වාස්තු වරද්දන දුර්මත

ඔක්තෝබර් 18, 2024

වාස්තු විෂයයෙන් සේවාව ලබා ගන්නා භවතුන්ගේ යහපතත්, වාස්තු ශාස්ත්‍රයේ චිර පැවැත්මත් උදෙසා විය යුතුම කාර්යයක් වන්නේ එහි පවත්නා වැරදි අදහස්, දුර්මත පිළිබඳ නිරවුල් වැටහීමක් ලබාදීමයි. මෙහිදී ගැටලු කීපයක් පැන නඟිනු නිසැකයි. එයින් එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ කාලාන්තරයක් තිස්සේ විවිධ පොතපත හා පුද්ගල කියුම් ඔස්සේ වාස්තු විෂයයට පිවිසුණු වාස්තු ශිල්පීන්ගෙන් පැන නැඟෙන ප්‍රතිවිරෝධයයි.

එයට බිය විය යුතු නැත. නොබෝ කලෙකින් කරුණු අවබෝධ කරගෙන ඔවුන්ට ඔවුන්ගේම අදහස් ලෙස මේවා ප්‍රකාශ කරන්නට පටන් ගැනීම සිදු වන බව අපගේ සුලභ අත්දැකීමයි.

මේ නිසා වාස්තු විෂයයෙහි නිරන්තරයෙන් භාවිත කරන සාවද්‍ය දේ නිරවුල් කොට පෙන්නා දීමත් එයට පදනම් වූ දුර්මත විසඳීමක් මේ ලිපියෙන් සිදුවේ.

නිවාස සැලසුම් සකසා කතිරයක් යොදා කැපුම් ලක්ෂ්‍යය මධ්‍යය සේ ගැනීම

වාස්තු ශිල්පීන් විසින් හතරැස් හැඩයෙන් යුත් නිවෙසක් සඳහා මෙසේ කොන් යා කරන රේඛා කැපෙන තැන නිවෙසේ මධ්‍යය හෙවත් බ්‍රහ්ම බින්දුව ලෙස ගැනීමේ වරදක් නැත. එසේ වුවත් අද ගොඩනඟන නිවාස එවැනි හතරැස් (සෘජුකෝණාස්‍රයක්) හෝ හරි හතරැස් හැඩයෙන් යුතු (සමචතුරස්‍රාකාරයක්) වන්නේ ඉතා කලාතුරකිනි.

බොහෝ නිවාසවල පිටතට නෙරා ගිය කොටස් ඇතුළට නෙරා ගිය කොටස් ඇති බව පෙනෙන්නට තිබේ. බොහෝ විට හතරැස් හැඩයෙන් ඇතුළකට වැරන්ඩාවක් යොදන අවස්ථා මෙන්ම පිටතට මුළුතැන්ගෙයි පෝරණුව යොදන අවස්ථා දක්නට ලැබේ. මෙසේ අක්‍රමවත් (හතරැස් නොවන) හැඩතලයකදී පවා වාස්තු ශිල්පීන් සිදු කරන්නේ නිවෙසේ වැඩිම දිග හා වැඩිම පළල ඇතුළත් හතරැස් හැඩයක් නිර්මාණය කර පෙර පරිදිම මධ්‍යය සෙවීමයි. කුඩා කොටසක් පිටතට නෙරා ගිය අවස්ථාවලදී අතහැර දැමීම ද බොහෝ විට සිදු වේ.

නිසි ක්‍රමවේදයකින් තොරව මෙසේ කිරීමේ දී පෙර ලෙස සකස් කරගත් හතරැස් හැඩයට ගෘහ පිණ්ඩය හෙවත් සක්‍රිය වාස්තු වපසරියට අයත් නොවන මිදුලේ කොටස්, වැරැන්ඩාවන් ආදී දේ ද ඇතුළත් වන බව ඉතා පැහැදිලියි. (මේ වෙනුවට ඉදිකිරීම් සැළසුමේ බර සලකා මැද සෙවීමේ සරල ක්‍රමය වාස්තු ශිල්පීන් නොදන්නා බැවින් මේ ගැටලුව ඇති වී තිබේ.) මෙසේ මධ්‍යය සෙවීමේ වැරදුණු විට මධ්‍යයේ සිට දිශාවන් සලකන බැවින් ඒවාද වැරදී යනු ඇත. දිශාවන් වරද්දා ගත් පසු වාස්තු නිවැරැදි වන්නේ කෙසේද?

