වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
දිසාපාමොක් නිරිඳුන් තැනූ සූසැට කලා
31. ස්තම්භනය
ස්තම්භනය නම් නිසල කිරීමය. දැඩි කිරීමයි. අනංගයාගේ ඊ වැලටද ස්තම්භනයද අයත් වෙයි. අනංග සර මෙසේ දැක්විය හැකිය.
1.පියුම් (උන්මාද)
2.හෝපලු (තාපන හෙවත් තැවීම)
3.මී අඹ (ගෝපණය හෙවත් වියළවීම)
4.ඉද්ද (ස්තම්භනය හෙවත් නිසල කිරීම)
5.නිලුපුල් (සම්මෝහනය හෙවත් මුළාවීම)
මෙහිදී ඉද්ද අයත් වනුයේ ස්තම්භනයටය. ද්‍රව ඝන බවට පත්කිරීම ද ස්තම්භනයකි. අංගම් පිඹීම්වලින් මිනිසුන් නිසලබවට පත් කරති. යකැදුරෝ ද යකුන් එහෙ මෙහෙ යා නොහැකි ලෙස ස්තම්භනයට පත් කරති.
32.උච්චාටනය
යමකු සිටින තැනින් හෝ යමක් තිබෙන තැනකින් උපුටා වෙන තැනක තැබීම මින් අදහස් කෙරෙයි. දේවකතාවල දැක්වෙන පරිදි විෂ්ණු දෙවිඳුගේ වැඩිමහල් පුත්‍ර බලබදු තෙමේ. “යමුණා” නදිය වරක් සිය නඟුලිසින් තමා පස්සෙහි ඇදගෙන ගිය හැටිත්, “හස්තියා පුරය” තමා දෙසට ඇද්ද බවද දැක්වෙයි. සමිද්ධි සුමන දිව්‍යරාජයා ජේතවනය අසලවු තමා විසූ භවන “කිරිපලු රුක” බුදුන් වහන්සේට සේසත් කොට අල්ලා යාපනයට පැමිණ එහි රෝපණය කළ බව මහාවංසය කියාපායි.
33. ත්‍රොටනය
ත්‍රොටනය විදීමේ කලාවකි. ත්‍රොටනය, දුරගමනය, දූරදර්ශනය භේරි තොටනය යන ශිල කලාවන් එකවැලට යෙදී තිබීම ගත හැකිය. මේ හතර දුරවිදීම, දුරයෑම, දුරදැකීම, දුර ශබ්ද යැවීම යන ඒවා ශබ්ද ශිල්පයන්ය. පාළි බෝධිවංශයේ බෝසතුන්ගේ ධනුර් ශිල්ප ඥානය විස්තර කර ඇත. දුටුගැමුණූුූ රජතුමන්ගේ දසමහා යෝධයන්ගෙන් කෙනකු වන ඵුස්සදේවයන්ගේ විදමනෙහි හැකියාව මහාවංශයේ මහානාම හිමියන් විසින් ද දක්වා ඇත. බන්දු මල්ලවයන්ද විදමනෙහි දක්ෂයෙකි. හේ එක හී පාරින් පන්සියක් ලිච්ඡවීන් හෙව්වේ යැයි සද්ධර්මරතනාවලියේ දැක්වෙයි.
34. දූර ගමනය
ඈත අතීතයේ පණිවිඩ යැවීම කළේ ධාවකයන් මඟිනි. හදිසිවූද වැදගත් වූද පණිවිඩ රැගෙන ධාවකයෝ හැතැප්ම සිය ගණන්ද වූහ. එය ශාස්ත්‍රයක් වශයෙන් සමාජ වහරට පැමිණියේය. සුසීම ජාතයේ බෝසතුන්, එකසිය විසි යොදුනක් මඟ ගෙවා තක්සලාවට ගිය බව දැක්වේ. ඩේරියස් රජු හා ගී‍්‍රකයන් අතර යුද්ධයේදී “පෙයිඩ් පිඩෙස්” නම් ධාවකයා හැතපුම් 150ක් පැය 24 කින් ගිය අයුරු දැක්වේ. ඔහු ස්පාටා නුවරට හස්නක් ගෙන ගොස් දී පෙරළා ආයේය.
