වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දැන් නුඹ නිදහස් සුළඟ සේ නිදහස්...
සිය මහරජතුමන්, එලෙසින් භද්‍රජෝති ආශ්‍රමයේ කෙමෙන් කෙමන් සුව අතට පත් වෙද්දී, සබරගමුවේ ගෝරාවරුන්ගේ ගම්මානයේ ඉහළ කොටසේ වූ ධූරාගේ නිවසේ සිටි ජයමාලී දේවිය, ඇයට සකස් කර දුන් සයනයේ නිදි වර්ජිතව එහා මෙහා පෙරළුනාය.
ඇයගේ ආරක්‍ෂාව පිණිස පැමිණි ධූරාගේ බිරිඳ වූ වජ්‍රපාණිත්, තවත් සහායක කාන්තාවන් දෙදෙනෙකුත් ජයමාලී දේවිය නිදන සයනය අසල බිම අතුරන ලද ඝනකම් කළාල මත නිදා සිටි අතර, කාමරයේ දොර අසලත්, නිවසේ ප්‍රධාන සාලයෙහිත්, තවත් පරිවාර කාන්තාවන් දස දෙනෙක් ආරක්‍ෂාව සඳහා නිදි වර්ජිතව පහත් හඬින් කථා කරමින් උන්හ. එම නිවසට පිටතින් වූ ගම්මානයේ ප්‍රධාන මාර්ගවලත්, අතුරු අඩි පාරවල්වලත් නිදි වර්ජිතව අවතාර මෙන් ගෝරාවරුන් දෙදෙනා බැගින් සැරිසැරූහ.
තුනී තණපත් දෙකක් එහා මෙහා වන හඬට පවා සංවේදී වූ එම අධිමානුෂික සටන්කරුවන්, කිසියම් හෝ සතුරෙක් වැරදීමකින් හෝ ඒ නිසල රාත්‍රියේ ගෝරාවරුන්ගේ ගම්මානයට පැමිණියේ නම් ඇසිපිය සලන්නටත් ප්‍රථමයෙන් පෙති ගසාලීම නම් නියත සත්‍යයක් වූයේය.
ධූරාගේ නිවසට පහතින්, වනාන්තරය දෙසට වැටුණු අඩිපාරක කෙළවර කළුගල් බිත්තිවලින් තනන ලද අබිරහස් දැවැන්ත ගොඩනැගිල්ලක් වූයේය. වන ගහනයෙන් සැඟවුණු, හරියටම කියතොත් බළකොටුවක ආකාරයක් ගත් එම ගොඩනැගිල්ලේ දැවැන්ත දොරට පිටතින් කාලවර්ණ සන්නාහ වලින් මුළු සිරුරම වසාගත්, තියුණු අසිපත් යුවළක් දෑතින් ගත් ගෝරාවරුන් දෙදෙනෙක්, තියුණූ දෙනෙතින් යුතුව එහා මෙහා සක්මන් කළහ. එම ගොඩනැගිල්ලේ අභ්‍යන්තරයේ එහා මෙහා දිවුණූ කොරිඩෝර ගණනාවක් වූයේය.
යබද වූ කාමර ගලින් බැඳ තිබුණු අතර, යකඩ දොරවල් දමා, දැවැන්ත අගුළු දමා තිබුණු අතර, ඒවා සිර කාමර සඳහා භාවිතා කරනු ලැබූ බවට සාධක වීය. එසේම ගොඩනැගිල්ල මධ්‍යයෙන් දිවුණු කොරිඩෝරයේ එක් පසෙකින් වූයේ අන්තර්භෞම ශාලාවක් තුළට දිවුනු ශෛලමය පියගැටපෙළකි. එම පඩිපෙළ දෙපස යකඩ ආධාරක මත සුදු පැහැති ආලෝකයක් නිකුත් කළ පන්දම්වලින් ගුප්ත ආලෝකයක් විහිදී ගියේය.