බොරු අත්තිවාරම් යෙදීම

නිවෙසක් සකස් කර ඇති ආකාරය අක්‍රමවත් නම් එය පොළොව මට්ටමට හෝ එයින් යට පිහිටි අත්තිවාරමකින් හතරැස් කිරීම බොහෝ වාස්තු ශිල්පීන් සිදු කරයි. මෙසේ හතරැස් කිරීමේදී නිවෙස හතරැස් වූ බවක් (විධිමත් වූ බවක්) කියමින් තමාගේත් සේවාලාභියාගේත් (ගෙහිමියාගේත්) සිත සනසා ගැනීම සිදු කරයි.

එසේ වුවත් නූතන බටහිර විද්‍යාත්මක අයුරින් සලකා බැලුවත්, පුරාතන ඍෂි භාෂිතය අනුව බැලුවත් ගෘහ පිණ්ඩයට ඇතුළත් වනුයේ අත්තිවාරම, බිත්ති, පියස්ස යන කොටස් තුනම ඇතුළත් කොටස් පමණි. ඒ අනුව මෙසේ බොරු අත්තිවාරම් දැමීමෙන් ගෘහ පිණ්ඩය කිසි ලෙසකින් වෙනස් නොවේ. (එවැන්නකින් නිවසේ ද්වාර පාද සටහන වෙනස්කර ගැනීමේ යම් හැකියාවක් පැවතිය හැකියි.)

නිවසේ කොටස් විවිධ ද්‍රව්‍යවලින් ව්‍යාජව වෙන් කිරීම

නිවාස සැලසුමක අක්‍රමවත් ලෙස ඉවතට පනින ලද කොටස් ඇතිවිට වාස්තු ශිල්පීන් විසින් පෙදරේරුවකු ලවා සිදු කරන කටයුත්තක් වන්නේ වෙන් කළ යුතු තැනට රෙජිෆෝම් හෝ වෙනයම් දෙයක් දමා කපරාරු හෝ වෙනස් වැස්මක් සිදු කිරීමයි. මෙයින් කිසිදු අමුතු ප්‍රතිඵලයක් ඇති නොවේ. නිවාස ඇතුළත ශක්ති ක්‍රියාවලියට කිසිදු වෙනස්කමක් මෙයින් සිදු නොවන අතර වන්නේ එකිනෙකාගේ හිත් රවටා ගැනීම පමණි.

නිරිතට වැසිකිළියක් දැමීම

නිවෙස තුළ වැසිකිළි ඉදි කිරීම මෑතක සිදු වූ භාවිතයෙකි. පෙර වැසිකිළි පැවතියේ නිවෙසට දුරින් වත්තේ නොපෙනෙන, නොඇසෙන තැනකය. එහෙයින් ඒ පිළිබඳ මූල ග්‍රන්ථවල කිසි තොරතුරක් ඇතුළත් නොවීම පුදුමයක් නොවේ. පසුකාලීනව මේ පිළිබඳ කරුණු දක්වන වාස්තු ශිල්පීන් වැසිකිළිය නිරිතට දැමීම ගැටලුවක් නොවන බව දක්වා තිබේ.

මෙයට අමතරව නූතන වාස්තු ශිල්පයෙන් පුරෝගාමී කාර්යය භාරයක් සිදු කළ මහාචාර්ය ජිතේන් භාට්තුමාගේ කෘතියක් වැරැදි ලෙස සිංහලට පරිවර්තනය කර 'දකුණු බිත්තියේ මැද හෝ බස්නාහිර බිත්තියේ මැද' යන්න වෙනුවට 'දකුණු බිත්තියත්, බස්නාහිර බිත්තියත් මැද' ලෙස නිරිත ඇඟවෙන පරිදි දක්වා තිබේ. මෙයින්ද වූ වරද අනුව නිරිතට වැසිකිළි යෙදීම කෙතරම් බරපතළ ද යන්න පිළිබඳවම වෙනම ලිපියක් බටහිර විද්‍යාත්මකව වුවද පැහැදිලි කර දිය හැකියි.

ගිනිකොනට වැසිකිළි වළක් යෙදීම

අසූචි තැන්පත් වන වළක් ගිනිකොනට යෙදීම බරපතළ දෝෂ තත්ත්වයක් ලෙස සමහර වාස්තු ශිල්පීන් දක්වන බව පෙනේ. මෙහි ඇත්තේ අර්ධ සත්‍යයකි. නැතහොත් ව්‍යතිරේඛ නොසලකා සිදු කරන විග්‍රහයකි. මෙයින් සිදු වන්නේ නිවෙස වෙත ගලාඑන 'අන්තරීක්ෂ ශක්ති ධාරාව' මඟහැර අපද්‍රව්‍ය තැන්පත් කිරීමේ අවස්ථාව ගිලිහී යෑමයි.

මෙහිදී කිය යුතු වැදගත්ම කරුණු වන්නේ ගිනිකොණට සම්ප්‍රදායිකව වුවත් අයහපත් වන්නේ ජලයයි. පොළොවේ ජල මට්ටමට ඉහළින් හෑරීම නවත්වනු ලැබූ වැසිකිළි වළක් ඒ අනුව ගිනිකොනේ දැමීමේ වරදක් නොමැත. එවැනි අවස්ථාවලදී සිදුවන්නේ සේදුම් කටයුතුවලදී වළට එකතුවන ජලය පොළොවට උරා ගැනීමයි. ඊට අමතරව වැසිකිලි වළක අපද්‍රව්‍ය ජීර්ණයේදී විශාල තාපයක් හට ගැනීමද ගිනිකොන දිශාවට අතිශය යහපත් බවද සැලකිය යුතු වේ.

නිවෙසට සාම්ප්‍රදායික වහලයක් අත්‍යවශ්‍ය බව

නිවසක් ඉදිකිරීමේ දී බාල්ක, පරාල, රීප්ප ආදිය ඇතුළත් වහලක් තිබීම අත්‍යවශ්‍ය බව බොහෝ වාස්තු ශිල්පීහු විශ්වාස කරති. සේවාලාභින් වෙත ප්‍රකාශ කරති. එසේ වුවත් වාස්තුමය ලෙස වහලයකින් සිදු වන කාර්යය කුමක්දැයි වටහා ගන්නකුට මෙහි අත්‍යවශ්‍ය බවක් නොමැති බව පැහැදිලි වනු ඇත.

ශක්ති ගලනය සලකන විට වහලයෙන් සිදු වන ප්‍රධාන කාර්යය වශයෙන් ගැනෙන භූ ශක්තිය ගබඩා කර ගැනීම කොන්ක්‍රීට් වහලයක් මඟින් වුව සිදු වේ. පළ දෙකේ හෝ හතරේ වහලයක් තැනීමේදීත් මෙසේ ගබඩා වන ශක්තිය යම් වැඩිවීමක් විය හැකි යැයි කීමේද වරදක් නැත. එසේ වුවත් එපමණක්ම ඉහළකින් කොන්ක්‍රීට් ලෑලි වහලයක් යෙදුවද එම පමණටම ශක්තිය රඳවා ගැනීමක් සිදුකරගත හැකිය.

අලංකාරය හා පහසුවත් වැසි වතුර බැස යෑම ආදියට ප්‍රබලව පෙර කී ඇල වහළයක් යෙදීම උචිත වුවත් එහි වාස්තුමය හෝ ශක්තිමය බලපෑමක් නොමැති බව මෙහිදී කිය යුතුව තිබේ.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු විවාදපන්න විය හැකි බැවින් ඒ සඳහාද ඉඩක් සැලසීම උචිත වෙයි. එවිට එහිදී මතු වන කරුණුවලටද නිශ්චිත පැහැදිලි පිළිතුරු ලබාදීමට අපි සැදී පැහැදී සිටිමු.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.