ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 3-12-21-30 දිනයක නම් බලසම්පන්න නිර්භීත අයෙකි

නොවැම්බර් 1, 2024

මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ජන්ම අංකය 3 බවට පත්වී උපන් ඔබගේ චරිතය තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණ සහ ඔබගේ යහපත් ගුණාංග මෙන්ම දුර්වලතා ආදිය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයකි. අංක විද්‍යා ජෝතිෂ්‍යයට අනුව අංක 3 සෘජුවම නියෝජනය කරන්නේ බ්‍රහස්පති ග්‍රහ තාරකාවයි. අංක තුන මඟින් හැමවිටම ත්‍රිත්වයක් නිවේදනය කරයි.

එනම් ආරම්භය, නිරත වීම හෙවත් පවත්වාගෙන යෑම සහ අවසානයයි. එමෙන්ම බලය, ශක්තිය සහ නිර්භීත හෙවත් එඩිතර භාවය ද තවත් ත්‍රිත්වයකි. ජන්ම අංක තුනෙන් උපන් අයගේ සාර්ථකත්වය රඳා පැවතී ඇත්තේ මේ කාරණා මතයි. මේවා සමබර වීම ඉතාම වැදගත් වෙයි. එනම් මුට්ටියක් හොඳීන් රැඳවීමටනම් ලිප් ගල් තුන එක හා සමානව තිබීම වැදගත් වෙනවාක් මෙනි. අංක 3 නියෝජනය කරන බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳ කොයිකාගෙත් ඇත්තේ සුබවාදී ආකල්පයකි. ඡ්‍යොතිෂය තුළ නෛසර්ගික වශයෙන් ඉතාම සුබපල දෙන ග්‍රහයකු විදියට බ්‍රහස්පති හඳුන්වයි. සුබ නැකැත්වලින් බොහෝ ප්‍රමාණයක් බ්‍රහස්පතින්දා දිනයට යෙදීම ද විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි. ජන්ම අංක 3 න් උපන් ඔබ මේ බ්‍රහස්පති ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි.

ජන්ම අංක 3 න් උපදින අය අධ්‍යාපනය පිළිබඳ ඉතා උනන්දුවක් දක්වන හෝ ඒ පිළිබඳ කුමන හෝ සහජ දක්ෂතා ⁣ඔවුන් තුළ අනිවාර්යයෙන් දැකිය හැකි වෙයි. ආගම ධර්මය පිළිබඳ ඉතාමත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කටයුතු කරන අතර සාම්ප්‍රදායික මතිමතාන්තරවලට වඩා එහි ප්‍රායෝගිකව නිරතවීම මොවුන් තුළ දැකිය හැකි වෙයි. ඒ වගේම ඕනෑම දෙයක් පිළිබඳව සියුම් ලෙස මනසින් විශ්ලේෂණය කරමින් කරුණු හරිහැටි අවබෝධ කර ගනිමින් තීන්දුවලට එළඹීමේ සූක්ෂ්ම ඥානයක් ජන්ම අංක තුනෙන් උපන් ඔබට සහජයෙන් ලැබී තිබේ. ඔබ කිසිවිටෙක එක පැත්තක් ගැන පමණක් බලා තීරණවලට එළඹෙන්නේ නැත. සෑම පැත්තක් ගැනම හොඳීන් සිතා බැලීම ඔබේ සිරිතක් වෙයි.

ජන්ම අංක තුනෙන් උපන් ඔබගේ ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ ඔබ ඉතාමත් පහසුවෙන්, සුඛෝපභෝගීව හැමවෙලේම ජීවත්වීමට සිතීමත් සමහර අවස්ථාවල පුංචි දෙයටත් හිටිගමන් දුරදිග නොසිතා ක්ෂණිකව තදින් කේන්ති ගැනීමත්ය. මේ දුර්වලතා මඟහැර ගැනීම ඉතාම වැදගත් වන අතර මෙය ඔබගේ දියුණුවට සහ සාර්ථකත්වයට සෘජුවම බලපාන බව මතක තබා ගන්න. එමෙන්ම බරපතළ තීරණාත්මක දේවල් පිළිබඳ සැහැල්ලු ලෙස කතා කිරීමත්, ඉතා පුංචි දේවල් අනවශ්‍ය ලෙස වැඩියෙන් වර්ණනා කරන්නට යෑමත්, හැමවිටම තමන් හුවා දක්වමින් තමන්ගෙ මතයට අනුව සියලු දේ විය යුතු බව සිතීමත් ආත්ම වර්ණනාවත් ඔබව සාර්ථකත්වයෙන් පහත හෙලන දුර්වලතාවයන් බව මතක තබා ගන්න.