35. දූර දර්ශනය
දුර බැලීමේ ශාස්ත්‍රයයි. එකල අද මෙන් දූර දර්ශකයේ ප්‍රයෝජනය ගනු ලැබුවේ චක්ෂෝන්ද්‍රිය මඟින්මය. කිසියම් රටකට සතුරු හමුදා, පැමිණීමේ ලක්ෂණ තිබේනම් යුද කඳවුරුවල සිටින දූර දර්ශකයෝ සතුරු හමුදා එන අයුරු කඳු මතට නැඟ පරික්ෂා කරති. නිදසුන් ලෙස පෘතුගීසි හමුදාවන් කන්ද උඩරට බලා ගමන් කරද්දී සිංහල හේවායන් බලනේ කඳු මුදුනට වී බලා සිට ගල් පෙරළූ බව ඉතිහාසයේ දැක්වෙයි. මෙකල භාවිත දූරේක්ෂය සොයා ගත්තේ 1497 පිසාවේ ගැලිලියෝ විසිනි. එහෙත් ඊට පෙරාතුව දූරේක්ෂ යන්ත්‍ර නොතිබුණි. සමනොළ කන්දේ සිරිපා මළුවට නැඟ ඉර සේවය බලන ආකාරයට ඈත දර්ශන මේ මසැසටද ගෝචර විය. සද්ධර්මරත්නාවලියේ දක්වන පරිදි බුදුන් වහන්සේද හොඳ දුර දර්ශකයෙකි. ඒ කෙසේද යත් බුදුරදුන් සිවුවනක් පිරිස පිරිවරා වැඩිහිද ධර්මය දේශනා කරන අතරතුර දුර ඈත සතර ගව්වකට එහා සිට තිබූ දෙයක් දක්නට සමත් වූ මසැස් ඇති හෙයින් දැක මහණෙනි, තෙල එන දෙන්නා දුටුද? තුලු මට අගසව් වෙතියි වදාළ සේක. එසේම දිග්මඟ මඟට බැඳ ඉතා දුරින් එන අය පරික්ෂා කළ සැටි පෙළ පොත්වල සඳහන් වෙයි.
36.භෙරි තොටනය
බෙර විදීම භේරී තොටනයයි. පුරාණයේ බෙර වර්ග ප්‍රධාන 4ක්ද අනු වර්ග විසි හයක්ද වෙයි. ප්‍රධාන බෙර වර්ග සතර නම් 1. බෙර 2. දවුල් 3. තම්මැට්ටම් 4. ඩැක්කි
අපි අනු වර්ග 26ද හඳුනා ගනිමු.
1.තලබෙර 2.පටබෙර 3.ටෙකබෙර 4.රෞද්‍රබෙර 5.යුද්‍රබෙර 6. පෙරුන් බෙර 7. දෙද බෙර 8. ඝොෂබෙර, 9.පොකුරු බෙර 10. එකැස් බෙර 11. කෙන බෙර 12. මිහිඟු බෙර 13. ඩැක්කි 14.උඩැක්කි 15. ආලිංඝ බෙර 16. උද්දක බෙර 17. නිනාව බෙර 18.පනා බෙර 19. දෙන්දින්නා බෙර 20. දුන්දුගී බෙර 21.මද්දල බෙර 22. මුත්තිංගා බෙර 23. මුරජ බෙර 24. ඖඛ්‍ය බෙර 25.තම්මැට 26. මිනී බෙර
බෙරයක හඬ අනුව අසවල් බෙරයයි කිවහැක්කේ බෙරකඳේ විදීම අනුවය. භෙරි තොටනයයි. එය හැඳින්විණි. ත්‍රෝටනය යනු විදීමයි. භෙරි ත්‍රොටනය කලාවක් වශයෙන් බෙර වයත් නම් බෙර වායෝ නම් කර භෙරි තොටනය ඔවුන්ට පැවරීම නිසා එම කලාව අඩපණ වූ බව පෙනෙන නිසාවෙනි. මංගල අවස්ථාවල මඟුල් බෙරද, අවමංගල්‍ය අවස්ථාවේ මිනී බෙරද, රණබිමට පිවිසෙද්දී යුද්‍ර බෙරද, ආගමික (බොදුනු) උත්සව වලදී දවුල් තම්මැට්ටම, සහිත හේවිසිද ඒ ඒ අවස්ථානුකූලව බෙර වයනු ඇත. මිනී බෙර වැයීමේදී බෙර ඇස රෙදිවලින් වසනු ඇත. මඟුල් බෙර වැයීම්ද බෙරකඳ සුදු පිළියෙන් වසයි. වධ බෙර කඳ වසනුයේ රතු පිළියෙනි.
37.පත්‍ර ඡේදනය
නියපිටින් ගල්විද කොළහිල් කිරීම, එසේ වුවද “කැටපොල් ගැසීමද” මේ නමින්ම හැඳින් වෙයි. අතීත කාලයේ බරණැස් නුවර සාලිත්තක ශිල්පයෙහි නිපුණ වූ එක්තරා පුද්ගලයකු නගරයට පිවිසෙන දොර ළඟ එක් නුගරුකක් මුලට වී ගල්විද ඇත්රූ, අස්රූ ආදිය කපා පෙන්වා තව ද ගම්දරුවන්ට අවැසි රිසිරිසි රූ දක්වා ඔවුන්ගෙන් කෑමාදිය ලබයි. කැටපොලයකින් විද අහසින් යන ළිහිණියන් විද මරා දැමීමට සාලිත්තක ශිල්පය ප්‍රගුණ කළ අයට කළ හැකිය.
38. චිත්‍ර කර්මය
ආදී කාලීනයන් අදහස් ප්‍රකාශ කිරීමෙහිලා චිත්‍රකර්මය ද උපයෝගී කර ගන්නා ලදී. චිත්‍ර කර්මය වශයෙන් පොදුවේ සැලකුණේ ඇඳීම, ඇඹීම, නෙළීම යන තුනය. භාරතීය සහ ලංකේය චිත්‍ර කලාවේ අතීත මහිමය පැරණි සංස්කෘතික ස්ථානයන්ගෙන් මනාව පැහැදිලි වනු ඇත.
39.මාලා බන්ධනය
මල්මාලා බැඳීම හෙවත් ගෙතීම මාලා බන්ධනයයි. භික්ෂූන් මල් ගෙතීමෙන් හෝ ගෙතවීමෙන් ඇවැත් සිදුවෙයි. “මාලා බන්ධනය”යි නෙළුම් මලක මධ්‍ය නාභියේ “සං” යන්න යොදා පෙතිවල ද ක්‍රමානුකූල අකුරු ඇඳ පිළියෙල කරන ලද ගාථා විශේෂයක් ද දක්නට ලැබේ. මල් ගෙතීම වුව ද කාලානුකූලව කළ යුතුය. එය ද කලාවක්මය.
40.ගන්ධ යුක්තිය
සුවඳ කැවීම, මේ නමින් හැඳින්වෙයි. එනම් මල් මාලා ආදිය අධිසුවඳවත් කිරීමයි. ඇතැම්හු සියලු සුවඳ එක්කොට සර්ව සංහාරක නම් සුවඳක් ගල්වයි. පැරැණි පොහොසත් අය මේවා ගල්වයි. එහෙත් දුප්පත් අය පුවක්, නා, සේපාලිකා, මල්වල සුවඳ ගල්වයි. අද ද නාගරික ස්ත්‍රීහු විවිධ සුවඳ විලවුන් වර්ග භාවිත කරති. පිටිසර ස්ත්‍රීන් වියළි සේපාලිකා මල් නා, පත්මල්, සැවැන්දරා ආදිය ඇදුම් පෙට්ටිවල බහාලනු ඇත.
41.දූතය
පණිවිඩ හසුන්පත් ගෙන යාම දූතය නම්වෙයි. දූතයන් තිදෙනෙකි. 1.නිඍෂ්ටාත්ථ දූතයා දෙපසේ අදහස් තෙමේ දැන නිසිලෙස පිළිතුරු ආදිය කොට දූත කාර්ය ඉටුකරයි. 2. මිතාර්ථ දූතයා සුළුවෙන් දක්වා ඇති සන්දේශය විස්තර කරදී එම සන්දේශ කාර්ය ඉටුකරයි. 3.සන්දේශ ශහාරක දූතයා කියූ පමණකින් පමණක් දූත කාර්ය ඉටුකරණ දූතයා දූත කාර්ය ඉටුකිරීමට ප්‍රධාන වශයෙන් කරුණු 4ක් අවශ්‍යයි. 1.පේ‍්‍රරක (යවන්නා) 2.හාරක (ගෙනයන්නා) 3.ග්‍රාහක (බලන්නා) 4. සන්දේශය (කිවයුත්ත) සන්දේශ සාහිත්‍යයේ උත්පාසකයා භාරතීය මහා ක කාලිදාසයෝය.
42.භරතය
“භරතය” නාට්‍ය ශාස්ත්‍රයයි. ඉන්දියාවේ හින්දු කෝවිල්වල ද, පුරාතනයේ ලංකාවේ දේවාලවල ද දේව දාසියන් රැඟූ අයුරු ඉතිහාසය තුළ සඳහන් වෙයි. මහනුවර යුගයේ “දුග්ගන්නා අම්මලා” නමින් සඳහන් වූයේ ද රඟන ස්ත්‍රීන්ය. සිදුහත්කුමරුගේ අභිනිෂ්ක්‍රමණයට පෙරදින නටා්‍යංගනාවන් ගේ විප්‍රකාරයක් පිළිබඳ බෞද්ධ පොත පතේ සඳහන් වෙයි.
භාව (Aesthetic emotion) රාග (Tune) තාල (Time)) යන අංශ තුන එක්වීමෙන් , භා - ර -ත යන්න සෑදී ඇත. 1.භවාන් ගීතය (අවයවයන්ගෙන් අදහස් පෑම) 2.සාත්වික (ශරීර චලනයෙන් අදහස්පෑම) 3.ආහාර්ය (ඇඳුම් පැළඳුම්වලින් අදහස් පෑමයි. සිංදුව උගුරෙන් ප්‍රකාශ වෙයි. භාවය අත්වලින් ප්‍රකාශ විය යුතුය. ස්වභාවය ප්‍රකාශ විය යුත්තේ බැල්මෙනි. පාදයන්ගෙන් රිද්මය ප්‍රකාශ වවිවිය යුතුයි. ශ්‍රී කෘෂ්ණන් ලාස්‍ය රැඟුම් ආරම්භ කරන ලද්දේය. ස්ත්‍රීන් අධ¢ චන්ද්‍රාකාරව සිටුවා බටනලාව පිඹියි. ඒ බටනලා නාදය අනුව එම ස්ත්‍රීහු රැඟූහ.
