වඩන බවත් හදවතට හිතකාරී වන අතරම බඩපිපුම් දුරු කරන අතරම ප්ලීහා රෝග නසන බවත් කීය
මේ අතර උණ රෝග අවස්ථාවල කොමඩු යුෂ ග්ලූකෝස් හෝ මී පැණි සමඟ යොදනු ලබන බවත් කොළරා, අතීසාර, පාචනය,වමනය සහ අරුචිය ආදියට කොමඩු යුෂ දෙහි ඇඹුල් සමඟ යොදනු ලබන බවත් හදවත් රෝග සහ වකුගඩු රෝග ආදියට කොමඩු යුෂ වීදුරුවකට මී පැණි මේස හැදි 1 ක් දමා බීම ඉතා ගුණදායක බවත් කීය . එසේම ගබ්සාවෙන් ඇති වන ලේ ගැලීම් නතර කර ලීමට කොමඩු වැලේ මුල්වල යුෂ යෙදීමත් උදරාබාධ සඳහා සහ ශාරීරික පෝෂණය සඳහා කොමඩු ඇට බැද කෑම ඉතා ගුණදායක බවත් කීය.
“එතකොට තාත්තේ කොමඩු කියන්නේ ඉතා ගුණදායක ඖෂධාහාරයක් නේ” යනුවෙන් සමීර නැවතත් පියාට පැවසීය. ඔව් .පුතා. ඒ නිසාම යුරෝපය, ජපානය, නෙදර්ලන්තය වගේ රටවල කොමඩුවලට විශාල ඉල්ලුමක් පවතිනවා . විදේශිකයන්ට මෙතරම් අගේ මේ පළතුර එහෙම නැත්නම් ඖෂධාහාරය අපිත් නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නවනම් අපේ නිරෝගීබවට එය බෙහෙවින්ම හේතුවෙනවා.” යනුවෙන් කියමින් සේනක මහතා කොමඩු ගැන කරුණු පැහැදිලි කිරීම නිමා කළේය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන