කුසේ සිටින දරුවා වෙනුවෙන් කරන විශේෂ බෝධි පූජාවක්

අප්‍රේල් 15, 2022

දරු උපතක් සිදුවන්නේ දරුවාගේ, පියාගේ, මවගේ යන තිදෙනාගේම කර්මානුරූපව බව මතක තියා ගන්න. දරුවකු අපේක්ෂා කරන තරුණ අම්මා යහපත් දරුවකු වෙනුවෙන් පළමුව දෙවියන්ට ආරාධනා කළ යුතුයි. දරුවකු අපේක්ෂාවෙන් ඔබ දෙදෙනාම ආගමානුකූල, ධර්මානුකූල ජීවිතයක් ආරම්භ කළ යුතුයි. ඔබේ නිවස ද ගෙවත්ත ද බෞද්ධ ප්‍රතිපත්ති රකින ඉතා පිරිසුදු නිවසක් කරගත යුතුයි.

එසේ නොවුනහොත් අදෘෂ්‍යමාන බලවේගවලට ඔබ හසුවේ. ප්‍රේතයන් එවැනි තැන් අරක් ගනී. ඔවුන්ගේ ග්‍රහණයට හසුවන නිවෙස්වල නිවැසියන් කම්මැලි කරවා ඒ ස්ථාන අපිරිසුදු ලෙසම තැබීමට ඔවුන්ට හැකි ය. පවුලේ අසමගිය රජකරවීමටත්, දියුණුව වෙනුවට පරිහානිය ළඟාකරවීමටත් ප්‍රේත ග්‍රහණයට ලක්වූ තැන් නතු වේ. එවැනි නිවෙස්වල බැබළීම, සතුට, දියුණුව, ආලෝකය වෙනුවට අඳුරක්, නොසතුට, පිරිහීම, අවුල්වියවුල්, අගහිඟකම් වැනි සියලු බිඳ වැටීම් දක්නට ලැබේ.

සුවඳ දුම් අල්ලා බෞද්ධ පිළිවෙත් නිතර කළොත් ප්‍රේත ග්‍රහණයෙන් මිදී සුවසේ වාසය කළ හැක. මුළු නිවසටම අස්සක් මුල්ලක් නෑර දුම් අල්ලන්න. නිතර නිවසේ පිරිත් ශ්‍රවණය කිරීමට කටයුතු යොදා ගන්න.

මවට ගෞරව කිරීම, සියලුම ජාතීන් එකලෙස පිළිගන්න, පිළිපදින උතුම් ගුණාංගයක්. මවු පදවිය තරම් උතුම් වස්තුවක් නොමැති තරම් ය. මවකට හිමිතැන ගත හැකි වෙනත් කිසිවකු මිහිපිට වාසය කරනවා යැයි සිතිය නොහැක. බුදුන් වහන්සේගේ පමණක් නොව සත්ව ලෝකයේ ද තම රුධිරය කිරි බවට පත්කරමින් දරුවාට පොවා ඔහුගේ ජීවිතය පෝෂණය කරන්නේ මවයි. මෙලොව උපත ලද මහා ප්‍රාඥයින්, බුද්ධිමතුන්, වීරයින් සෑම කෙනෙක්ම මෙලොවට දායාද කරන ලද්දේ මවයි. මවගේ ආදරය තරම් ආදරයක් මේ ලෝකයේ කිසිවකුගෙන්වත් ලබාගත නොහැකියි.

දුවේ, ජනමාධ්‍ය තුළින් අපට අසන්නට ලැබෙන දෙයක් “දරුවන්ට තියෙන විවිධ රෝග“ කරුණාකර විවාහය ගැන ආදරවන්තයා සමඟ පෙමින් බැඳෙන සෑම අවස්ථාවකදීම ඔහුව උනන්දු කරවන්න ආගමානුකූල, ධර්මානුකූල පසුබිමක් තුළ දරුවකු වෙනුවෙන් කුස තුළ බීජයක් පැළ කිරීමේ ඇති වැදගත්කම. එසේ වුවහොත් නීරෝගී දරුවකු හදන්න බලාපොරොත්තු තබාගත හැක.

දුවේ, ඔබ දෙදෙනා දරුවකු වෙනුවෙන් කුස තුළ බීජයක් පැළ කරන වේලාවට නැකැත් සාදා ගැනීම පෝරුවේ චාරිත්‍රවලට සාදන නැකැතට වඩා බලවත් බව සිතන්න. පැරැන්ණන් කළ දේවල් දැන් දැන් ගිලිහී ගිහින්. ඒකයි අපිට සෞභාග්‍යයෙන් පිරි දරුවන් නොලැබෙනුයේ. බෝධි සත්වයෝ පස්මහ බැලුම් බැලුවා මතකද? ඒ ගැනත් සිතා කල්වේලා ඇතිව දුගීමගී යාචකයින්ට, සිල්වත් භික්ෂූන්ට, කුඩා දරුවන්ට දන් දී යහපත් දරුවකු පිළිබඳ ප්‍රාර්ථනා පෙරදැරිව හොඳ දිනයක්, හොඳ වේලාවක් බලා පිරිසුදුව සතුටින් ආගමික වතාවත් කර දරුවකු වෙනුවෙන් දෙදෙනා එක්වන්න.

දුවේ, දැන් රටට අවශ්‍ය වන්නේ, ඇළට, දොළට, ගහට, කොළට ආදරය කරන පෞර්ෂත්වයෙන් පිරුණු, ප්‍රචණ්ඩත්වයෙන් තොර, හික්මුණු ස්වභාවයෙන් හා සංවරභාවයෙන් යුතු සත්පුරුෂයින්.