43. ස්ත්‍රී ලක්ෂණ
ස්ත්‍රී, පුරුෂ, නපුංසක හා සත්ත්ව ලක්ෂණ “අංග විජ්ජා” වල එයි. එනම් ශරීර ලක්ෂණ දන්නා ශාස්ත්‍රයයි. අංග විජ්ජා යනු අඟපසඟෙහි ලකුණු දන්නා විජ්ජාවයි. මෙයින් ස්ත්‍රී ලක්ෂණ යනු ස්ත්‍රීන්ගේ ශරීර ලක්ෂණ බැලීමේ ශාස්ත්‍රයයි. ගුරුළුගෝමීන් “පඤ්ච කල්‍යාණ’ නමින් විස්තර කරනුයේ කේශ කල්‍යාණය එනම් මොනරපිල් කලඹක් සේ මුද්‍රා විහිද ජීවාහු උකුලෙහි පැහැර නැවත අගින් නැමී උඩ බලා සිටින දැක්මයි.
දන්තයෝ කිරිසුදුව, සමව, අවිවාරව ගොතා තිබූ වීදුරු පෙළක් සේ සෝභමානව තිබීම අස්ථී කල්‍යාණය යි.
ඖෂධයෝ බිම්බඵල සෙයින් වණ්ණා සම්පන්නව සමවැ සුපිහිතවැ සිටින්නේ මාංශ කල්‍යාණ යයි. කැළයට සෙසු පැහැ හා නුමුසුවූ සිනිඳුවූ මහනෙල් මල්දම් සුදුසු සම් පැහැවෙයි. එමෙන්ම කිණිහිරි මල්දම්සේ සුදුසු සිව් පැහැවෙති. මේ ඡවි කල්‍යාණයයි. වයාඞ කල්‍යාණය වයස අවුරුදු එකසිය විස්සක් වුවද භද්‍රයෞවනියක් බඳුව පෙනෙන සුලු බව(නිසි වයස නොපෙනෙන බව)
තව ද වෛශ්‍යාවන් පිළිබඳ ලක්ෂණ ශාස්ත්‍රයක් ද තිබිණි. 1.ඡ්‍යොත්සනා’භිසාරිකාව (සුදු ඇඳුමින් සැරසී සුදුමල් පැලඳ හඳපානේ යයි) 2.අන්ධාභිසාරිකාව (රතු ඇඳුමින් සැරසී, රතු මල් පැලඳ අඳුරේ යයි) 3.දිවාභිසාරිකාව (දිවා කාලයේ විවිධ අයුරින් විවිධ වර්ණයෙන් සැරසී ගමන් කරයි)
44. පුරුෂ ලක්ෂණය
පුරුෂයන්ගේ ශරීර ලක්ෂණ කීමේ ශාස්ත්‍රයයි. මෙහිදී බුදුන්වහන්සේගේ දෙතිස්පුරුෂ ලක්ෂණ හා අසූ අනූ ව්‍යඤ්ජන ලක්ෂණ ශාස්ත්‍රය අනුව විස්තර කර ඇත. “නන්ද” තාපසයා පදුමුත්තර බුදුන්ගේ ශරීර ලක්ෂණ දැක මේනම් අන් කවරෙකු නොව බුදුකෙනකු යයි. නිශ්චය කළ පුවත ද, ගෞතම බුදුන් වහන්සේගේ පාදලක්ෂණ දුටු මාගන්දි බැමිණිය කීවේ මේනම් සකල කෙලෙසයන් ප්‍රහීණ කොට අපි බුදුවරයකුගේම පියවර සටහනක් යයි නිගමනය කොට තිබිණි.
45. නපුංසක ලක්ෂණ
පුරුෂ සහ ස්ත්‍රී ලක්ෂණ දෙකට අනතුරුව මෙය සටහන් වෙයි. එනම් ස්ත්‍රී පුරුෂාන්තර මනුෂ්‍ය කොට්ඨාසයේ ශරීර ලක්ෂණ පෑමේ ශාස්ත්‍රය “නපුංසක ලක්ෂණ” ලෙස දැක්විය හැකිය.
46. පරහිත ඥානය
අනුන්ගේ සිත් දැනගන්නා නුවණයි. බෞද්ධ ධර්ම විෂයෙහිලා ගැනීමේදී පරචිත්ත විජානන ඥානය තව ද ආදේශනා ප්‍රාතිහාර්ය ඥානය ලෙස ද දැක්වෙයි. එසේ වුව ද මේ වූ කලි බාහිර ශාස්ත්‍රයකි. 1.නිමිති ඇල්ලීම 2. පේන කීම ද මෙයටම අයත් වෙයි. ඇතැම් පිරිස් මේ සඳහා භූත පේ‍්‍රතාදීන් ද බැඳගෙන සිටිති. මෙය වූ කලී අනුන්ගේ සිත දැනගැනීමේ ශාස්ත්‍රයයි.
47. කනක පරීක්ෂා
රත්රන් ඛණිජයට කනක යයි ද හැඳින්වේ. රත්රන් පරික්ෂා කිරීමට නම් උරගලෙහි ගෑ යුතුමය. මෙය ඈත අතීතයේ සිට අද දක්වා පැවත එයි. වත්මන්හි ස්වර්ණාභරණ වෙළෙන්දෝ සහ උකස් බඩු ගන්නා පුද්ගලයෝ සහ බැංකු විසින් ද රන්විමසුම සඳහා උරගල භාවිත කරති.
