සුබසෙතින් සුවය

මාර්තු 19, 2021

අවුරුදු 66 ක කාන්තාවක්මි.

කඩවත ඉහළ බියන්විල

ශරීරය අප්‍රාණික බව පවතී. මූත්‍ර දැවිල්ල , හිසරදය, පිපාසය දණහිසෙන් පහළ නිතරම ඉදිමීම පවතී. නිදි මත නැත.

වාත රක්තයෙන් පෙළෙන ඔබ පහත ඖෂධ පන්තිය ගෙන නැවත විමසා තව බෙහෙත් පන්තියක් ලබා ගන්න.

1.රසකිඳ, ඇහැළපොතු,පාවට්ටා මුල්, කළන් 4 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පත 1 බැගින් උදේට එඬරු තෙල් මේස හැඳි දෙකක්ද, සවසට සීනි තේ හැන්දක්ද දමා දින 2 ක් බොන්න. එම කෂායම තව දින 4 ක් උදේ, සවස සීනි පමණක් දමා බොන්න.

2.සියඹලා කොළ තම්බා කකුල් දෙකම හොඳින් තවා පැය 1/2ක් පසුව පිණ්ඩ තෙල් ගා විනාඩි 20 බැගින් හොඳින් අත ගාන්න. දවසට දෙවරක්.

අවුරුදු 37 ක අයෙක්මි. හොරන වෑවල

කට ගඳයි. කාරන විට කුණුූ රසය ඇත. මාස කීපයක් බටහිර ප්‍රතිකාර ගත්තත් සුවයක් නැත. ඔබතුමගෙන් ප්‍රතිකාර පතමි.

පපුවේ සෙම නරක්වී ඇති බව පෙනේ. මෙම ප්‍රතිකාර කර සුවය ලබන්න.

1.වදකහ කළන් 3 ක් පිටිකර ඉන් 1/2ක් මී පැණියෙන් අනා එළකිරි බෝතල් 1/2ට මිශ්‍රකර බොන්න. දෙතුන් වතාවක් වමනය යාම අවශ්‍යයි. වමනය ගියාට පසුව ලුණු කැඳ බොන්න. දවල්ට තැම්බුම් හොදි සමඟ බත් කන්න. රෑට දිය කිරෙන් උයන ලද එළවළුවක් සමඟ බත් කන්න.

2.පසු දින විවේක ගෙන ඊළඟ දිනයේ රසකිඳ සාරණ , සීන අල කළන් 4 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ, සවස දින 4 ක් බොන්න.

දවල්ට, රෑට කෑමට පෙර දාක්ෂාරිෂ්ඨයත් කෑමට පසුව කනකාසවයත් මේස හැඳි 2 බැගින් බොන්න.

3.රාත්‍රී නින්දට පෙර කඵකේතු වටි 2 ක් ඉඟුරු, කොත්තමල්ලි තැම්බූ වතුරින් බොන්න. දින 7 ක්. ඉන්පසුව නින්දට පෙර භාර්ගී ගූඨය තේ හැඳි 1 ක් මී පැණියෙන් තොල ගාන්න. (සූප්පු කරන්න) දින 7 ක්.

අයිස්ක්‍රීම්, ශීතකළ බීම, ඉදුණු කෙසෙල් පැපොල් කෑම හොඳ නැත.

අවුරුදු 19 කි. කාන්ති මොරකුටිය,පාර ඇඹිලිපිටිය

උණුකරවායාම පවතී. ශරීරයද කෙට්ටුවේ. ඔසප් දිනවල යටිබඩේ අධික වේදනාවක් ඇතිවේ. පිරිසුදුව සිටියත් රහස් ප්‍රදේශයේ කැසීමද ඇත. උෂ්ණ ආහාරපානවලින් වැළකී සිටිමි.

1.පළමුව මෙම විරේකය කරන්න. අරළු, නෙල්ලි, මුද්දරප්පලම්, තිරැස්සවාලු, මුල් කළන් තුන බැගින් ගෙන වතුරපත 16-2 ට සිඳ පෙරා උදේට සවිඳළුණු, සවසට සීනිද දමා දින දෙකක් බොන්න. දින දෙකේම උදේට ලුණුකැඳ දවල්ට තැම්බුම් හොඳි සමඟ බත් ටිකක්ද කන්න. රෑට එළවළු එකක් දෙකක් සමඟ (කිරට උයන ලද) බත් කන්න.

2.සුදුහඳුන් , ඉරමුසු මුල්, කැට උක් පුරුක් , මුං ඇට, සැවැන්න මුල් කළන් 1 මදටිය 8 බැගින් ගෙන හොඳින් තළා තැඹිලි ගෙඩියකට දමා වසා තබා උදේට පෙරා සීනි, මී පැණි දමා උදේ, සවස දින හතක් බොන්න.

3.දවල්ට, රෑට කෑමට පෙර චන්දනාසවය සිද්ධ ජීවමෘතය මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න.

4.දවල්ට, රෑට කෑමට පසුව අශෝකාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

5.රාත්‍රී නින්දට පෙර සෝමනාථ රස ගුලි දෙකක් මී පැණියෙන් දියකර ගිතෙල් ටිකක් සමඟින් බොන්න.

