ජුලියට්ගේ භූමිකාවේ සිට දෙනගම සුමංගල දක්වා

සම්මානනීය රංගන ශිල්පී කුමාර තිරිමාදුරට ඒරාෂ්ටක බලපෑ හැටි
ජනවාරි 10, 2025

පාතාල නායකයකු වුවත් තමන්ගේ දියණියගේ ගෞරවය පිළිබඳ මහත් උනන්දුවෙන් පසුවන දෙනගම සුමංගල මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි. එයට පණ පොවන්නේ මෙරට ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පියකු, ගායකයකු, චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු මෙන්ම මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළ කුමාර තිරිමාදුර මහතාය. දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ඒ මහතා උත්පත්තිය ලබා ඇත්තේ 1969 වසරෙහි අපේ‍්‍රල් 17 වැනිදාය. ඒ අනුව ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහන මෙහි දක්වා තිබේ.

ඔහුගේ උත්පත්ති කේන්දර සටහනේ “රුචක” නම් වූ පංච මහා පුරුෂ යෝගය යෙදී ඇති බැවින් ඔහුට ජනපි‍්‍රය වීමට භාග්‍යය උදා වී ඇත. තවද තිරිමාදුර මහතාගේ ලග්නාධිපති සිකුරු උච්චව අයස්ථානය තුළ තැන්පත් වීමෙන් කලාකරුවකු ලෙස සාර්ථක වීමට හැකි වී ඇත. මීට අමතර ලෙස මේ කේන්දර සටහනේ ඉතා ප්‍රබල නීච භංග රාජ යෝගයක්ද ඇත.

මෙම කලාකරුවා “ජුලියට්ගේ භූමිකාව“ චිත්‍රපටය තුළින් තම චිත්‍රපට වෘත්තිය ආරම්භ කර ඇත්තේ 1998 වසරෙහිදී බව ඒ මහතාගේ ජීවිත කතාව අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. මෙහි විශේෂත්වය වන්නේ ඒ වන විට තිරිමාදුර මහතා ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටීමය. රංගනයට අමතර ලෙස ඔහු 2003 වසරේදී මුල්වරට නිෂ්පාදන කළමනාකරුවකු ලෙස කටයුතු කරන විට ඔහු ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව පසු කර සති කිහිපයක් බැවින් ලග්න ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරමින් සිට ඇත. මෙයින් පෙනී යන්නේ තිරිමාදුර මහතාගේ වෘත්තීමය ජීවිතයේ බොහෝ වැදගත් සිදුවීම් ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවල සිදු වී ඇති බවය.

2014 වසරේදී කුමාර තිරිමාදුර මහතාට “තණ්හා රතී රඟා” චිත්‍රපටයෙහි තිර රචනය වෙනුවෙන් “දෙරණ සිනමා සම්මාන”උලෙළේ හොඳම සම්මානය ලැබෙන විට ඒ මහතාට චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය ලැබීම සඳහා තිබී ඇත්තේ දින කිහිපයක් පමණි. මීට අමතර ලෙස මේ කලාකරුවා 2016 වසරෙහි ජූනි මාසයේදී ප්‍රථම ගීතය ජනගත කරන විටද ඔහුට චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය ගත වෙමින් තිබී ඇත. එමෙන්ම 2017 වසරෙහි මාර්තු 31 වැනිදා ඔහු මහරගම තරුණ සේවා ශාලාවේදී සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී ගීත 14කින් යුතු ඇල්බමයක්ද ජනගත කර ඇත. ඔහුගේ ජීවිතයේ මේ සුවිශේෂී සිදුවීම සිදු වද්දී ඔහු අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකය ගත කරමින් සිට ඇත.

කුමාර තිරිමාදුර මහතා 2019 වසරේදී “මගේ ජීවිතය” නමින් තම ජීවිත කතාව රචනා කර ඇති අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්ද නිර්දේශිත කෘතියක් ලෙස ඇගයීමක් ලැබුණු එය විශේෂ වන්නේ තිරිමාදුර මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, ඒ වන විටද අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකය ගත වෙමින් තිබීමය. ඔහු 2005 වසරෙහිදී පැවති රාජ්‍ය නාට්‍ය උලෙළේදී “හොඳම නළුවා” ලෙස සම්මානය ලැබෙද්දී ඔහුට ලග්න ඒරාෂ්ටකයේ උණුසුම පැවතුණු අතර එය පසු වී සති කිහිපයක් පමණක් ගත වී තිබී ඇත. 2017 වසරෙහි පැවති “සුමති” සම්මාන උලෙළේදී ගෞරව සම්මානයක් ලැබෙන විටද, ඒ වසරෙහි පැවති “සුමති” සම්මාන උලෙළේදී “ජූරියේ සම්මානය සහ “රයිගම්” සම්මාන උළෙලේදී ගෞරව සම්මානයක් ලැබෙන විටද 2018 වසරෙහිදී පැවති “හිරු” චිත්‍රපට සම්මාන උලෙළේදී “හොඳම සහාය නළුවා ලෙස සම්මානය ලැබෙන විටද තිරිමාදුර මහතාට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක්ද ගත කරමින් සිට ඇත.

