මොන තරම් කාර්යබහුල වුවත් වෙලාවට කෑම කන්න

අගෝස්තු 13, 2021

සිරුරේ මනා පෝෂණය සඳහා අප දෛනිකව ලබාගත යුතු ආහාර වර්ග මොනවාද ? ඒවායේ අඩංගු පෝෂණ තත්ත්වයන් මොනවාද ? කියන කාරණය පමණක් නෙවෙයි අප ආහාර අනුභව කළ යුත්තේ කුමන වෙලාවටද යන කරුණත් අපේ පෝෂණයට ඉතාම වැදගත්.එහෙත් කාර්යබහුල සමාජයේ ජීවත්වන බොහෝදෙනෙක් ආහාර ගන්න ඕන වෙලාව ගැන අවධානය යොමු නොකරන තරම්.මේ අතරින් ගොඩක් දෙනෙක් උදෑසන හා දහවල් ආහාර වේල් නිසි වේලාවට ගන්න පවා නිදහසක් නැති තරමේ කාර්යබහුල පුද්ගලයන් බව සමීක්ෂණ තොරතුරු අනූව තහවුරු වී තිබෙනවා.මතක තබාගන්න ඔබ කොපමණ කාර්යබහුල පුද්ගලයන් වුවත් ඔබ ලබාගන්නා ආහාර වේලේ ඇති පෝෂ්‍ය පදාර්ථ ගැන සැලකිලිමත් වන තරමටම ආහාර වේල ලබාගන්නා වේලාව ගැනත් අනිවාර්යයෙන්ම සැලකිල්ලක් දැක්විය යුතුයි.

 

උදෑසන ආහාරය

 

සාමාන්‍යයෙන් උදේ 08.30 වෙනකොට ඔබ උදෑසන ආහාරවේල සප්පායම් වී තිබීම ඉතාම යහපත්.වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් උදෑසන 07.00 – 08.00 අතර උදෑසන ආහාරය ලබාගත යුතු බවයි.උදෑසන අවදි වූ ගමන්ම මුව හොඳීන් සෝදා හිස්බඩට බොන වතුර වීදුරුව දිනපතා පානය කරන්නට මෙහිදී ඔබ අනිවාර්යයෙන්ම මතක තබාගත යුතුයි.සමහරු පුරුදු වෙලා ඉන්නේ කිරි වීදුරුවකට හෝ තේ එකකට පමණක් උදෑසන ආහාර වේල සීමා කිරීමටයි.ඒත් ධාන්‍ය හා පලතුරු, ප්‍රෝටීන් හා කාබෝහයිඩ්‍රේට් ද සහිත සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් උදෑසන ආහාර වේල සඳහා ගැනීමට පුරුදු වී තිබීම බෙහෙවින්ම අත්‍යවශ්‍යයි.පුරුද්දක් ලෙස උදේ ආහාර වේල ගන්නේ උදේ නමයෙන් පසුව නම් ප්‍රධාන වශයෙන්ම බඩේ දැවිල්ල වගේම නිතරම ඈනුම් යාම මූලිකවම ඇතිවෙන්න පුළුවන්.ඒ වගේම තමයි උදේ කෑම වේල දිගු කාලයක් සුදුසු වේලාවට නොගෙන සිටීමෙන් හෝ සම්පූර්ණයෙන්ම නොගෙන සිටීමෙන් උදෑසනම අවදිවෙන්න තරම් ශරීර ශක්තියක් (ඇඟට ෆිට් එකක්) නැති බවක් වගේම මුළු දවසම ප්‍රබෝධමත් බවින් තොරවීමත් දහවල් කෑම වේල ගැනීමට පවා පිරියක් නැති බවත් ඔබ‍ට

ඇතිවෙන්නට පුළුවන්.කල් ගතවීමේදී ගැස්ට්‍රයිටිස් රෝගයට ඔබ ගොදුරුවීමට මේ තත්ත්වයන් සියල්ල දැඩිව බලපෑම් කරන බව ඔබ අමතක කරන්නම එපා.මේ නිසා අදින් පස්සේවත් උදේ කෑම එක උදේ 07.00 – 08.00 අතර ගන්න.(අඩුම තරමින් උදේ 08.30 ට පෙර) ගන්න පුරුදු වෙන්න.

 

දහවල් ආහාරය

 

ඔබ දන්නවාද ? කෑම වේල් දෙකක් අතර පරතරය අවම වශයෙන් පැය හතරකට වඩා වැඩි වෙන්න ඕන බව ? ඒකට හේතුව තමයි ප්‍රධාන ආහාර වේලක් ගන්න කලින් ඊට කලින් ගත් ප්‍රධාන ආහාර වේල යම්තාක් මට්ටමකට ජීර්ණය වී තිබිය යුතුවීම.මේ නිසා දිවා ආහාරය ගත යුතු හොඳම වේලාව තමයි දහවල් 12.30 - 02.00 අතර කාලය.ඒත් මෙහිදී ඔබ මතක තබාගත යුතුයි.සවස තුනෙන් පසුව නම් දිවා ආහාරය ගැනීම ඒතරම්ම සුදුසු නැති බව.ඔබ උදෑසන ආහාරය ගන්නවානම් දහවල් ආහාරය ගැනීමට සුදුසුම වේලාව තමයි දහවල් 12.30 - 01.00 අතර කාලය.කලාතුරකින් හෝ උදේ ආහාර වේල උදෑසන නමය පසුවී ගත්තේ නම් ඒත් ඔබ කළයුත්තේ දිවා ආහාරය දහවල් දෙකට කලින් ගැනීමයි.මෙහිදී ඔබට දිවා ආහාර වේල තරමක් අඩුවෙන් ගැනීමට වුවත් පුළුවන්.