48. ථෙනක පරික්ෂා
හොරු ඇල්ලීමයි අතීත කාලවකවානුවල සිටමේ දක්වා නගරාක්ෂක (නධතඪජඥ) හමුදාවන් හා ග්‍රාමාරක්ෂක හමුදාවන් තිබුණු බව පොත පතින් ශිලා ලේඛනවලින් පැහැදිලි වෙයි. 04. මිහිඳු රජතුමා එහා සමාජයේ පැවති සොරු ඇල්ලීමේ ක්‍රමය පිළිබඳ විස්තරයක් වේවැලි කැටියේ පුවරු ලිපියේ එයි. හත්ථවනගල්ල විහාරය කොල්ලකෑ සොරුන් “මුගලන්” ඇල්ලූ අයුරු එම විහාර විස්තර වංශයේ කියවෙයි.
49. චාතුර් වාදය
විශ්ව සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක ලා ගැනෙන සංස්කෘත සාහිත්‍යය ලෙස 1.වෛදික 2.ලෞකික ලෙස දෙකොටසකට බෙදෙයි. ඉන් වෛදික සාහිත්‍ය විසින් ගැනෙනුයේ සිව්වේදයයි.
1.ඍග්වේදය – ආදී මිනිසාගේ හැඟීම්, ඇදහිලි, ආදි මානවයාගේ පාලන ක්‍රම, රැකීරක්ෂා උපයෝගී වස්තූන්, ආදායම් මාර්ග, කලා ශිල්ප, කුලවාදය, දර්ශනය, වෛද්‍ය කර්මය, වෙළෙඳාම, සටන්, සහ ඇඳුම් පැලඳුම් ගැන ද සඳහන් වෙයි) එකල මිනිසා දෙවියන්ට ආශීර්වාද කළේය.
2.යජුර් වේදය - ( යාග පවත්වන විධි, පැවැත්විය යුතු අවස්ථා යාගස්ථම්භ ආදිය ගැන සඳහන් වේ.) මෙකල මිනිසා දෙවියන්ගෙන් ආශිර්වාද කරවා ගැනීමට උත්සාහ ගෙන ඇත. එමෙන්ම දෙවියන් අප්‍රධාන කොට යාගය ප්‍රධාන කොට සැලකිනි.
3.සාම වේදය - (“සා” යනු ගීතයයි. “අම” ස්වරයකි. ගීතයත්, ස්වරයත් ප්‍රතිබද්ධවීමෙන් “සාම” යන්න සෑදී ඇත. සාම වේදයේ වටිනාකම ඇත්තේ ගායනයෙහිය.)
4. අථර්වත් වේදය - (බුද්ධ කාලයෙන් පසුව ඇතිවූ අථර්වත් වේදය, මිනිසාගේ බුද්ධියේ ප්‍රභවය පැහැදිලි කරයි. මිනිසා මෙලොව ශුභ සිද්ධිය පමණක් බැලූ අයුරු පැහැදිලි වෙයි. කුල භේදය තදින්ම බලපෑම් කර ඇත. මෙය අථර්වත් වේදය ශ්ලෝක 6000කින් සමන්විතය)
50. ධාතු වාදය
ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංචමහා භූතයන් පිළිබඳ උගන්වන ශාස්ත්‍රයයි. එසේම ශරීරය නිර්මාණය පිළිබඳ හැදෑරීම උගන්වන ශ්‍රාස්ත්‍රයකැයි ද කිව හැකිය. පංච මහා භූතයන්ගෙන් නිර්මිතව ඇති නිසා “ධාතු වාදය” නමින් මෙම විද්‍යාව හැඳින්වෙයි. තවත් අදහසක් වනුයේ ලෝකය හා ලෝභ වස්තූන් පිළිබඳ මූලය සෙවීමේ ශාස්ත්‍රය ධාතුවාදය ලෙසයි. නිදසුන් සත්වයා සෑදුණේ කෙසේද? කුමන මූලයකින් ද ලෝක නිර්මාණය වූයේ කුමන මූලයකින් ද යන ප්‍රශ්නයන්ට පිළිතුරු සැපයීම මින් කෙරුණි.
51. ඛීල වාදය
ඛීල වාදය යනු බුද්ධියේ මහිමය දැක්වීමේ ශාස්ත්‍රයකි. තමන් හා වාදයට එන්නවුන් නිරුත්තර කිරීමේ ශාස්ත්‍රයයි. නිරන්තරයෙන්ම ඛීල වාදය සත්‍යයේම පිහිටියේ කරුණු මතය. නිදසුන් “මිලින්ද - නාග සේන” යන්ගේ “මිලින්ද ප්‍රශ්නය” ඛීල වාදයෙහි ලා ගැනෙයි. ස්ථාමෝචිත ප්‍රඥාවෙන් අවස්ථාවට ගැළපෙන පරිදි ප්‍රතිවාදියා නිරුත්තර කිරීම මින් අදහස් කෙරෙයි. මෙය තර්ක ශාස්ත්‍රයන් නොවේ. තර්කයේ ජය ගැනීම හුදෙක් බොරුව මත පිහිටියේ ය.