6.ප්‍රශ්‍යනුග චූර්ණය උණුවතුරින් තේ මෙන් දවසට දෙවරක් බොන්න. උදේ 10 ට සවස 4 හෝ පහසු වෙලාවක

7.උදේට ටික කලක් ආහාරය ලෙස කිතුල් හකුරු සමඟ කොළ කැඳ බොන්න.

අවුරුදු 18 ක පාසල් ශිෂ්‍යාවක්මි. මුහුණ කළුය. කළුපාට ලප ඇත. ශරීරය වැඩී නැත. නිදිමත නැත. අත්පා වියළිය. ප්‍රතිකාරයක් ඉල්ලමි.

1.අරළු , බුළු, නෙල්ලි, මුද්දරප්පලම්.ඇහැළ පොතු කළන් 2 මදටිය 8 බැගින් ගෙන වතුරපත 16-2 ට සිඳ පෙරා උදේට සවිඳළුණුද සවසට සීනිද දමා දින දෙකක් බොන්න. උදේ ආහාරයට ලුණුකැඳද දවල්ට තැම්බුම් හොදි සමඟ බත් ටිකක්ද, රෑට කිරට උයන ලද එළවළු සමඟ බත්ද කන්න.

2.උදේ 7 ට සවස 5 ට කුෂ්මාන්ජ රසායනය තේ හැඳි 2 ක් කා නෙල්ලි රසකිඳ තැම්බූ වතුර, සීනි දමා බොන්න.

3.දවල්ට රෑට කෑමට පෙර සිද්ධ ජීවාමෘතය මේස හැඳි 2 බැගින් බොන්න.

4.දවල්ට රෑට කෑමට පසුවත්. නින්දට පෙරත් මහා මංජිෂ්ඨාදී ක්වාථය මේස හැදි 2 බැගින් බොන්න. 5.මහා නීල්‍යාදි තෛලය හිසේ ගාන්න. අරළු, බුළු, නෙල්ලි තම්බා උදේටත්, නින්දට පෙරත් එම වතුරින් මුහුණ සෝදන්න.

අවුරුදු 29 කි. ගම්පහ ඉහලගම සම්පත්. නිතරම හෙම්බිරිස්සාව පවතී. රෑට හුස්ම ගැනීම අපහසුය. නාස්පුඩු හිර වේ. කෑම පි‍්‍රය නැත. උගුරට ඒ කෙස්යාම ද තිබේ.

ඔබ පීනසෙන් පෙළේ . ප්‍රතිකාර සැලකිල්ලෙන් කරගන්න. නැතිනම් ඇදුමට යාවි.

දිනපතාම පීනස් කුඩක් නාසයට උරන්න. බෙහෙත් කඩයකින් ලබාගත හැකිය. ඊට අමතරව නිශාදි තෛලයද නාසයට ඉරීම හොඳයි. තේ කෝපි බිම නතර කර ඉඟුරු,කොත්තමල්ලි තැම්බූ වතුර බොන්න.

2.කටුවැල්බටු ,අමුඉඟුරු, කලාඳුරු අල, රසකිඳ සුවඳ කොට්ටන් කළන් 2 මදටිය 8 බැගින් ගෙන වතුර පත 16 -2 ට සිඳ උදේ 8 ට සවස 5 ට පත 1 බැගින් බොන්න.

3.සතියකට දෙවරක් උණුදිය නාන්න. ඇල්දිය නෑමත් ශීතල කෑම බීමත් සුවය ලබන තුරු නවතන්න.

ඔබට කැරට්, රතුලූනු, ගොටුකොළ, කතුරුමුරුංගා කොළ නිතර කෑම හොඳයි.

4.ශෘංග්‍යාදී චූර්ණය තේ හැඳි 1 බැගින් උදේ සවස බොන්න . හිසට ත්‍රිඵලා තෛලය ගාන්න.

5.දවල්ට රෑට කෑමට පසුව පිප්පල්‍යාදසවය මේස හැදි 2 බැගින් බොන්න.

6.දවල්ට රෑට කෑමට පෙර කාමලක්‍යාදි ක්වාතය මේස හැදි 2 බැගින් බොන්න.

7.ඉහත බෙහෙත් සතියක් ගත් විට එම බෙහෙත් සමඟම තාලිසුද චූර්ණයද තේ හැඳි එකක් උදේ කෂාය මුට්ටියට දමා තම්බා බොන්න. කෂාය බොන්ට මී පැණි තේ හැඳි එකක්ද එකතු කර ගන්න.

නිදිමැරීම. අව්වේයාම, පිනි බෑම, අයිස්ක්‍රීම් කෑම, ඉදුණු කෙසෙල් , පැපොල් කෑම බෙහෙත් බොන කාලයේ නතර කරන්න.

සති දෙකක් බෙහෙත් බී සතියකයට පසුව නැවත සති දෙකක් බීමෙන් ඔබට සුවය ලැබේවි. උපදෙස් නිසි පරිදි පිළිපදින්න. සිතට ගන්න.

