නෙත් සඟලින් හෙළිවන ජීවිත රහස්

දෙසැම්බර් 31, 2021

යම් අයකුගේ ජීවිතයේ වාසනාව හෝ අවාසනාව ඔහුගේ හෝ ඇයගේ දේහ ලක්ෂණ අනුව බොහෝ දුරට දැනගත හැකිය. ලස්සන රූ සපුවක් හිමි කාන්තාවකගේ වුවද ශරීරයේ යම් යම් ශරීරාංග තුළින් දැනගත හැකි කරුණු විවිධාකාරය. ඇයගේ දෑස්වල පිහිටීම හා ස්වභාවය අනුව එකිනෙකට වෙනස් චරිත ලක්ෂණ දැකිය හැකි ය.

පියකරු පෙනුමකින් යුත් නිල් පැහැයෙන් බබළන කාන්තිමත් ඇස් යුවළක් හිමි කාන්තාව බොහෝ සැප සම්පත් ලබන සැමියාගේ ආදරය, කරුණාව සැමදා ලබන දිගු කාලයක් ජීවත්වීමේ වාසනාව ලබන තැනැත්තියකි. ඇස් යුවළ කෙළවර රතු පැහැයෙන් යුක්තව කළු ඉංගිරියාව තද කළු පැහැයෙන් යුතු ඇස් පිහාටු සමානව දෙපසේම පිහිටා ඇති කාන්තාවන් ද වාසනාවන්තයෝ ය.

මුවැත්තියකගේ මෙන් ඇස් ඇත්තී දඟකාරය. කෙළිලොල් බවක් පෙන්වන්නීය. නමුත් ඇය ගැන විශ්වාසයක් තැබිය හැකි නොවේ. අන් අය අතරදී තමන් පිළිබඳ වර්ණනා කිරීමට පෙළඹෙයි. මුදල් උපයා ගැනීමට වඩා මුදල් වියදම් කිරීමට දක්ෂය. දෙනෙතේ සුදු ඉංගිරියාව මත ලප සලකුණු වැටුණු කාන්තාවන්ගේ විවාහ ජීවිතය සාර්ථක නොවේ. පවුල් අවුල් වී යයි. තද කාමුක ගති පැවතුම් ඇතිවෙයි. තම සැමියාගෙන් පමණක් තෘප්තිමත් නොවන ඇය අන් පුරුෂයන් කරා යයි.

සාමාන්‍යයෙන් පිටතට නෙරා ගිය ඇස් ඇති කාන්තාව වට පිටාවේ අවබෝධය මෙන්ම යම් යම් දේවල් පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට උනන්දුවක් දක්වයි. පහළට එල්ලෙන්නාක් මෙන් පවතින ඇස් ඇති අය අන් අයගේ ඕපාදූප කියා පාමින් තමන් නිවැරදි බව පවසන රහස් ප්‍රතිපත්ති ඇති අය වෙති.

තද නිල් වර්ණයෙන් ඇස් පිහිටන අය කඩිසරව වැඩ කරන තමන්ගේ යුතුකම් හරියටම ඉටු කරන්නෝ වෙති. දුඹුරුපාට ඇස් ඇති අය ලාමක අදහස්වලින් යුක්තවන අතර සිත් ඇදගන්නා ගුප්ත දේවල් ගැන වැඩි උනන්දුවක් දක්වති. දෙනෙත් පිළිබඳව විග්‍රහ කිරීමේ දී ඉදිරියට නෙරා ආ බැලූ බැල්මට විශාලත්වයෙන් පෙනෙන වටකුරු දෙනෙත් ඇති අය විශේෂයෙන්ම බලාපොරොත්තු රහිත කරදර බාධකවලට පත්වන පුද්ගලයන් බව දේහ ලක්ෂණ විද්‍යාවේ දී සඳහන් වේ. එමෙන්ම එවැනි දෙනෙත්වලට උරුමකම් කියන අය ස්වභාවයෙන්ම ඉතා අහංකාර ගති ගුණවලින් හෙබි කිසිවෙකුටවත් යටත්වීමට අකමැති තමන්ගේම සැප සම්පත් ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී පුද්ගලයෝය. විශේෂයෙන්ම මෙවැනි දෙනෙතක් හිමි අය බලාපොරොත්තු රහිත අවස්ථාවලදී බොහෝ කරදරවලට මුහුණපෑමට සිදුවනවා නියතය. මේ නිසා එවැන්නන් ඉතාමත් පරීක්ෂාකාරීවීම වැදගත් ය.

දකුණු ඇස අන්ධ වූ ස්ත්‍රිය බොහෝ දරුවන් ලබන්නීය. වම් ඇස අන්ධ වූ ස්ත්‍රිය තම පුරුෂයා අතහැර පර පුරුෂයන් කරා යෑමට පෙළඹෙයි. වම් ඇස වපර වී ඇත්නම් ඇයද විෂමාචාර පහත් ගති ඇති ඇත්තියකි. ඇය දරුවන් නොලබන බවද කියැවේ. රත් පැහැ වර්ණයෙන් යුතු ගිලුනු ස්වභාවය පෙන්වන ඇස් ඇති ස්ත්‍රිය ස්වාමි පුරුෂයා හා සමඟ විසීමද කිසිසේත් ඔහුගේ සමාගම පි‍්‍රය නොකරයි. තම පුරුෂයාගේ ජීවිතය පවා විනාශ කිරීමට පෙළඹෙන්නේ එවැනි අධම ස්ත්‍රීන්ය.

යම් ස්ත්‍රියකගේ නෙත් යුවළ සිහින් ලෙස දිස් වූ ආකාරයෙන් යුක්ත වේ නම් එවැනි අය කරුණාව මෙන්ම මෘදු ගතිගුණවලින් යුක්තය. සමාජයේ කා අතරත් පි‍්‍රය මනාපය ජීවත්වන ඔවුන් සමාජයේ ගෞරවාදරයටද ලක් වන්නීය.

යම් කාන්තාවකගේ ඇස් ගිලිහී ගිය ආකාරයෙන් පවතීද, රත් පැහැයට හුරුවේද ඒ තුළින් ඇයගේ දුෂ්ඨ ගතිගුණ හෙළිවේ. තමන්ගේ යහපත ගැනම පමණක් සිතන ඇය අන් අයට ආධාර උපකාර කිරීමට අකමැතිය. තම සැමියාගේ මාපියන්ට හා වැඩිහිටියන්ට ද සැලකීමට අකමැති එවැනි ස්ත්‍රීන් හැමවිටම කෝපාවිෂ්ටවී සිටින බවක් පෙන්නුම් කරයි.

කෙළින් බලා සිටීමට තරම් අපහසු තියුණු ඇස් ඇති කාන්තාව කිර්භීතය. එඩිතර චරිතයක් ඇය සතුවෙයි. තම පරම්පරාව හා සැමියා කෙරෙහි අප්‍රමාණ වූ මහත් ගෞරවයකින් හා බැඳීමකින් ජීවත් වේ. කිසිදා වරදේ නොබැඳේ. උස්වූ ඇස් පිහිටියේ නම් ආයුෂ මද වේ. වටවූ ඇස් ඇති ස්ත්‍රිය බොහෝ සේ ඇවිදින්නියකි. එළුවන්ගේ මෙන් ඇස් හෝ මැදින් උස් වූ ඇස් පිහිටන්නේ ජීවිතයේ දුක උරුම ස්ත්‍රීන්ටය. පිඟුවන් ඇස් ඇත්තීද, කොබෙයියන්ගේ මෙන් ඇස් කාන්තාවෝ ද දීන ගති පැවැතුම්වලින් යුක්තය.

ඇස්වල ස්වභාවය අනුව පුරුෂයන්ගේ ගති ලක්ෂණ දේහ ලක්ෂණ විද්‍යාවේ සඳහන් ය. යම් පුරුෂයකුගේ ඇස් කුඩා මෙන්ම ඇතුළට ගිලුනු ස්වභාවයක් පෙන්නුම් කරයි නම් ඔහු ගතානු ගතික සිරිත්වලට ගරු කරයි. උසස් අරමුණු ඔහු තුළින් දැකිය නොහැක. පහත් අදහස් නිසාම පහසුවෙන් කපටි පුද්ගලයින්ට හසුවෙයි. ඇස් ඉතා තියුණු ලෙස පිහිටා ඇත්නම් අන්‍යයන්ගේ ප්‍රයෝගවලට කිසිදින හසු නොවේ. බොහෝ කල්පනාකාරී තීක්ෂණ අවබෝධයකින් යුතුව ක්‍රියා කරයි. තමන් නොරැවටි අනුන් රැවටිය හැකි නුවණක් ඔහු සතුවේ. සිහින් වුවද, දිග් වුවද ඇස් පිහිටියේ නම් හේ ඉතා කාරුණික හදවතක් ඇත්තෙකි. ඇස් හොඳින් දිගුවට පෙනේනම් එබදු පුද්ගලයා දීර්ඝායුෂ ලබන්නේ ය. ධෛර්යවන්ත පුද්ගලයින්ගේ ඇස් රවුම් ආකාර වන අතර නිහතමානී නිරහංකාර ගතිගුණ ඔහු තුළින් කැපී පෙනෙයි. අල්පේච්ඡතාවය ඔවුන් හැමවිටම අගය කරයි.

ඉතා කුඩා සිහින් දෙනෙත් ඇති අය කපටි කයිරාටික පුද්ගලයින් ලෙස සැලකේ. මොවුන් කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි නොවේ. මෙවැනි අය පැරණි ජනවහරේ විස්තර කෙරෙන්නේ ‘දිය යටින් ගින්දර ගෙන යන්නන්’ ලෙසය. මෙවැන්නන් යහපත් දේට වඩා අයහපත් දේ කිරීමට නිතර පෙළඹෙන්නාසේම තමන්ගේ සැප සම්පත් ගැන පමණක් සිතන අයහපත් දේ කිරීමට නිතර පෙළඹෙන්නාසේම තමන්ගේ සැප සම්පත් ගැන පමණක් සිතන කොතරම් බාධක පැමිණියද තමන්ගේ සැපත දියුණුව ළඟාකර ගැනීමට ඉතා සූක්ෂම ආකාරයෙන් ක්‍රියා කරන පුද්ගලයින්ය. මෙවැනි දෙනෙත් ඇති අය බලාපොරොත්තු රහිත කරදර දුක් වේදනා, අතුරු ආන්ත්‍රාවලටද පත්වීමට ඇති ඉඩකඩ ඉමහත් ය.

(පැරණි දේහ ලක්ෂණ පොත් ඇසුරිනි)

 

හිඹුටානේ පියතිලක ද

අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.