කොහොමටත් දහවල් වේල සඳහා ආහාර ප්‍රමාණය ඉතාම සීමිතව ගැනීම වඩාත් සුදුසුයි. දිවා ආහාරය ගැනීම ප්‍රමාදවීම නිසාත් ඔබට යම් යම් අපහසුතා ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එකදිගට කිසිම වැඩක් කරන්න තිබෙන ප්‍රබෝධය හීනවෙන්න පුළුවන්.නිදිබර ගතියක් ඇතිවිය හැකියි.එසේත් නැතිනම් තරමක ඈලි මැලි බවක්, උදාසීන බවක් වැනි හැඟීමක් ඔබට දැනෙන්න පුළුවන්.ඒ වගේම තමයි බඩ දැවිල්ලක් වගේ අපහසුවකුත් ඔබට දැනෙන්න පුළුවන්.මේ හැමදේටම හේතුව තමයි ඔබ දහවල් ආහාරවේල සුදුසු වේලාවට භුක්ති නොවිඳීම.ඒ වගේමයි ඔබ කාර්යාලයක සේවය කරන ඕනෑම තරාතිරමක අයෙකු වුවද දහවල් ආහාරය සුදුසු වේලාවට වුවත් වැඩිපුර ගත්තොත් කෑමෙන් පස්සේ ඔබට ඉතාම අලස, කම්මැලි, නිදිබර ගතියක් වගේම නිතර ඈණුම් යෑම ඇතිවන්නත් පුළුවනි.

රාත්‍රී ආහාරය

 

රාත්‍රී ආහාරය සඳහා සුදුසුම කාලය වන්නේ රාත්‍රී 07.30 - 08.30 අතර කාලයයි.දහවල් ආහාරයෙන් පසුව සවස තේ වේලාවට කිරි තේ එකක්, ක්‍රැකර් බිස්කට් එකක් සමඟ කෙසෙල් ගෙඩියක් වැනි අතුරු ආහාරයක් හෝ සැන්විච් එකක් සමඟ තේ කෝප්පයක් වැනි යමක් හෝ අතුරු ආහාරයක් ලෙස ගැනීමෙන් දිවා ආහාර වේලාවත් රාත්‍රී ආහාර වේලාවත් අතර ඇතිවන මඳක් දිගු කාලය තුළ ඇතිවන පොඩි බඩගින්න සමනය කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි රාත්‍රී 09.30 න් පස්සේ නම් රාත්‍රී ආහාරය ගැනීම කොහෙත්ම සුදුසු දෙයක් නෙමෙයි.ඉන් ඔබට රාත්‍රී නින්දට සහමුලින්ම බාධා ඇතිවෙන්න පුළුවන්.නියම වේලාවට ගන්නා රාත්‍රී ආහාරයෙන් පැයකට පමණ පස්සේ කෝපි කෝප්පයක් පානය කිරීම ඉතාම හොඳයි.කෝපි මගින් මුළු දවස පුරාම ඔබ

ආහාරයට ගත් කෑම වර්ගවල අඩංගු වූ මේදය යම්තාක් මට්ටමකට දියකර හරිනවා.

රාත්‍රී කෑමෙන් පසු නින්දට යා යුතු වේලාව

 

රාත්‍රී කෑමෙන් අඩුම තරමින් පැයක් ගතවෙන්නට පෙර ඔබ නින්දට නොයා යුතු බව මතක තබාගන්න.වඩාත්ම සුදුසු වන්නේ රාත්‍රී කෑමෙන් පැය දෙකකට පමණ පසු නින්දට සූදානම් වීමයි.මේ අනූව රාත්‍රී 07.30 ට රාත්‍රී ආහාරය ගත් අයෙක් නම් රාත්‍රී 09.30 ට පමණ නින්දට පිවිසීම සුදුසුයි.රාත්‍රී ආහාරයෙන් පැයකට පමණ පසු කෝපි කෝප්පයක් පානය කිරීමෙන් ගත සිත ප්‍රාණවත් වීමෙන් රාත්‍රී 09.30 පමණ වන තුරු ඔබ අවදියෙන් සිටීමත් ඉතාමත් වැදගත්.එහෙත් ඔබ හොඳීන්ම මතක තබාගත යුතු කරුණක් වන්නේ රාත්‍රී නින්දට ආසන්න වී කෝපි හෝ තේ හෝ මෝල්ට් වර්ග පානය නොකළ යුතු බවයි.ඉන් සිදුවන්නේ නිදියහනට පිවිසුනත් ගතසිත ප්‍රබෝධමත් වීම නිසා නිදිලොවට පිවිසීමට පෙර දිගු කාලයක් ඔබට නිදිවර්ජිතව නිදියහනේ ගත කරන්නට සිදුවීමයි.කෑම කන්න හොඳම වේලාව ගැන ඔබට දැන් නිසි තක්සේරුවක් ලබාගන්න පුළුවන් බව අපට සහතිකයි.

 

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.