අවුරුදු 48 ක අයෙක්මි. උපුල්ද සිල්වා හික්කඩුව මගේ කකුල්වල යටිපතුල් හිරිවැටේ. සෑම දිනකම සවසට වේදනාව ඇතිවේ. උදේට රිදෙන්නේ නැත. තට්ටම පෙදෙසට වේදනාව ගෙන දේ.

ගෘධසි හෙවත් සයටිකා රෝග තත්ත්වයයි. මෙම ප්‍රතිකාර සැලකිල්ලෙන් කර සුවය ලබා ගන්න.

1. එඬරු , බෙලි, එළබටු, නස්නාරං යන මුල්වර්ගද ,පොල්පලා, ගොකටු, කටුවැල්බටු ද කළන් 1 මදටිය 14 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පෙරා පත 1 බැගින් වාත ගජේන්ද්‍රසිංහ රස ගුලි 2 බැගින්ද සමඟ උදේ, සවස දින 14 ක් බොන්න. දින 8 ක් බී දින දෙකක් විවේක ගෙන නැවත දින 6 ක් බොන්න. උදේට එඬරු තෙල් මේස හැඳි 2 ක් දමා බොන්න. සවසට මී පැණි තේ හැන්දක් දමා බොන්න. විරේකවීම අත්‍යවශ්‍යයි. කෝපි තේ බොන්න එපා. බඩ බුරුල්වීමයි අවශ්‍ය වන්නේ.

2.දවල්ට රෑට කෑමට පසුව දන්තමූල බලාදි ක්වාථය මේස හැඳි 2 ක් ද, කෑමට පෙර ඒරණ්ඩ සප්තක ක්වාථය මේස හැඳි 2 බැගින්ද බොන්න.

3.මහානාරායන තෛලය තුනටිය , තට්ටම් පෙදෙස්වල හොඳින් ගා විනාඩි 20 ක් පමණ තදින් අතගාන්න. වේදනා ඇති වෙනත් තැන්වලද තෙල්ගා පිරිමදින්න.

4.එම තෙලින් තෙමූ රෙදි පටියක් තුනටියේ වෙලා දින තුනක් තබන්න. පැය 6 ට වරක් එම රෙදි පටිය මාරු කරන්න.

සවස නෑම, බර වැඩ කිරීම, ඇඟ වෙහෙසීම හොඳ නැත. ලිංගික හැසිරීමද ප්‍රතිකාර සමයේ නවතා ගන්න.

මහ ඉංගිරියේ – සමුදිනී. මගේ මුහුණට, ඉකිලිවලට අධික දහදිය දමයි. දුගඳය. ප්‍රතිකාර පතමි. 1.නෙල්ලි. රසකිඳ , සැවැන්දරා ,බෙලිමුල් කළන් 3 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා සීනි, මී පැණි දමා උදේ , සවස පත 1/2 බැගින් දින 6 ක් බොන්න.

2.දවල්ට , රෑට කෑමට පෙර, රක්ත ශෝධක ක්වාථය අවුන්ස 8, චන්දනාසවය 8,උශිරාසවය 8 මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න.

3.සැවැන්දරා මුල්, බෙලිමුල් තැම්බූ වතුරින් චන්ද්‍රප්‍රභාවටී 1 බැගින් උදේ 9 ට රාත්‍රී 9 ට බොන්න.

උෂ්ණ ආහාර පානවලින් වැළකී බෙහෙත් බොන්න.

වයස 83 කි. මහවැව අප්පුහාමි

මගේ දණහිසෙන් පහළ කළුවී ඇති අතර ඉදිමේ. දවල්ට හා රෑට මූත්‍රා යාම ද වැඩියි.

ඔබ ගාම්භිර වාතරක්තයෙන් පෙළේ.මෙම ප්‍රතිකාර සැලකිල්ලෙන් ගෙන සුවය ලබන්න.

1.බැබිලමුල්, කෙකටිය අල, උළුකෙහෙල් මුහ, මාදංපොතු, වෙනිවැල්ගැට, වියළිකහ කළන් 2 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පෙර උදේ සවස පත 1 බැගින් දින 10 ක් බොන්න.

2.කලාඳුරු අල, ලොත්සුඹුළු, අරළු වලඟසාල්, ඇද්දෙමට මුල්, වැල්කහඹිලියා, වෙනිවැල්ගැට, කුඹුක් පොතු , ලුණුවිල, පත්පාඩගම්, වියළිකහ කළන් 1 බැගින් ගෙන වතුර පත 24 -3 ට සිඳ පෙරා උදේ 6 ට සවස 5 ට රාත්‍රී 10 ට පත 1 බැගින් සීනි දමා දින 14 ක් බොන්න.

3.කෛශෝර් ගුලි 2 ක් බෙලිමුල් තැම්බූ වතුරින් උදේ 10 ට සවස 3 ට රාත්‍රී 8 ට බොන්න.

ආයුර්වේද වෛද්‍ය
ඊ. එම්. නිමල් විමලරත්න 
ඒකනායක
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.