අප විසින් සඳහන් කරන ලද්දේ කුමාර තිරිමාදුර මහතාට ඉතා තදබල ඒරාෂ්ටක කාලසීමාවලදී මුහුණ දීමට සිදු වූ සිදුවීම්වලින් කිහිපයක් පමණි. මීට අමතර ලෙස ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, තදබල ඒරාෂ්ටක නොපවතින කාලසීමාව තුළද ඉතා සුවිශේෂී සිදුවීම් සිදු වී ඇති බව පෙනේ. උදාහරණ ලෙස 2022 වසරෙහි අපේ‍්‍රල් මාසයේදී ඔහුගේ සහෝදරියක් අභාවයට පත්වීම, ඔහුට ඉමහත් කම්පනකාරි සිදුවීමක් වූවාට සැක නැත. එහෙත් ඒ මොහොත වන විට ඔහුට කිසිදු ඒරාෂ්ටකයක් ගත වී නොමැත. එමෙන්ම 2020 වසරෙහි ජූනි මාසයේදී කුමාර තිරිමාදුර මහතාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවල මහතා සමඟ සම අධ්‍යක්ෂණය කර ඇති අතර එය “ද නිවුස්පේපර්” නමින් 2020 ජූනි 29 වන දින නිකුත් වී ඇත. එයට අන්තර්ජාතික සම්මාන ද ලැබිණි. ඒ වන විටද ඒ මහතාට කිසිදු ඒරාෂ්ටකයක් ගත වී නොමැත. 2023 වසරේදී කුමාර තිරිමාදුර මහතාගේ කලා ජීවිතයෙහි තවත් කඩඉමක් පසු කරමින් “විශ්ව කීර්ති” සම්මානය ලැබී ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඒ වන විට ද ඒ මහතාට තදබල ඒරාෂ්ටකයක් ගත නොවීමය. අපගේ මේ ලිපි පෙළෙහි අරමුණ වන්නේද සියලු සුබ සිදුවීම් සිදු වන්නේ ඒරාෂ්ටක කාලවලදී බව පෙන්වාදීම නොවේ. අපගේ අරමුණ වන්නේ ඒරාෂ්ටක කාලවලදී සිදු වන්නේ අසුබ සිදුවීම් පමණක් නොවන බවද, සිහිනෙන්වත් නොසිතන තරම් සුබ ප්‍රතිඵල ඒරාෂ්ටක කාලවකවානුවලදී ද ලැබිය හැකි බව පෙන්වා දීමය.

කුමාර තිරිමාදුර මහතාගේ උත්පත්ති කේන්දර සටහනේ චන්ද්‍ර, ශනි, බුධ යන ග්‍රහයන්ගේ පිහිටීම්වලට අනුව, ඒ මහතාට විදේශ සම්බන්ධතා පෙන්නුම් කෙරේ. ඒ අනුව, අනාගතයේදී තව තවත් අන්තර්ජාතික කලා කටයුතුවලට සම්බන්ධ වන්නට ඒ මහතාට අවස්ථාව ලැබෙන්නට ඉඩ ඇත. ඒ අනුව තිරිමාදුර මහතාට අනාගතයේදී කලා කටයුතු වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමේ සම්මාන ලැබෙන්නට පවා ඉඩකඩ ඇත.

තිරිමාදුර මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව 2027 වසරෙහි ජූනි 9 වැනිදාත්, 2027 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදාත් අතර කාලසීමාව තුළද, 2028 වසරෙහි පෙබරවාරි 28 වැනිදාත් 2032 ජූනි 1 වැනිදාත් අතර කාලසීමාව තුළද වඩාත් ප්‍රබල ඒරාෂ්ටක ගතවීමට නියමිත අතර 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වැනිදායින් පසුව එළඹෙන වසර දෙකහමාර තුළ ඒ පිළිබඳව ඉඟි ලැබෙනු ඇත.

ඒ අනුව ඉහත කාලසීමාව තුළ, කුමාර තිරිමාදුර මහතාට විශාල අභියෝග මධ්‍යයේ විශාල ජයග්‍රහණ ලැබෙන්නට ඉඩ ඇති අතර ප්‍රසිද්ධිය විශාල ලෙස වැඩිවන්නට ඉඩ ඇත. කෙසේ වෙතත්, ඉහත කාලසීමාව තුළ ඒ මහතා, අනතුරු පිළිබඳවද අසනීප පිළිබඳවද, රැවටිලිවලට හසුවීම පිළිබඳව ද සොරසතුරු උපද්‍රව පිළිබඳව ද වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. කෙසේ වෙතත්, ඉහත කාලසීමාව තුළ ඒ මහතාට විශේෂ සම්මාන ලැබෙන්නට සහ අලුත් කලා කටයුතු ආරම්භ කරන්නට ඉඩකඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.