ඩෙංගු තුරන් කරමු

සටහන - ජයන්ති කුරේ
ජනවාරි 27, 2023

ඩෙංගු දිවයින තුළ බහුලව වාර්තා වන රෝගයක් වන අතර මදුරුවන් දෂ්ට කිරීම මඟින් ව්‍යාප්ත වේ. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ සහ හිසරුදාව, ඇස් යට වේදනාව, ඔක්කාරය සහ වමනය, මස්පිඩු හා සන්ධි වේදනාව, සමේ රතු ලප හට ගැනීම හා රුධිර වහන තත්ත්වයන් (විදුරුමසෙන්, නාසයෙන්, සමෙන්) ඇතිවේ. ඩෙංගු රෝගයේ ප්‍රභේද වන සාමාන්‍ය ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ වැලඳුන රෝගීන්ගේ මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.

 

ඩෙංගු බෝවන්නේ කෙසේද?

 

ඩෙංගු රෝගය ඇති කරන වයිරසය ඊඩිස් වර්ගයේ ගැහැනු මදුරුවන් මඟින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වයිරසය ඇතුළු වන්නේ ඩෙංගු වයිරසය ශරීරගත වූ පුද්ගලයකුට දෂ්ට කිරීමෙනි.

මෙම මදුරුවා බිත්තර දමන්නේ පිරිසුදු ගලා නොයන ජලයේය. වරකට බිත්තර 100 - 200ක් පමණ දමන මෙම එක් ගැහැනු මදුරුවකු සිය ජීවිත කාලය පුරාවට පස්වතාවක් පමණ බිත්තර දමයි. මෙහි විශේෂත්වයක් වන්නේ ගැහැනු මදුරුවකු බිත්තර දමනවිට එක් වරකට ස්ථාන කිහිපයකටම බිත්තර දැමීමය.

මෙම මදුරුවාගේ කෙළ මඟින් වයිරසය මිනිසාගේ ශරීරයට ඇතුළු වේ. එසේ වයිරසය ඇතුළු වූ විට මිනිසාගේ සුදු රුධිරාණු හා එහි පටක ආසාදනය කරයි. එසේ ඇතුළු වූ වයිරසය වර්ධනය වී රුධිර සංසරණ පද්ධතියට මුදා හරියි. මෙම වයිරසය සිරුර පුරා ගමන් කරයි. එයින් අක්මාව හා ඇට මිදුළුවලට ඇතුළු වේ. එවිට ශරීරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය හා සුදු රුධිරාණු අඩුවේ. රුධිර පට්ටිකා විශාල ලෙස අඩුවීමෙන් රුධිර වහනයක් සිදුවීමට ඉඩ තිබේ.

 

අවදානම් ලක්ෂණ මොනවාද?

 

දත් මදින විට විදුරුමසින් රුධිරය ගැලීම

උදරයේ ඇතිවන තද වේදනාව

නොනවත්වා වමනය පැවතීම

අධික නිදිමත බව/ නොසන්සුන් බව / අප්‍රාණික බව රුධිර වහනය වීම පැය 6 කට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීම/ සමෙහි රතු පාට පලු මතුවීම

 

උණ ඇතිවිට කුමක් කළ යුතුද?

 

වෙහෙසකර කටයුතුවලින් බැහැරවී හොඳින් විවේක ගන්න.

තදින් උණ පවතී නම් පිරිසුදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.

සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගන්න. උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක් වළක්වා ගන්න. මෙහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට (විශේෂයෙන් පෙණහලු පටල අතරට, උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර දිනපතා සිදුකරන රුධිර පරීක්ෂණවල වෙනස්කම් මඟින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත්කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගින් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

 

ඩෙංගු රෝගය ඇතිවිට මදුරුවන්ගේ දෂ්ටනයෙන් ආරක්ෂා විය යුත්තේ ඇයි?

 

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වයිරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මෙම බීජෞෂණ සමය දින 3 -4 අතර කාලයක් පවතී. ඉන්පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2 -10 අතර කාලයක් පවතී. මෙම කාලය තුළ ඩෙංගු වයිරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වයිරසය මදුරුවා තුළට ඇතුළුවන අතර එමඟින් වෙනත් පුද්ගලයින්ට වයිරසය ඇතුළුවී රෝගය ඇතිවිය හැකිය.

 

මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් වැළකෙන්නේ කෙසේද?

අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් අඳින්න. මදුරු දැලක් යට විවේකිව සිටින්න.

පැඟිරි තෙල් වැනි මදුරු විකර්ෂක භාවිත කරන්න.

 

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්වලදීද?

සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තුරුද සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුර දෂ්ට කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ දෂ්ටනවලින් ආරක්ෂා විය යුතුය.

 

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථාවලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම මොළයට සිදුවන බලපෑම් වැනි සංකූලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැක.

 

ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

 

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය.

උදා:– (ඩෙංගු රක්තපාත උණ අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සෑදී දින 2කට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව වඩාත් ප්‍රයෝජනවත් වේ.

 

ඩෙංගු රක්තපාත උණ යනු කුමක්ද?

ඩෙංගු රක්තපාත උණ ඩෙංගු රෝගී තත්ත්වයේ ඇති විය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමඟ ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනාගැනීම මුල් අවධියේම සිදුකළ යුතුය.

 

දියර වර්ග

උණ වැලදී ඇති අවස්ථාවලදී විජලනය වැළැක්වීම සඳහා දියර වර්ග (කැඳ වර්ග,ජීවනී, සුප්, තැඹිලි වතුර, නාරං) පලතුරු යුෂ, පානීය ජලය) පානය කිරීම වැදගත් වේ. රතු දුඹුරු පැහැති ආහාරපාන ගැනීම මඟින් රෝගය නිසා ඇතිවිය හැකි ලේ වහන තත්ත්වය හා වමනය හෝ මල පහ වෙන්කර ගැනීම අපහසු බැවින් වර්ණ කළ ආහාරපාන නොගැනීම වඩාත් සුදුසුය.

සමහරක් කොළ පාට ඇපල් ජූස් සුදුසු යැයි කීවත් ඒවාට නොයෙක් බෙහෙත් වර්ග යොදන බැවින් එය බීමට සුදුසු නැත.

 

දේශීය ප්‍රතිකාර

සුදර්ශන චූර්ණය තේ හැඳි 1ක් ගෙන මී පැණියෙන් අනා වයස 20න් ඉහළ අයට නිවුණූ උණු වතුරෙන් බීමට දෙන්න. එසේ නොමැතිනම් සුදර්ශන පෙති 2 බැගින් දවසට තුන් වරක් ගන්න.

ගස්ලබු මැල්ලුම හා ගස්ලබු මාළුව ඉතාමත් සුදුසුය. ගස්ලබු ගසේ දල්ල ළඟ සිට තුන්වෙනි කොළය කඩා පොඩි වංගෙඩියක දමා කොටා වතුර මිශ්‍ර නොකර රෙදි කැබැල්ලක දමා මිරිකා මේස හැන්දක ඉස්ම ගෙන එයට මී පැණි තේ හැන්දක් දමා රෝගියාට පොවන්න.

සෑම සතියකට වරක් ඔබගේ නිවෙසේ, ගෙවත්තේ සහ සේවා ස්ථානයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරික්ෂා කර ගන්න.

 

මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට මෙම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

 

නොගැඹුරු ළිං, ජලය රැස්කරන භාජන, ටැංකි, බැරල් යනාදිය මදුරුවන්ට ඇතුළු විය නොහැකි සේ හොඳින් ආවරණය කරන්න.

නළ ලිඳෙහි බටයේ ජලය රැඳෙන ස්ථානයේ මදුරු කීටයන් සිටී දැයි දිනපතා විමසිලිමත් වන්න.

ජලය රැස්කරන බඳුන් ටැංකි මල් පෝච්චි, කුරුලු නාන තටාක සහ සුරතල් සතුන්ට ආහාර දෙන භාජන යනාදියේ ඇතුළත බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසුදු කරන්න.

ශීතකරණ, වායුසමීකරණවල ඇති ජලය එක්රැස් වන තැටි යනාදියේ ඇතුළත රැඳුණු මදුරු බිත්තර ඉවත් කිරීමට බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසුදු කරන්න.

භාවිත නොකරන ඉවතලන බඳුන් හා භාණ්ඩ නිසි පරිදි බැහැර කරන්න.

නැවත භාවිතයට ගන්නා හෝ ඉවතලන ටයර් ජලය එක්රැස් නොවන සේ ආවරණය කරන්න. වැලි පුරවන්න, සිදුරු කරන්න.

නිසි ලෙස නඩත්තු නොකළ අවහිර වූ වැහි පිහිලි පිරිසුදු කරන්න. ගලවා ඉවත් කරන්න.

වැසි ආවරණ (පොලිතින් ඉටිකොළ, රෙක්සින්) සහ කොන්කී‍්‍රට් වහල (ස්ලැබ්) මත ජලය එක්රැස් නොවන සේ පිරිසුදු කරන්න.

ගස් බෙන, උණ පුරුක් වැනි ස්ථානවල ජලය එක්රැස් නොවන සේ වැලි බදාම පුරවන්න.

පහසුවෙන් ජලය ඉවත් කළ නොහැකි ස්ථාන සඳහා පළිබෝධ නාශක, අනුමත කීටනාශක යොදන්න.

භාවිත නොකරන ජලය රැස්කරන බඳුන් ජලය නොරැඳෙන සේ තබන්න.

අවට පරිසරය සැමවිටම පිරිසුදුව තබා ගන්න.

 

 

උපදෙස්

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි

වෛද්‍ය ඉන්දික වීරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.