එම පියගැටපෙළ වැටී තිබුණේ විශාල අභ්‍යන්තර භූගත ශාලාවකටය. හාත්පස වූ බිත්තිවල රඳවා තිබුණු පන්දම්වලින් හොඳීන් ආලෝකමත් වූද, මනා ඉඩකඩ සහිත වූද, එම ශාලාව හාත්පස විසිරී තිබූ ලේ පැල්ලම් සහ අතන මෙතන තිබූ ආයුධ, පොලු, යකඩ දම්වැල් වැනි ආයුධ නිසා කිසියම් පුරාණ වධකාගාරයක් වැනි විය. අඩි පසළොසක් පමණ උසින් යුතු එම ශාලාවේ මැද පිහිටියේ වහල දක්වා දිවුනු ශෛලමය කුලුනකි. කිසියම් අඩ නිරුවත් පුද්ගලයෙකු එම කුලුනට තබා තරයේ බැඳ තිබුණු අතර, හාත්පස වූයේ ධූරා ඇතුළු සබරගමුවේ ගෝරාවරුන් ගේ ප්‍රධානීන් පිරිසයි. මෙසේ එම කුලුනට තබා බැඳ සිටියේ ඔවුන් විසින් අල්ලා ගනු ලැබූද, සතුරු අශ්වාරෝහකයන්ට මග පෙන්වන්නා වූද, සිම්ජාගේ ප්‍රධාන මන්ත්‍රධාරියාගේ අතවැසියා වූ ගාවුලා ය. ඔහුගේ සියලුම ආභරණ, සුර සහ දම්වැල් ආදිය සිරුරෙන් ගලවා
ඉවත් කර තිබූ අතර, ඔහුගේ කුඩා ඉණකඩ හැරෙන්නට අන් සියලුම භාණ්ඩ අසල වූ පුළුල් මේසයක් මත තබා තිබිණ. එම භාණ්ඩ එකින් එක අතට ගත් ධූරා, ඒවා ඉතා සූක්‍ෂ්ම ලෙස පරීක්‍ෂා කළේය. මෙම තැනැත්තා, සතුරන් ගේ සේනාවට උපකාර කළ ගුප්ත විද්‍යාධාරියෙකු බව ධූරා ඇතුළු පිරිස වටහා ගත්හ.
“කවුද උඹ? මොකක්ද උඹේ නම? මේ භාෂාව උඹට කතා කරන්න පුළුවන්ද?”
ධූරා තියුණු දෙනෙතින් ගාවුලා දෙස බලා විමසීය. කිහිප වරක් එම ප්‍රශ්නයම ඇසූ නමුත්, ගාවුලා එය නෑසූ කන්ව සිටියෙන් රණශූරයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. ක්‍ෂණිකව ඉදිරියට පැන්න ධූරා ගාවුලාගේ හිසකෙසින් තරයේ අල්ලා සෙල්මුවා කණුවට තද කළේය.
“තොට හෙළ භාෂාව තේරෙනවද නීචයෝ? අපේ හෙළ දෙරණ විනාස කරන්න ආපු ගෙරිමස් කන බල්ලන්ට මග පෙන්නන්න ආපු පරයා... කතා කරපිය. තෝ දන්න බාසාව මොකක්ද?”
මෙසේ කියත්ම, වේදනාවෙන් මැඩී ගිය ගාවුලා, හෙළ බස දැන නොසිටියත්, බටහිර කාලවර්ණ
අධිරාජ්‍යයේ භාෂාවෙන් සෙමෙන් කථා කළේය.
“මගේ නම ගාවුලා. මම බටහිර දේශයේ සිම්ජා කුමරුගේ ප්‍රධාන මන්ත්‍රාචාර්ය මෂ්පිණ්ඩි ගේ ගෝලයා.” ධූරා සෙමෙන් හිස සැලීය. හෙළ දෙරණේ ආරක්ෂක රණ ශූරයන් වශයෙන් ගෝරාවරයෙකු ගේ ප්‍රධාන ලක්ෂණයක් වූයේ ලෝකයේ ඒ කාලයේ පැවති භාෂාවන් ගණනාවක් චතුරව කථා කිරීමේ හැකියාවයි. විශේෂයෙන් රහස් ඔත්තුකරුවන් වශයෙන් විදේශවලට වෙස් වළාගෙන යාමේදී එය බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ධූරා ඇතුළු එහි සිටි රණශූරයන් ගණනාවකටම එම හැකියාව තිබුණෙන්, බටහිර වාසීන්ගේ භාෂාව ඔවුන්ට මනාව තේරුම් ගියේය. ධූරා තරමක් සන්සුන්ව කථා කළේය.