52. කන්‍යා වාදය
කන්‍යා භාවය පරීක්ෂා කිරීමේ ශාස්ත්‍රය මෙනමින් හැඳින්වෙයි. ආවාහ ප්‍රාප්ත නොවූ හැම කන්‍යාවක්ම සිය කන්‍යාභාවය රැක සිටින්නීදැයි කිව නොහැකිය. හුදු ශරීර ලක්ෂණයෙන්ම ආවාහවූවක්දැයි කීම ද උගහටය. එබැවින් එය දැක ගැනීම කන්‍යා වාදය උගතයුතුවෙයි. අතීතයේ මෙවුල්දම බැඳීම ද කන්‍යා භාවය දැක්වීමේ ලකුණක්ව පැවතුණි. එහෙත් පසුකාලීනව එය විවාහක ස්ත්‍රීන්ගේ පළඳනාවක් බවට පත්විය. ඇතැම් පැරනන්ගේ විශ්වාසය නම් තරුණියකගේ “කන්‍යා භාවය” පිළිබඳ ඉඟියක් ගත හැක්කේ චාරිත්‍රානුකූලව පිළියෙල කරන ලද මඟුල් පෝරුවට නංවා අෂ්ටක කියවීමෙනි. අඟනකගේ ශරීර ලක්ෂණ බැලීමෙන් වුව ද කන්‍යා භාවය කිව හැක්කේ “කන්‍යා වාදය” නිසි ලෙස උගත් කෙනකුට පමණි.
53. ආකර්ෂණය
“ආකර්ෂණය” නම් වශීකර ගැනීමයි. නැතහොත් යම් අයකු කරා ඇද ගැනීමයි. ආකෂර්ණය ඇසට අඳුනක් බඳුය. එය ඇසට පමණක් සීමා නොවෙයි. පසිදුරනටම ආකර්ෂණය බලපැවැත්වෙයි. මිහිරි දෙයකට දිවත්, සුවඳට නැහැයත්, මිහිරි හඬට කන්පියන්පත් ද, පහසට සමත් වශී වෙයි. ආකර්ෂණය ඇත්තේ පි‍්‍රයතාවය මතය. මන්ත්‍ර බලයෙන් ද වශියක් කරනු ලබයි. වශිය ගැනෙනුයේ ද මෝහනය විසිනි. හිත ඇදගැනීමේ බලය ආකර්ෂණයයි.
54. ආකාශ ගමනය
වර්තමානයේ මෙන් අතීතයේ අභ්‍යවකාශ යානා / අහස් යානා නොතිබුණු කාල වකවානුවක වුවද ආකාශ ගමනයන් පිළිබඳ පැරැණි ග්‍රන්ථවල සඳහන් වෙයි. එකල ලංකේශ්වර රාවණයන්ගේ පුෂ්ප වාහන (දඬු මොණරය) පෙරදිග සාහිත්‍යයේ ප්‍රසිද්ධ යානයක් මය. “ආකාශ ගමනයට” දක්ෂයන් වූ ගෝත්‍රයක් විසූ බවට මහාවග්ග පාලියේ එයි. (“ආකාශ ගොත්තකො වෙජ්ජො”) අහසින් පැමිණි “සුමේධ” යන් “රධගම් නුවරට” බට අයුරු ද දළදා පූජාවල කතුතුමන් “ජන සමූහයේ බස් අසමින් චක්‍රවර්ති රජෙක්හුගේ කපා තිබූ රුවන් තෝඩුව කනින් ගිලිහී භූමියෙහි පතිත වන්නාක් මෙන් භූමියට වැඩ යයි සඳහන් වෙයි. “ආකාශ ගමනය” යනු “අහසින් යාම” වෙයි. එහෙත් මෙය සෘද්ධි බලයෙන් නොවන බව මතකයේ රඳවා ගත යුතුමය.
55. සීසා කර්මය
හික්මවීමේ ශාස්ත්‍රයයි. වත්මන්හි අප ඉගෙනුම ලබන පාසල “හික්හලැ” යයි ද ව්‍යවහාර වෙයි. එනම් හික්මවීම පුරුදු පුහුණු කරනු ලබන ස්ථානයයි. එනම් මෙලොව යහපත් දිවිපෙවෙතක් ගෙනයාමට කෙනකු හැඩ ගැස්වීමයි. අකුරු ඉගෙනීම ද ශික්ෂා බව ඇති කිරීමට හේතුවෙයි. අධ්‍යාත්ම ගුණය ලබාගැනීමට අකුරු ඉගෙනීම මහෝපකාරී වෙයි.
56. කාෂට කර්මය
කාෂට කර්මය යනු වඩු වැඩයි. පැරණි දක්ෂ වඩු වැඩ කර්මාන්තයක් අපට තිබුණි. මෙය කලාවක්මය. දැවවලින් විවිධ වූ භාණ්ඩ නිර්මාණ කරන වඩුවා ඒ සම්බන්ධ ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළ යුතුය. සද්ධර්ම රතනාවලියේ සඳහනක් උපමා දැක්විය හැකිය. එනම් “දණ්ඩෙන් ඇතකු ඉදිකරවා” පිටත කඩරෙදි අරවා, චිත්‍රකාරයන් ලවා ජීවමාන ඇතකු මෙන් සිතියම් කරවා” යන්නය. එකල කාෂට කර්මයට මුල්තැනක් තිබූ බව පෙනෙයි.
57. හේම කර්මය
මෙය ගල් වැඩය. ගල් වඩුවන්ගේ ඉදිකිරීම් ශාස්ත්‍රය මින් අදහස් කෙරෙයි. අටදා සන්නයේ “මණිකාර” ශබ්දය යෙදී ඇත්තේ ද ගල් වඩුවන් සඳහාය. ගල්වල හේම, හෙම්න , මිණි, සතුරු (ශර්කරා) යන නම් රැසකින් ද හැඳින්වෙයි.
58. රතන පරීක්ෂා
මැණික් පරීක්ෂා කිරීම මෙමඟින් අදහස් වෙයි. එදා මැණික් පරීක්ෂා කිරීමට උණු කළ බව (දහනය කළබව) පෙනෙයි. වර්තමානයේ ද ගෙවුඩ මැණික් පිළිස්සීමෙන් පැහැය වර්ණවත් බව වැඩිකර ගනියි. තාපකරණය මගින් ගෙවුඩ මැණික් අගනා නිල් මැණික් බවට පරිවර්තනය කළ හැකිය. මෙමඟින් පෙනී යන්නේ අතීතයේ ද මැණික් වර්ග පුළුස්සා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් පැවති බවයි.
59. කණ්ඩකරණය
කිසියම් අයකුගේ ශරීර ගත යම් විෂ කටුවක් හෝ ස්වාභාවික කටුවක් ඇනී අදෘෂ්‍යමානව තිබියදී එය අද්දවා ගැනීමට මඟ පාදා ගනුයේ කණ්ඩරණයෙනි. කටු ගැනීමේ ප්‍රධාන ක්‍රම තුනක් ගැන සඳහන් වෙයි. 1. උපකරණ බලයෙන්, 2. ඖෂධ බලයෙන් 3. මන්ත්‍ර බලයෙනි.
1.කටුව ශරීරගතව තිබෙන තැන ඉරා (පලා) අඬු ආදී උපකරණ බලයෙන් අද්දවා ගැනීමද, 2. පෙරුම් කායන්, බඳිනලද පොල් සමඟ සීනි, කෝමාරිකා, උණුඅළු පල්ලේ තම්බා බැඳීම්, ආදී ඖෂධ බලයෙන් ද 3. කටුව ඇනුණු තුවාලයට කෙම්කොට මැතිරීමෙන් ද කටු ගත හැකිය.
60. ශ්‍රැයාණය
මෙම ශ්‍රැයාණයට ඉසුර යානය නම් ද භාවිත කෙරිණි. එනම් ශබ්දයන්ගේ දෝංකාරය රැව්දෙන තැන්වල සිට ඒ ශබ්දයන්ගේ අදහස් වටහා ගැනීමයි. පැරැන්නෝ හූවක් ඇසෙන මායිම නිනව් කරයි. එමෙන්ම බෙරයක් වැනි දෙය නාද කොට ඒ ශබ්ද තරංග ලෙළදීමට සලස්වා ඒ මඟින් අදහස් වටහා ගැනීමේ ශ්‍රැයාන ක්‍රමයයි. මෙය මෑතක වනතුරුම භාවිත විය. කාශ්‍යප රජතුමා සීගිරි පර්වතයේ සිට සතුරන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙවැනි යන්ත්‍රයක් උපයෝගී කරගත් බව සඳහන් වෙයි.
61. අදෘෂ්‍ය කරණය
මෙමඟින් අදහස් කරනුයේ නොපෙනී යාමයි. අදෘෂ්‍ය කරණය උපයෝගී කොට සොරුන් ද කටයුතු කළ බව සඳහන් ය. ඇතැම් පිරිස් මේ සඳහා මන්ත්‍ර බලය ද උපයෝගී කරගන්නා අවස්ථා ඇත. මෙවැනි ක්‍රම චර පුරුෂයන් ද අතීතයේ භාවිත කළ බව පොතපතේ සඳහන් වෙයි. ගජබා රජු වෙස්වලාගෙන වීථි සංචාරය කළ අයුරු මෙලෙසම වළගම්බා රජු ද වෙස්වලාගෙන ගොස් තොරතුරු විපරම් කොට ඇතැයි සැලකේ. සද්ධාතිස්ස කුමරා දුටුගැමුණු මහරජුට බියෙන් සාමනේරයන් පිටින් සැඟව ගිය හැටි, පණ්ඩුකාභය කුමරා සුමුභූව (කරඬුව) තළා දොරමඬලාවට යැවූ අයුරු පාළි මහාවංශය කියයි.
62. පරකාය ප්‍රවේශය
මෙයින් අදහස් කරනුයේ ආරූඪවීමයි. අනුන්ගේ ශරීරයකට ඇතුළුවී තම සිතැඟියාවන් ඉටු කරවා ගැනීමට බලගතු මන්ත්‍ර අදත් දක්නට ඇත. යක්, බූ, පිසස් ආදීන් ද අන්‍ය ශරීරගතව නොයෙක් දෑ සිදුකරයි. පේන කීමට මායම්වන කපුවෝ දේවත්වය ආරූඪ කර ගනිති. අන්‍යයන්ගේ රූපයත් මවා ගැනීම ද පරකාය ප්‍රවේශයක්මය. නිදසුන්, නළු නිළියන් ගේ ක්‍රියාවන් ද කතා ශරීරයට (පාත්‍ර වර්ගය) පිවිසීමකි. එය ද පරකාය ප්‍රවේශයක්මය. යක්ෂාරූඪ වීමක් පිළිබඳ මහා වංශයේ සඳහන්වෙයි. දේවතාරූඪයක් ගැන ද පොත පතේ සඳහන් වෙයි.
63. වෙණු වීණා වාද්‍යය
සංගීත භාණ්ඩ වැයීමේ ශාස්ත්‍රය හෙවත් තත් වැයීමේ ශාස්ත්‍රය වෙණු වීණා වාද්‍යය ලෙස ගත හැකිය. උණ ලීයෙන් තැනූ වීණාවක් පිළිබඳව විග්‍රහයක් ද ඇත. මෙහිදී උදේනි රජුගේ හස්ති කාත්ත වීණාවත්, කුස රජුගේ බේළුපණ්ඩ වීණාවත්, පන්සිලුගේ දිව්‍ය වීණාවත්, එරන්දතී නාග කන්‍යාවගේ වීණාවත්, ගුත්තිල ඇදුරන් ගේ හා මූසිලයන්ගේ වීණාත් බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකට වීණාවෝ වෙති. එදා රාජ සේවය සඳහා වීණා වාදකයන් විසූ බව ගුත්තිල කාව්‍යයට අනුව පෙනෙයි.
64.විෂ හරණය
කෙනෙකුට වස විෂ වර්ගයක් ශරීර ගතවී ඇතිනම් එය ඉවත් කිරීමේ ශාස්ත්‍රය විෂ හරණය මඟින් කියැවෙයි. මෙහිදී විවිධ රසායනික විෂ ද මිනිස් ශරීරයට යෑමෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට විෂ හරණය උපයෝගී කරගනී. රණබිමට යන හේවායනට විෂ හරණය හැදෑරීම පුරාණයේ අත්‍යවශ්‍ය විය. එනම් සතුරන්ගේ විෂ පෙවූ හීතලවලට මුහුණදීමට සිදුවීමත් ය. ඊට අමතරම සර්ප විෂ පහකිරීමේ ශාස්ත්‍රය ද මෙයටම අයත්වෙයි. සර්ප විෂ හරණය ක්‍රම කීපයකින් කළ හැකිය.
විෂ ඉරවීමෙන්, ඖෂධ බලයෙන්, මන්ත්‍ර ජප කිරීම බලයෙන්, සර්පයා දෂ්ඨ කළ මුඛය තියුණු ආයුධයකින් කපා ඖෂධ වර්ග මුඛයේ තබාගෙන විෂ ඉරවීම, මන්ත්‍ර බලයෙන්, දෂ්ඨ කළ සර්පයා ගෙන්වාගෙන විෂ ඉරවීම, ඖෂධ බලයෙන් විෂ ඉරවීම ද, කළ හැකිය.
යම් විෂ වර්ගයක් ශරීර ගත වූ විට ඊට විරුද්ධ විෂ වර්ගයක් ශරීර ගත කිරීමෙන් මුලින් ශරීරගත වූ විෂවල බලය මර්දනය කළ හැකිය. විෂ හරණය කලාවක් වශයෙන් පෝෂණය වූයේ අතීතයේ විෂ පෙවූ හීවලට මුහුණදීමට සිදුවූ බැවිනි. “පිලියක් රජු” සාම කුමාරයන්ට විද්දේ ද බඹදත් රජු “සඳ කිඳුරාට” විද්දේද විෂ පෙවූ හී සරයන් ගෙන් බව බෞද්ධ සාහිත්‍ය කියාපායි.
මෙම සිව්සැට කලාවන්ට වෙනත් අර්ථ කථනයන් ද දී ඇති බව මම මෙම ග්‍රන්ථ පරිශීලනයේදී පෙනී යයි. ඒවා අතර සිව්සැට කලා උපපොත් ඇසුරු කොට 64ක් ද ශෛව තන්ත්‍රයේ 64 සහ මන්ත්‍ර ශාස්ත්‍රයේ 64 එන පරිදි විස්තර කර ඇත.
සිව්සැට කලා පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම සෑම මනුෂ්‍යයකුටම වැඩදායි වනු නියතය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක
ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි
ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය
අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි
ආචාර්ය විජය සමරසිංහ