අධිෂ්ඨානශීලී ඔබේත් ලග්නය කන්‍යාද?

සැප්තැම්බර් 20, 2024

ඡ්‍යොතිර් විද්‍යාව, නක්ෂත්‍රවේදය, කාල විද්‍යාව යන නම්වලින් හඳුන්වන ඡ්‍යොතිෂ විෂයයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙතරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන ඡ්‍යොතිර් විද්‍යාව ඊයේ මෙන්ම අදත් හෙටත් අදාළ සිදුවීම් හා පුද්ගලයන් විස්තර කරන විද්‍යාවක් මෙන්ම කලාවක්ද වනවා. එහිදී තරු ලකුණුවලට හිමි වන්නේත් සුවිශේෂී ස්ථානයක්. අද ‘තරු ගැන කියන තරු’ තුළින් කතා කරන්නේ කන්‍යා ලග්න හිමි ඔබ ගැනයි.

කන්‍යා ලග්න හිමියන්ට ප්‍රශ්න විසඳීමෙහි දක්ෂ ඥානයක් උපතින්ම හිමිවෙනවා. ඕනෑම දෙයක් කිරීමේදී ඉතා සුළු දේ පවා බොහෝ සේ විස්තර කර නැවත නැවත කියන අය වෙනවා. සත්‍යයට ගරු කරන අන්‍යයන්ට ප්‍රිය වූ වචන කතා කරන මොවුන් නව මිතුරන් ඇති කර ගැනීමටත් දක්ෂයි. දේශපාලන, කලා ක්ෂේත්‍රයන් ඔවුන්ට සුබ වෙනවා. මේ දෙස් විදෙස් ප්‍රකට කන්‍යා ලග්න හිමි පුද්ගලයන් ඔබත් දන්නවා ඇති.

ඕනෑම රටක දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් හිමිවෙනවා . සරලවම පන්ති සමාජය තුළ බලය දිනා ගැනීම සඳහාත්, ලබාගත් රාජ්‍ය බලය පවත්වාගෙන යෑම සඳහාත්, එම බලය උපයෝගී කර ගනිමින් විවිධ ජාතීන් එකිනෙකා සමග කරන අරගලය දේශපාලනය ලෙස හඳුන්වන්න පුළුවන්. දේශීය මෙන්ම විදේශීය දේශපාලන ක්ෂේත්‍රය ජයගත් ප්‍රකට පුද්ගලයන් කන්‍යා ලග්නයෙන් උප්පත්තිය ලබා තිබෙනවා. ලොව ප්‍රථම අගමැතිනිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජන්මය ලබන්නේ 1916 අප්‍රේල් මස 16 වැනිදායි. ඇයගේ උප්පත්ති කේන්දර සටහන අනුව ඇයට කන්‍යා ලග්නය හිමිවනවා. දේශපාලන දිවියේ නොමැකෙන සලකුණක් තබන්නට ඇයට උප්පත්තියෙන් හිමි වූ කන්‍යා ලග්නයේ බලපෑම නොවඩුව ලැබී තිබෙනවා. 1960-1964, 1970- 1977 හා 1994- 2000 අවස්ථා ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධූරය හෙබ වූ මැතිනිය දෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කිරීමට වාසනාව ලැබෙ‍නේනේත් ඒරාෂ්ඨකයක් ක්‍රියාත්මක වූ කාලසීමාවක යැයි එකල බොහෝ ඡ්‍යොතිෂවේදීන් පවසා තිබෙනවා.බණ්ඩාරනායක මැතිනිය මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් සටහන් කළ කන්‍යා ලග්න හිමිකාරිනියක්.

ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ වැඩිමහල් පුත් ඩඩ්ලි සේනානායක මහතා උත්පත්ති කේන්දර සටහනට අනුව එතුමාද කන්‍යා ලග්නයට අයත් බවයි සුබසෙතට සමීප ඡ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස මහතා පවසන්නේ. රටට දැයට හිතැති නායකයෙකු වූ ඩඩ්ලි සේනානායක මහතා ජීවිතයේ ප්‍රථම වරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන උත්පත්ති කේන්දර සටහනේ ලග්න භාවය මතින් ශනි ග්‍රහයා ගමන් කර තිබෙනවා.

ප්‍රථම වරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවී ඇති බවත් ඡ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස මහතා වැඩිදුරටත් පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර් ජයවර්ධන මහතා ද කන්‍යා ලග්න හිමියෙකු බව ඔබ දන්නවා ඇති. 1906 දෙසැම්බර් මස 17 වැනිදා සේදවත්ත වලව්වේ ජන්මය ලද ජේ.ආර්. ජයවර්ධන මහතා කන්‍යා ලග්න හිමියෙකුට අනන්‍ය වූ ගුණාංගවලින් යුක්ත වුණා. 1977 මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් එතුමා පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ලබා ගැනීමෙන් පසුවයි ප්‍රථම විධායක ජනාධිපති බවට පත්වුණේ. මෙලෙස දේශපාලන දිවියේ සාර්ථකවය සොය යෑමට මෙතුමා ජන්මය ලැබූ කන්‍යා ලග්නය ඉවහල් වූ බවත් ඡ්‍යොතිෂවේදීන් පවසනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ පස්වැනි ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ද කන්‍යා ලග්න හිමියෙක්. මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන මතකයක් සටහන් කළ එතුමාටද කන්‍යා ලග්නය භාග්‍යයක් වූ බවටයි සැලකෙන්නේ. වසර තිහක් පුරා මෙරට තුළ පැවති දෙමළ ඊළාම් කොටි තස්ත්‍රවාදය 2009 වර්ෂයේදී පරාජය කිරීමට එතුමා නායකත්වය ලබා දුන්නා. එමෙන්ම එතුමාට 2010 ජනවාරි මස 26 වැනිදා දෙවැනි වරටත් ජනාධිපති වීමට කන්‍යා ලග්නයේ ආලෝකය ලැබී තිබෙන බව නොරහසක්.

දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම කලා ක්ෂේත්‍රයේ සිනමා තරු බිහි කරන්නටත් කන්‍යා ලග්නයට හැකි වී තිබෙනවා. බොලිවුඩයේ අපට අමතක කළ නොහැකි සුප්‍රසිද්ධ නළු ආක්ෂේ කුමාර් 1967 සැප්තැම්බර් මස 09 වැනිදා ජන්මය ලබන්නේත් කන්‍යා ලග්නයෙන්. තරුණියන්ගේ ආකර්ෂණයට නොමඳව පාත්‍ර වූ මොහුගේ චිත්‍රපට ඉතා ජනප්‍රියයි.

දේශීය විදේශීය ප්‍රේක්ෂක ජනතාවගේ ජනාදරයට පත් බොලිවුඩ් නිළි කරීනා කපූර් ජන්මය ලබන්නේත් 1980 සැප්තැම්බර් මස 21 වැනි දින කන්‍යා රාශියෙන්. ඇය සෘජු, නිර්භීත, ඉහළ දක්ෂතා සහිත ප්‍රසිද්ධියට පත් කන්‍යා ලග්න හිමිකාරිනියක් වනවා. කරීනාට කලා ක්ෂේත්‍රයේ මෙන්ම සිය පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය හඹා යන්නට කන්‍යා ලග්නය පිටිවහල් වූ බව ඡ්‍යොතිෂවේදීන්ගේ මතයයි.

ඒ වගේම මෙරට කලා සංස්කෘතික ක්‍රියාකාරකම්වල නියැළෙන තමන්ගේම සලකුණක් තිබූ සහ තබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පිනි මාදිනී මල්වත්ත කන්‍යා ලග්නයෙන් ජන්මය ලබනවා. ගිරිදේවි, දිවිතුරා,පැහැසරා, බොඳ මීදුම්, තෝඩු ආදි ටෙලි නාට්‍ය තුළින් රසික ජන හදවතට ළං වූ ඇයට තම රංගන ජීවිතය සාර්ථක කරගන්නට කන්‍යා ලග්නය බලපෑ බවයි ඇගේ විශ්වාසය. මිනිස් හැඟීම්වලට ආමන්ත්‍රණය කරන සංගීතඥයන්ට හිමි තරු ලකුණු අතර කන්‍යා ලග්නය ද වනවා.

අමෙරිකානු ගීත රචකයකු, නර්තන ශිල්පියකු වන මයිකල් ජැක්සන් 1958 අගෝස්තු 29 වැනිදා කන්‍යා ලග්නයෙන් ජන්මය ලබනවා. විසිවැනි සියවසේ වඩාත්ම කැපී පෙනෙන සංස්කෘතික චරිතයක් වූ මයිකල් ජැක්සන් පොප් රජු ලෙස ජනාදරයට පත්වූවා. ජනප්‍රිය සංගීත ඉතිහාසයේ වඩාත්ම සම්මාන ලැබූ කලාකරුවකු වන මොහුට තම සංගීත ජීවිතයේ සාර්ථකත්වයට පත්වන්න කන්‍යා ලග්නේ බලපෑම ඉවහල් වූ බව ඡ්‍යොතිෂවේදීන් විශ්වාස කරනවා. කන්‍යා ලග්න හිමියන් බොහෝ විට සංවේදී සහ දයානුකම්පිත පිරිස් වෙනවා . ලෝකයේ දරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් වැඩිම මුදලක් ආධාර කළ කලාකරුවා ලෙසට වාර්තා පොතට එක්වීමෙන් මයිකල් ජැක්සන්ගේ පරිත්‍යාගශීලී බව ප්‍රකට වනවා.

එමෙන්ම අම‍ෙරිකානු ගායිකාවක, ගීත රචිකාවක හා නිළියක වන බියොන්සේද කන්‍යා ලග්න හිමිකාරියක් බව ඔබ දැන සිටියාද? ආකර්ෂණීය හඬ නිසාම බොහෝ දෙනාගේ ආදරයට, ගෞරවයට ලක් වූ ඇයගේ සාර්ථකත්වයට කන්‍යා ලග්නය බලපෑ බව ඇගේ විශ්වාසයයි. 2023 වර්ෂයේදී කලාකරුවෙකු විසින් දිනාගත් වැඩිම ග්‍රැමී සම්මාන ගණන ලෙස සැලකෙන සම්මා 32ක් දිනා ගැනීමටත් ඇය භාග්‍යවන්තියක වුණේ, උප්පත්තියෙන්ම හිමි වූ කන්‍යා ලග්නය නිසයි.

දෙස් විදෙස් ලොව ජයගත් ප්‍රකට පුද්ගලයන්ට ඔවුන් උප්පත්තිය ලැබූ කන්‍යා ලග්නය කෙතරම් ඉවහල් වෙලා තියෙනවාද කියලා ඔබටත් සිතෙනවා ඇති. එනිසා ඔබත් කන්‍යා ලග්න හිමියෙකු නම් මෙවැනි ගතිගුණ හඳුනාගෙන ඉදිරියටම යන්න උත්සහ කරන්න.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.