“හොඳයි ගාවුලා... ඇයි නුඹලා අපේ දේශය ආක්‍රමණය කළේ? මොනවද නුඹලා හොයන්නේ? උඹ අපේ මහා මෑණියන් පිටිපස්සෙන් නිවැරදිව පාර හොයාගෙන ආවෙ කොහොමද?”
බටහිර දේශයේ භාෂාව නිවැරදිව කථා කරනා රණශූරයා දෙස ගාවුලා විමතියෙන් බැලීය.
“මහා මෑණියෝ... ඒ කවුද?”
ගාවුලාගේ ඒ පැනයට ඔහුට ලැබුණේ ප්‍රබල කම්මුල් පහරකි.
“බල්ලා... තෝ දන්නවද නීචයෝ.. ඒ අපේ මහරැජින. හෙළ දේශයේ මාතාව. ඇය කවුද කියලා අහන්න තොට තියෙන හයිය මොකක්ද? හරස් ප්‍රශ්න එපා. තෝ අපේ මහා මෑණියන් පිටිපස්සෙන් ආවෙ මොකක් බලාගෙනද? මොනවද තොපිලා හොයන්නෙ? ඇයි තොපිලා අපේ රටට ආවෙ? හරියට උත්තර දීපන්. සත්‍යය මිස සත්‍යයෙන් පිට එක වචනයක් වත් එහා මෙහා වුණොත් පා ඇඟිලි දහය කපලා තමයි තොට වධ දෙන්න පටන් ගන්නෙ. මතක තියාගනු...”
කම්මුල් පහරින් සසල වූ ගාවුලා සෙමෙන් කථා කරන්නට පටන් ගත්තේය. මෙහිදී සිම්ජා ගේ
යෝජනාවට අනුව හෙළ දේශය ආක්‍රමණය කරන්නට සේනා සංවිධානය වූ ආකාරයත් සිම්ජා විසින් ලෝකයේ ප්‍රබල අධිරාජ්‍යයන්වල කුමාරවරුන්ට යම් යම් ත්‍යාග ලබා දෙන්නට පොරොන්දු වී ඔවුන් රවටාගෙන විශාල සේනා හතරක් සංවිධානය කළ ආකාරයත්, බටහිර ගුප්ත විද්‍යාවේ පරතෙරට පත් මෂ්පිණ්ඩි සහ ඔහුගේ අතවැසියා වූ තමාගේ සේවය ලබාගත් ආකාරයත් ගාවුලා හෙළි කළේය. එසේම හෙළයින්ගේ දේශයේ ආරක්‍ෂක පවුර බිඳීනු සඳහා ප්‍රබල මන්ත්‍ර කර්මයන් ඉගෙන ගැනීම පිණිස මාස කිහිපයක කාලයකට මෂ්පිණ්ඩි සමග, තමා වයඹ දිග කාන්තාර දේශයට පිවිසි ආකාරයත් ඔහු හෙළි කළේය.