දුවේ, මෙවැනි වැදගත් කරුණු ස්වල්පයක් ඔබව දැනුම්වත් කිරීම උදෙසා ලියන්න සිතුවේ ආත්මගත බැඳීමක් නිසායැයි සිතමි. මෙහි අන්තර්ගත කරුණු අඩංගු පතපොත ඉතා විරලය. ඒවා ඔබ අතට පත්වන්නේ ද අහම්බෙනි. උගතුන්, බුද්ධිමතුන් මේ අවස්ථාව පිළිබඳ ඔබලාව මීට වඩා දැනුම්වත් කිරීම සඳහා කාලය පැමිණ ඇත. රටක යහපත් පුරවැසියන් සිටිනා විට එම රට ද සමෘද්ධිමත් රටක් වේ. රටවැසියා ධාර්මික වූ විට රටත් ධාර්මික වේ. දෙවියන් මනුෂ්‍ය ලෝකයටයි දිව්‍ය ලෝකය කියන්නේ. සත්පුරුෂයින්ට දෙවියන් වඳී. සියලු රටවැසියා සත්පුරුෂයින් වීමට නම් ධර්මානුකූල, ආගමානුකූල ජීවිත ගත කළ යුතුයි. රටවැසියා එසේ වීමට නම් හොඳ උප්පත්තියක් තිබිය යුතු යි. හොඳ උප්පත්තියක් ලැබීමට නම් බීජය හොඳවිය යුතුයි. බීජය හොඳවීමට නම් ආගමානුකූලව ධර්මානුකූලව කටයුතු කළ යුතු යි. ආගමානුකූලව, ධර්මානුකූලව කටයුතු කර හොඳ බීජයක් මවු කුසක තැන්පත් කළොත් හොඳ පුරවැසියකු බිහිකළ හැකියි. සෑම මවක්ම හොඳ පුරවැසියන් බිහිකළොත් එම රට සමෘද්ධිමත් වේ. මාගේ ව්‍යායාමය ද එයයි, කියවන්න හිතට ගන්න. මේ අනුව කටයුතු කරන්න. මනුෂ්‍ය ආත්මයක් ලබපු ඔබ ඉන් පල නෙළාගන්න.

කිරි දෙන විට මව්බිමේ අභිමානය කියා දෙන්න. බිළිඳු අවස්ථාවේ දරුවාගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න. එසේ නොවුණහොත් අනාගතයේ දී දරුවන් තද හිත්, ඇති අය වෙනවා.

අම්මා කියන වචනය ලෝකයේ අතිශ්‍රේෂ්ඨතම වචනයයි. මේ වචනයට සරිලන විදියට කටයුතු කරන අම්මලා ඉන්නව නම් උපදින දරුවා ද ශ්‍රේෂ්ඨ විය යුතුයි නේද? ඇයි එහෙම නොවන්නේ? අඩුපාඩු රැසක් තියෙනවා. මෙසේ කටයුතු කරන්නේ ඔබව දැනුම්වත් කර ඒ දෙය අවම කිරීමටයි.

දුවේ, දරුවන්ට දුක කියාදෙන්න, දුකට හේතුව කියාදෙන්න. දුකට හේතු හොයාගෙන දුක නැති කිරීමට හේතු කියාදෙන්න. ලොකු වෙනකොට හොඳ රැකියාවක් නොලැබුණොත් දුකයි කියා කියාදෙන්න. ලොකු වෙනකොට දුප්පත් වුණාම දුකයි කියා දෙන්න. ඉගෙන ගත්තේ නැති වුණාම හොඳ රැකියාවක් හොයාගන්න බැරි බව කියා දෙන්න. එතකොට දුකයි කියා කියාදෙන්න. හොඳට ඉගෙන ගත්තම හොඳ රැකියාවක් ලබාගන්න පුළුවන් බව කියාදෙන්න. එතකොට දුක නැතිවෙන බව කියා දෙන්න. දුවේ ප්‍රතිමාවක් අඹනවා වගේ දරුවෙක් හදන්න ඕනෙ. සෑම වේලේම දරුවාට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. කෙනෙකු පොහොසත් වන්නේ ධර්මානුකූලව කටයුතු කරන නිසා බව කියාදෙන්න. දුප්පත් වන්නේ ධර්මානුකූලව කටයුතු නොකරන නිසා බව කියාදෙන්න. දුවේ, මඩේ පැළවුණ නෙළුමක් වන්න උත්සාහ ගන්න. එවිට අම්මා කියන උතුම් පදවියෙන් ඔබ බැබළේවි. අපේ ඇසට පේන දෙවියෝ “අම්මා” සමාජයට උතුම් මෙහෙවරක් කළ අයකු ලෙස මිය යා යුතු යි. පස්වන අග්බෝ රජතුමා ඔහුගේ මඟුල් කඩුව සේදුවේ තම අම්මාගේ දිය රෙද්දෙන් බව මතක තියාගන්න.

දුවේ, ලෝකයෙන්ම ගරු බුහුමන් ලබන සැමගේ ගෞරවාදරයට පාත්‍ර වන “අම්මා” කියන ශ්‍රේෂ්ඨ පදවියටයි ඔබ පත්වන්න යන්නේ. සීරුවෙන් නොගියොත්, වැඩිහිටි, ගුරුදෙගුරු බස් පිළිකෙව් කළොත්, හිතුවක්කාර වුණොත් ඔබේ මුළු ජීවිත කාලයම අඳුරු වන බව මතක තබාගන්න.

දුවේ, “පෙනේරයක් නොවී කුල්ලක් වන්න” සිතට ගන්න.

 

එන්ස්ලි එඩ්වඩ් අමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.