ඔබේ වකුගඩු ගැන අලුතෙන් සිතන්න

දෙසැම්බර් 20, 2024

අපගේ ශරීර නිර්මාණය පුදුම සහගතය. යහපත් දිවි පැවැත්මකට ඒ ඒ ඉන්ද්‍රියයන්ගෙන් කෙරෙන සේවය අතිමහත්ය.

ශරීරයේ පිහිටි ඉන්ද්‍රියයන් අතර මොළය, හෘදය, අක්මාව, වකුගඩු, අග්න්‍යාශය ආදිය ප්‍රධාන තැනක් ගනී. ඒ අතරින් ශරීරයේ දෑලවර දෙපස පිහිටි මේ වකුගඩුවලින් දකුණුපස වකුගඩුව සෙ.මී. 10.9ක් වන අතර වම් වකුගඩුව සෙ.මී. 11.2ක් විශාල වේ.

ශරීර ගත අපවිත්‍ර දෑ පෙරා අනවශ්‍ය දෑ පිටකර දෙන ප්‍රධාන ඉන්ද්‍රිය වකුගඩුවයි. මෙහි ක්‍රියාකාරිත්වය ඉතා වේගවත්ය. නිරතුරුවම ක්‍රියාත්මක වන ඉන්ද්‍රියකි. රුධිරගත විෂ පෙරා පිරිසුදු කරන්නේ මේ වකුගඩුවලිනි. යම් විදියකින් වකුගඩු අක්‍රිය වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් කරනුයේ තරමක් කල්ගත වීමෙනි. මේ නිසා ළමා කාලයේ සිටම වකුගඩු පිළිබඳ පරීක්ෂාවෙන් සිටිය යුතුය.

රුධිර පීඩනය පාලනය කිරීම, රුධිරයේ සංයුතිය පවත්වාගෙන යාම, ශරීරයේ අයන සමතුලිත කිරීම, අස්ථිවල ක්‍රියාකාරීත්වයට දායක වීම වකුගඩුවලින් සිදු වන ප්‍රධාන කාර්යය ලෙස සැලකේ.

වකුගඩු නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම්,

රුධිරය නිසි ලෙස පිරිසුදු නොවීම, ශරීරයේ විෂ තත්ත්වය ඇතිවීම, මූත්‍ර අඩුවෙන් පෙරීම හෝ නොපෙරීම, මේ නිසා ශරීරගත අනෙකුත් ඉන්ද්‍රියන්ද අඩපණ වී මරණය පවා සිදුවිය හැකිය. වකුගඩු අක්‍රිය වීමට හේතු රාශියක් බලපායි.

පිරිසුදු ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම, ජලයේ සහ ආහාරවල රසදිය, ආසනික් වැනි බැර ලෝහ තිබීම සහ සර්ප විෂ ශරීරගත වීම.

කෘත්‍රිම ආහාරපාන නිතර ගැනීම, අධික ආම්ලිකතාවක් සහිත ආහර නිතර සේවනය, කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා පොහොර, කෘමිනාශක රසායනික බෙහෙත් වර්ග ආහාර තුළට ඇතුළු වී ඒවා ආහාරයට ගත් විට එම විෂ වකුගඩු හරහා විෂ පෙරීමකි. අක්‍රිය නම් ඒවා රුධිරයට එක්වී ශරීරයම රෝගාතුර වේ.

දීර්ඝ කාලයක් තිස්සේ අධික මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වකුගඩු අක්‍රිය වේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා ලබාගන්නා ඖෂධ නිසාද වකුගඩු අක්‍රිය වේ. වැරැදි ආහාර පරිභෝජනය නිසාද වකුගඩු අක්‍රිය වේ.

තක්කාලි, බිලිං, ඇඹරෙල්ලා වැනි ආහාර අමුවෙන් ආහාරයට ගැනීම, හාල්මැස්සන්, තක්කාලි, එළකිරි වැනි ආහාර එකට පිසූ ආහාර ගැනීම, රතු මස් නිතර ආහාරයට ගැනීම, අධික ලුණු, සීනි, තෙල් ආහාරයට ගැනීම, මැටි බඳුනන්වල ආහාර පිළියෙල නොකර බාල වර්ගයේ ඇලුමිනියන් පාවිච්චිය වැනි වැරදි ජීවන රටාව නිසා ද මේ රෝගයට බලපානු ඇත.

වකුගඩු රෝග ඇතිවන විට රෝග ලක්ෂණ පහළ වේ. මේ පිළිබඳ සැලකිලිමත් වී වකුගඩු නිසි පරීෂණයකට යොමුකළ යුතු වේ.

නිතර නිතර අඩු වැඩි වශයෙන් මූත්‍ර පහ වේ නම් සැලකිලිමත් විය යුතුය. සමහර විට මේ තත්ත්වය දියවැඩියා රෝගය නිසාම සිදුවනු ඇතැයි සිතා ප්‍රතිකාර නොකර සිටීම අතිභයානකය.

වකුගඩු රෝගීන්ට නිසි නින්දක් නොලැබේ. සමහර විට අධික නිදිමතද තිබිය හැකිය.

ඇස් වටා ඉදිමුම, සමහර විට පාදවල විළුඹ ඉදීමේ (වළලුකර)

මස්පිඬු වේදනාව, තුනටියේ වේදනාව සහ කෙණ්ඩ පෙරළීම සිදු වේ.

හම වියළීම හෝ කැසීම ඇතිවේ.

මූත්‍ර පෙණ සහිත වීම

මේ ලක්ෂණවලින් එකක් හෝ ඇත්නම් වකුගඩු පරීක්ෂා කර ගත යුතුය.

වකුගඩු සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමට වැඩි කලක් ගත නොවේ. මුල් අවස්ථාවේ රෝගය සුව කළ හැකිය. සම්පූර්ණයෙන් අක්‍රිය වුවහොත් වෙනත් අයකුගේ වකුගඩුවක් බද්ධ කළ යුතු වේ. එම කාර්ය ලෙහෙසි නැත. ගැළපෙන වකුගඩුවක් ලබාගැනීමට වසර ගණනක් බලා සිටිය යුතුය. එවිට රෝගියා මරණයට පවා පතවිය හැකිය.

වකුගඩු රැක ගැනීමට අප ගත යුතු සහ නොගත යුතු ආහාර ගැන නිසි අවබෝධයක් තිබිය යුතුය.

අද රටම ඇතැම් දුර්මතවලට වහල් වී ඇත. බොහෝ තරුණ පිරිස්වලට මත්පැන් නැතිවම බැරිය. මඟුලටත්, මරණයටත් පමණක් නොව, දානයටත් මත්පැන්ය. මේ අය ගුදම් ගණනක් පානය කර අවසානයේ ලෙඩ ඇඳට යන්නේ කිසිම පිළිසරණක් නොමැතිවය. බෙහෙතක්, හේතක් ගන්නවත් මුදල් නැතිකමින් දුක් විඳින අය බොහෝ වෙති. අවසානයේ ඔවුනට පිහිට වන්නේ, ගමේ ආයුර්වේද වෛද්‍යවරයායි.

ඔවුන් රෝග නිවාරණයට අවශ්‍යම අරිෂ්ටයක්, ක්වාතයක් හෝ බෙහෙත් ගුලි ටිකක් දී සුව කරති. සමහර අතිපණ්ඩිත රෝගීහු මේ අතර සිටිති. අරිෂ්ටවලින් ශරීරයට හානි නැද්ද අසන්නේ ගුදම් පිටින් ඇල්කොහොල් පාවිච්චි කළ අයයි. අරිෂ්ට මේස හැන්දක ඇල්කොහොල් ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයකි. එම ඇල්කොහොල්වලටද ඖෂධීය වර්ග එකතුවී ශක්තිය හීන වී ඇත. අරිෂ්ටවල ඇති ඇල්කොහොල් ප්‍රමාණය ශරීරයට කිසිම බලපෑමක් නොකරන බව දන්නෝ දනිති. ඇල්කොහොල් ගැලුම් ගණනින් දවසකට ගත් අය අරිෂ්ට මේස හැඳි එකක ඇති ඇල්කොහොල් ප්‍රමාණ සොයා බලති. මෙය තමන්ගේ මදිපුංචිකම වසා ගැනීමට කරන වෑයමක් මිස සත්‍යයක් නොවේ. වෙනත් රටවල අයට අක්මාව, වකුගඩුව අක්‍රිය වන්නේ අරිෂ්ට බීලාද? යන්න ඔබගේ ඥානයෙන් තේරුම් ගත්තොත් හොඳයි.