“වයඹ දිග කාන්තාර දේශය? ගව මස් බුදින්නන්ගේ දේශයේ ප්‍රබල මන්ත්‍ර ශාස්ත්‍රයක් තියෙනවා කියලා අප දන්නවා. වැල්ලේ ගුරුකම් කියන සෙල්ලාදු, සිදුමුල්ලා සහ වහතුල්ලා කියන්නේ ඒවා නේද?” ගාවුලා හිස සැලීය. ඔහු ඉන්පසුව හෙළි කළේ ජිබ්ලා දෙවියන්ගේ බලය ඔවුන් විශ්වාස කරනා බවත්, ප්‍රබල අඳුන් බැලීමේ ශාස්ත්‍රයක් පවතින බවත්, එම අඳුන තුළින් අවශ්‍ය සෑම දෙයක්ම පෙනෙන බවත්, තමා හෙළයේ මහරැජින පිටුපසින් පැමිණියේ එම අඳුනේ බලයෙන් බවත් ඔහු නොසඟවා ප්‍රකාශ කළේ්ය. එසේම තම පිරිස නැංගුරම් ලෑමෙන් පසුව තමා සිටි නෞකාවට රහසේ පැමිණි නිට්ටෑවුන් යැයි කියාගත් කිසියම් විකෘති කුරු මිනිසුන් පිරිසක් විසින් හෙළ දෙරණ දිනාගත් පසුව කඳුකර වන ගහනයෙන් යුතු ප්‍රදේශය ඔවුන්ට ලබා දිය යුතු බවට කරගත් පොරොන්දුවක් පිට, තුනී රෙද්දක අඳීන ලද මුළු හෙළ දෙරණෙහිම රහස් ස්ථාන දැක්වෙන සිතියමක් සිම්ජා අතට පත් කළ බවත්, එම සිතියම ගෙනා නිට්ටෑවුන්ගේ ප්‍රධානියාව සිම්ජා විසින් අල්ලා සිරගත කළ බවත්, ගාවුලා හෙළි කරත්ම ධූරාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. අසභ්‍ය අවලාදයක් නගමින් ධූරා, ගාවුලාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.
“.... පරයෝ... කියාපන් ඉතින්. කෝ දැන් ඒ සිතියම. කොහේද තියෙන්නේ බල්ලෝ...? කෝ ඒක?” මෙහිදී කහින්නට පටන් ගත් ගාවුලා හුස්මක් කටක් ගත හැකිවූ විට මෙසේ කෙඳීරීය.
“ඒ සිතියම දැන් තියෙන්නෙ සිම්ජා කුමාරෝත්තමයාණන්ගෙ ප්‍රධාන නැවේ. අර නිට්ටෑවා සිරකර තිබෙන්නේ ඒ නැවේම පහළ තට්ටුවේ. එතනට යන්න බැහැ. නැව් මුර කරන්නත් සිය ගණනක බටහිරවාසී රණශූරයන් පිරිසක් යොදවලා.”
ධූරා කල්පනාකාරීව මෙහිදී හිස සැලීය. ඔහු සිය පරිවාර රණශූරයන් දෙස බැලීය. “අප වහාම ක්‍රියාත්මක විය යුතුයි හූරනි. අප ඒ සිතියම කෙසේ හෝ සොයාගත යුතුයි.” ඔහු සිය යක්ෂ ගෝත්‍රික බසින් සිය රණශූරයන් ඇමතීය. මෙහිදී ගාවුලා කන්නලව් කරන්නට විය.
“අනේ මා දන්නේ එපමණයි. දන්නා සියලුම තොරතුරු මා හෙළි කළා. මා දැන් මුදා හරින්න..”
කට කොණකට නගාගත් සිනාවෙන් යුතුව ධූරා සිය සගයින් දෙස බැලීය. ඔහු තීරණයක් ගෙන
තිබිණ. ඉන්පසුව ගාවුලා අසලට ආ ධූරා, පුදුමයකට මෙන් කණුවට බැඳ තිබූ රැහැන් සෙමෙන් ලිහා දැම්මේය. අනෙක් සගයෝ බලාගත් බැල්මෙන් ඒ දෙස බලා සිටියහ. ගාවුලා පියවරක් ඉදිරියට ආවේය.
“හොඳයි ගාවුලා. නුඹ සියල්ල හෙළි කළා. දැන් නුඹ නිදහස්. සුළඟ සේ නිදහස්...”
ඊළඟ මොහොතේ වාතය කපාගෙන හා ධූරාගේ අසිපත් පහරින් ගාවුලාගේ හිස කඳීන් වෙන් වී ඈතට විසිවී ගියේය. මද මොහොතක් ලේ උතුරමින් තිබූ කවන්ධය හඬ නගමින් බිම ඇද වැටුණි. අවඥාවෙන් ධූරා ඒ දෙස බැලීය. අනෙක් සියලු රණශූරයෝ ධූරා දෙස බලා සිටියහ.
“උඹ දැන් කොහොමත් සුළඟ සේ නිදහස්...”
සිය අසිපතේ ලේ ගසා දමා කොපුවේ රුවා ගත් ධූරා සෙමෙන් තොළ මතුළේය.
මතු සම්බන්ධයි.
කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි