බෙල්ලේ වේදනාව අඩු කරන යෝගාසන

නොවැම්බර් 15, 2024

එදිනෙදා ජීවීතයේ දී අප සියලු දෙනා බොහෝ කටයුතුවල නිරත වනවා. එවන් ක්‍රියාවල නිරත වීමේ දී විවිධ කායික වේදනාවන්වලට පුද්ගලයාට මුහුණ දීමට සිදු වනවා. බෙල්ලේ වේදනාව කියන්නේත් එවැනි කායික වේදනාවන්වලින් වඩාත් සුලබ මාංශ පේශී ගැටලුවක්. බෙල්ලේ පිටුපස මොල්ලිය වැනි ඉස්සී ඇති කොටස ඉදිමීමක් ඇතිවීම ‘නෙක් හම්ප්’ ලෙසින් හඳුන්වනවා.

එය කොඳු ඇට පෙළ අධික ලෙස ඉදිරියට වක්‍ර වීමට හේතු වන කොඳු ඇට පෙළේ රෝගී තත්ත්වයක් වනවා. කාලයා‍ගේ ඇවෑමෙන්, මෙය ඔබේ ඉහළ කොඳු ඇට පෙළේ අස්ථිවල වක්‍රයක් සහ බෙල්ලේ පතුලේ පටක ස්කන්ධයක් වර්ධනයටත් හේතු වනවා. මේ තත්ත්වය කාන්තාවකට ඇති වීම තුළින් ඇගේ රූපයට ද හානියක් එකතු කරනවා. මේදය නුසුදුසු ආකාරයට තැන්පත් වීම නිසා ද මේ තත්ත්වය හට ගන්නවා. මෙය වෛද්‍ය විද්‍යාත්මකව කයිපෝසිස් ලෙසින් හඳුන්වනවා. ඒවගේම ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වයකදී කොඳු නාරටියේ වෙනස්වීමක් සිදුවීමෙන් ද බෙල්ලේ වේදනා තත්ත්වයක් ඇති වන්න පුළුවන්. අධික තරබාරුව තිබෙන අයටද මේ තත්ත්වය හට ගන්නවා. එසේම මේ රෝගී තත්ත්වය ජානමය වශයෙන්ද වැලඳීමට ද හැකියි. එසේ වන්නා වූ මේ රෝගයෙන් ආරක්ෂා වීමට යෝගාභ්‍යාස හොඳම ක්‍රමයක්. යෝග විශේෂඥ වෛද්‍ය හංසජි යෝගේන්ද්‍ර යෝගාවල නිරතවීම බෙල්ලේ ගැටිත්තක් ඇතිවීම අවම කර ගැනීමට යොදා ගන්නා හොඳම ක්‍රමයක් බව පවසනවා. ඔබටත් බෙල්ලේ ඇතිවන ඉදිමුම් පාලනයට පහත ඉරියව් සිදු කළ හැකියි.

බෙල්ලේ වේදනාවෙන් පීඩා විඳීන බොහෝ දෙනෙකුට දින චර්යාවේ කොටසක් ලෙස යෝග ක්‍රියාත්මක කරන්න පුළුවන් . යෝග මගින් ඔබගේ සන්ධි චලිතය සහ එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන අතර බෙල්ල හා උරහිස් ප්‍රදේශවල මාංශ පේශීවල අසමතුලිතභාවය සමනය කිරීමටත් උපකාරී වනවා. බෙල්ලේ ඇතිවන ගැටිති සමනය කරන්නට පහත ඉරියව් පුහුණු කරන්න පුළුවන්.

1. පද්මාසනය

පදමාසනයේ දී පාද තබා ගනු ලබන ඉරියව්ව නෙළුමක පෙනුම ගෙන දෙයි. පළමුව තමාගේ සිරුර කෙරෙහි මනා අවධානයක් යොමු කළ යුතු අතර තමා පුහුණු වීමට අදාළ ඉරියව්ව පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. මෙහිදී දෑස් පියාගෙන සිරුර දෙස මනා අවධානයෙන් සිටීම වැදගත්. පසුව ආශ්වාසය ද ඉන්පසු ප්‍රශ්වාස වෙත අවධානය යොමු කරන්න. මෙහිදී පළමුව පාද දිගු කර පොළව මත වාඩි වන්න. ඉන්පසු දකුණු පාදය වම් කළවය සහ වම් පාදය දකුණු කළවය මත තබා දෑත් දණහිස් මත තබා ගන්න. මේ ඉරියව්වෙන් වාඩි වන විට පතුල් දෙක ඔබේ කලවය මත පිහිටන අතර පාද දෙකෙහිම විලුඹ උඩුකුරු අතට පිහිටයි. ඉන්පසු කොන්ද, බෙල්ල හොඳීන් දිග හැර කෙළින් තබා ගත යුතුයි. මූලික ආසනයක් වන මෙය බහුවිධ ප්‍රතිපල අත් කර දෙන්නකි.

2. ස්ථිති ප්‍රාර්ථනාසනය

ඔබේ පාද එකට තබාගෙන කෙළින් සිටගන්න. ඔබේ කොඳු ඇට පෙළ කෙළින් තබා ගෙන පපුව මට්ටමින් ඔබේ දෑත් නමන්න. ඉන්පසු ඔබේ දෑස් වසා, ඔබේ ශරීරය ලිහිල් කර පහසුවෙන් හුස්ම ගන්න. මෙය ඔබේ බෙල්ලේ කැක්කුම සමනයට මනා වූ උපකාරයක් ලබා දෙනවා.

3. සුඛාසන

සුඛාසනය සිදු කිරීමට, ඔබේ කොඳු ඇට පෙළ කෙළින් තබා ගනිමින් ඔබේ කකුල් කතිරයක ආකාරයෙන් තබාගෙන ඉඳගෙන ඔබේ දණහිස් මත දෑත් සැහැල්ලුවෙන් තබා ගන්න. ඉන්පසු හිස කෙලින් තබාගෙන දෑස් වසා ආශ්වාස ප්‍රශ්වාස කිරීමට අවධානය යොමු කරන්න.

4. වජ්‍රාසනය

මේ ආසනයේ දී කොඳු ඇට පෙළ, ගෙල සහ හිස එකම සරල රේඛාවක සෘජුව පිහිටන පරිදි තබා ගන්න. පළමුව පාද දණහස්වලින් නවා යවා යටි පතුල් මත තට්ටම් වදින පරිදි වාඩිවන්න. මෙහිදී දෙපයේ ඇගිලි පෙදෙසින් එකට එකතු වී විලුඹ උඩු අතට හැරී තිබිය යුතුයි. ඉන්පසු කොන්ද කෙළින් තබාගෙන දෑත හොඳීන් දිගහැර සෘජුව තබා ගන්න.

5. තදාසන

ඔබේ පාද සමාන්තරව තබා ගෙන කෙළින් සිටන්න. ඔබේ දෑත් හිස උඩට ඔසවන්න. ඉන්පසු ඔබේ අත් ඉහළට දිගු කරන ගමන් පා ඇගිලිවලින් එසවෙන්න. ඉන්පසු සෙමින් ඔබේ දෑත් පහතට ගෙන එන්න.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.