අරිෂ්ටවල සීනි ඇති බවත් ඒ සඳහා අරිෂ්ට නුසුදුසු බව මේ අය කියයි. අරිෂ්ටවල පමණද සීනි තිබෙන්නෙ.? අරිෂ්ට බොන්නේ වරකට මි.ලී. 10 - 15 පමණි. ඔබ ගන්නා ආහරවල කොපමණ සීනි තිබෙනවාද? උදේ පානය කරන තේ එකේ සිට ආහාරය ගන්නා ටොෆි, චොක්ලට්, යෝගට්, අයිස්ක්‍රීම්, පුඩිං, රස කර කර ආහාරයට ගැනීමේදි සීනි ගැන සිහි නොවේ. ඖෂධයේ ගුණය වර්ධනය කිරීමේ අදහසින් එක්කළ සීනි ගැන ඇයි මෙතරම් බය.?

ඔබ ආහාරවලින් හා කෙළින්ම සීනි ආහාර වළකින්නේ නැතිව අරිෂ්ටයේ මේස හැන්දේ ඇති සීනි බැලීම මුළාවකි. මෙසේ සිතුවොත් ඔබට කිසි දිනෙක ඖෂධයක් පානය කිරීමට නොහැකිවනු ඇත. එය රෝගී ඔබගේ දන්නා වැඩිකමින් මරණයට ළං වීමකි.

දිනකට සීනි ග්රෑම් 15 - 20 කට වඩා ගන්නා සමහරුන්ට සීනි කන්හැන්දක් පමණ ඇති මත පළකිරීමේ නුවණ ගැන අමුතුවෙන් කිව යුත්තක් නැත.

වකුගඩු ආරක්ෂා කරන ආහාර වර්ග බොහෝය. ඒවා ගැන නිසි අවබෝධයක් ඇත්නම් ප්‍රයෝජනවත් වනු ඇත. දේශීය සහල් වර්ග ඉතා ගුණය. වස විස නොයෙදූ ආහාර ලබාගැනීමට ඔබ දැනුම්වත් විය යුතුය.

කැකිරි, මෑ, තුඹ, පතෝල, තුඹ කරවිල, කරවිල, කොහිල, එළබටු, තක්කාලි, ගුණදායකයි. විශේෂයෙන් කෙසෙල්මුහ, වට්ටක්කා, රාබු, ඇඹරැල්ලා, වකුගඩුවල විනාශ වූ කොටස් වර්ධනයට ඉතාම ගුණයි. මෙයට අමතරව තල, කුරක්කන්, මෙනේරි, තණහාල්, ධාන්‍ය වර්ගත්, රාජාල, දන්දීනල, හිඟුරල, ඉන්නල, කුකුල, හුලංකීරිය අල වර්ග සහ අනෝදා, කෙසෙල්, වෙරළු, උගුරැස්ස, වැල, වරකා, මාදං, වැනි පලතුරු ඉතා යෝග්‍යයි. මෙවැනි පලතුරුවල විෂ වර්ග එකතු කර නොමැති නිසා, රසයත්, ගුණයත් ශරීරයට ලැබෙනු ඇත.

පැරණි මුතුන්මිත්තන්ට වකුගඩු අසනීප තිබුණේ නැත. ඒ දේශීය ආහාර රටාවත්, ව්‍යායාමයත් මානසික සුවතාවයත් නිසාය. ඔබගේ වකුගඩු අසනීපවන තෙක් බලා නොසිට අදවත් වකුගඩු දෙකක් ඇති බව සිතා කටයුතු කරන්න. නීරෝගී බව ජීවිතයට සුවබර අසිරියක් වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.