ජන්ම අංක තුනෙන් උපන් ඔබ තුළ ඉතාමත් යහපත් ගුණාංග අන්තර්ගතව ඇත. මනා පෞරුෂයකින් හෙබි ඔබ ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමේ ශක්තියකින් යුතු අයෙකි. නිතරම අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරයි. ඔබට ඉතාමත් උණුසුම් හදවතක් ඇත. ඕනෑම කෙනකු හොඳීන් තේරුම් ගෙන ඔවුන්ට සමීපව කටයුතු කිරීමේ සහජ හැකියාවක් ඔබට ඇත. සමාජයේ ඕනෑම කෙනෙක් වෙනුවෙන් කැපවී උදව් කරන ඔබ ඒ තුළින් යම් ගෞරවයක් ද අපේක්ෂා කරයි. ඔබට ඉතාමත් සියුම් චින්තන ශක්තියක් ඇති අතර මනස හෙවත් චින්තනය මෙහෙයවීම තුළින් කරන ඕනෑම රැකියාවක් සාර්ථක කරගත හැකිය. සංගීතය, කලාව, චිත්‍ර, ලේඛනය ආදී දේවලට ඔබට සහජ දක්ෂතා තිබේ. නිතරම සතුටින් සිටීමට කැමති ඔබ අනිත් අය ද සතුටින් තැබීමට නිතරම උත්සාහ ගනී. එමෙන්ම ආකර්ෂණීය කතා විලාසයක් හිමි ඔබ අන් අයගේ සිත් දිනා ගන්නා ලෙස අදහස් දැක්වීමට දක්ෂය. ඔබ ඔබගේ ආත්ම ගරුත්වය ගැන වඩාත් හිතන කෙනෙකි. ලේසියෙන් පහසුවෙන් කාටවත් යටහත් පහත් වීමට අකමැති අතර තරමක් ආඩම්බරකාර ගතිවලින් ද යුක්ත වෙයි. ඔබට හොඳ ආත්ම අභිමානයක් ඇත. තමන් කරන දේ පිළිබඳ ලොකු විශ්වාසයකින් කටයුතු කරයි. සමාජ⁣යේ කවුරු අතරත් කැපී පෙනීමට ලක්වන ඔබ කාගේත් ගෞරවය ලැබීමට ආශා කරයි. ඔබව ඇසුරු කිරීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරන්නේ ඔබ තුළ පවතින උණුසුම් සුහදශීලී ගතිය නිසයි.

ඔබ ඉතාමත් ලස්සනට අඳීන්නට පලඳීන්නට කැමති අතර විසිතුරු දේවලට මෙන්ම පැරණි⁣ කෞතුක දේවලට ඔබ බොහෝ ආසා කරයි. ඉතාම වාසනාවන්ත ජීවිතයකට උරුමකම් කියන ඔබ විරුද්ධ ලිංගිකයන්ගේ ආදරය ද තදින් අපේක්ෂා කරයි. ඔබගේ ජීවිතයේ කරන සෑම දෙයක් තුළම හොඳ පිළිවෙළක් දැකිය හැකිය. කරන හැමදේම පිලිවෙලට කරයි. ඕනෑම කෙනකු තමන්ගේ අදහසට හෝ තමන්ගේ මතයට අවනත කරගෙන ඔවුන්ගෙන් වැඩ ගැනීමට ඔබ ඉතා දක්ෂ වෙයි. ඒ වගේම හොඳ පාලන හැකියාවක් ඔබ තුළ පවතින අතර අධිකාරීමය බලය සහ සහ අණ දීමට පවා සමහර අවස්ථාවල යොමුවන බව පෙනේ. ඔබ ඉතාමත් සුහදශීලී පුද්ගලයකු වන අතර ඔබ සමඟ සාකච්ඡා කර ඕනෑම ප්‍රශ්නයක් විසඳාගත හැකිය. එහෙත් අසාධාරණයට කිසිවිටෙක ඔළුව පහත් කිරීමට කැමති නැත. ඔබට සත්‍ය පවසනවා නම් ඔබ සමාව දීමට ඕනෑම වෙලාවක සූදානම් වෙයි. තම රාජකාරිය අකුරටම ඉටු කිරීමට ඔබ උපරිම උත්සාහ කරන අතර තම ආයතන ප්‍රධානීන්ට සහ උසස් නිලධාරීන්ට අවනතව කටයුතු කරන ගතිය ද තිබේ. ඔබ කිසිවෙකුට වරදක් නොකරන අතර කාගෙවත් සිත රිද්දීමට කැමති නැත. එසේම ඔබේ සිත රිද්දන්න අයට ද සමාව දීමට කිසිවිට කැමති නොවේ.

තමන් පිළිබඳ ලොකු අගය කිරීමක් ඔබට ඇත. කිසිවිටෙක තව කෙනකුට දෙවැනි වන්නට හෝ යටත් වන්නට කැමැති නැත. ඉතාමත් ක්‍රමවත්ව පිළිවෙළකට ඉහළ අපේක්ෂා සහ බලාපොරොත්තු ඇතිව ක්‍රියා කරන ගතියක් ඔබ තුළ පවතින අතර හෙමින් සැරේ තමන්ගේ අරමුණු කරා අවසානයේ කෙසේ හෝ ළඟා වෙයි. ජන්ම අංක 3 න් උපන් අයට කුඩා කාලයේදීම නිසි මඟපෙන්වීමක් ලැබෙන්නේ නම් ඔවුන් ජීවිතයේ ඉතා ඉහළට ගමන් කරනු ඇත. එහෙත් අවාසනාවකට ඔවුන්ට කුඩා කාලයේ දී කුමන හෝ බාධාකාරී තත්ත්වයක් ඇති කරන අතර එය සමස්ත ජීවිත පැවැත්මට යම් බලපෑමක් කරන දෙයක් වනු ඇත. ඔබ තුළ දාර්ශනික ගති සහ අදහස් පවතින අතර සාහිත්‍යය, කලාව ආදිය පිළිබඳ ළැදියාවක් උනන්දුවක් දක්වයි. නිකරුණේ තමන්ගේ කාලය කා දැමීමට අකැමැති වන ඔබ නිතරම කුමන හෝ ආකාරයක වැඩක නිරත වීමට අපේක්ෂා කරයි. එමෙන්ම බොහෝ ලාභ අපේක්ෂාවන් සහිතව ඉදිරි සැලසුම් සකස් කළත් ජීවි⁣තය ඉතා සරලව ගතකිරීම එකම බලාපොරොත්තුව වෙයි.

මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ඔබ වඩාත් උනන්දු විය යුතු අතර මුදල් නාස්තිය අවම කරගැනීමට වගබලා ගැනීම හොඳයි. තරමක් වියදම්කාරි බව ඔබ තුළින් දැකිය හැකි අතර තමන්ට අවශ්‍ය කරන මුදල් කෙසේ හෝ සොයා ගැනීමට ද සමත් වෙයි. ජීවිතයේ පසුකාලීන යහපැවැත්ම වෙනුවෙන් තැන්පත් මුදලක් තමන් සන්තකයේ තබා ගැනීම අවධාරණය කරගත යුතු අතර එසේ නැතිනම් පසුකාලයක මුදල් අතින් අපහසුතාවයට පත් වී දුක් වීමට සිදු වනු ඇත. තමන්ගේ සැප පහසුව සහ සුඛවිහරණය සඳහා අත දිග හැර වියදම් කිරීම නිසාද මුදල් ඉතිරි කිරීම අපහසු වෙයි. වයස අවුරුදු 36 පසු වන විට ජීවිතය ස්ථාවර වීමට පටන් ගන්නා අතර ඔබ මුදල් ගනුදෙනුවලදී වඩාත් ප්‍රවේශම් විය යුතු ව⁣න්නේ ණයට මුදල් ලබාදීමේ දී ය. බොහෝවිට ඔබ ණයට ලබාදෙන මුදල් ආපසු ගැනීම අපහසු නිසා ඒ ගැන හොඳීන් සිතා බලා කටයුතු කරන්න. ඉතාමත් සාධාරණ ලෙස හම්බ කිරීමට කැමති වුවත් වෙනයම් ආකාරයකින් මුදලක් ලැබෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. එහෙත් එය සිතට එකඟ නැති බව සිතෙන විට පසුව දුකක්ද හිතේ ඇති වෙයි.

ආදරය සහ ප්‍රේමය සම්බන්ධ කටයුතුවලදී අසාර්ථක තත්ත්වයක් පෙන්නුම් කළත් ජන්ම අංක 3 හිමි පුද්ගලයන් ආදරයේ ගැඹුරු අර්ථය හොඳීන් වටහා ගෙන ජීවත් වේ. ආදරය තුළ ඇති ලෞකික රසවින්දනයට එහා ගිය ගෞරවයක් ඔවුන්ට ඒ පිළිබඳ ඇත. කෙසේමුත් ලස්සන කීකරු ආදරණීය සහකරුවකු හෝ සහකාරියක ලැබීමට ඔවුන් වාසනාවන්ත වනු ඇත. ආදරණීය සුන්දර විවාහ ජීවිතයක් ගතකිරීමට සහ හොඳ සහකාර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ජන්ම අංක 3 න් උපන් ඔබට වඩාත් සුදුසු විවාහ සහකරු සහකාරියන් වන්නේ උපන්දින අංක 3, 6, 9 අය හෝ ඕනෑම මාසෙක 3,6,9,12,15,18,21,24,27,30 යන දිනවල උපන් අයයි.

ඔබට වයස අවුරුදු 12, 21, 39, 48, 57, 66, 75 යන වර්ෂ ජීවිතේ සුවිශේෂී සිදුවීම් සිදුවිය හැකි වර්ෂ වන අතර වැදගත් සැලසුම් මේ වර්ෂවල ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ සාර්ථක වේ. ඔබ වාහනයක් මිලදී ගන්නේනම් එහි අංකය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු 3, 6, 9, වේ නම් එය ඉතාමත් සුබපල දෙන අතර ආරක්ෂාව ද සැලසේ.

(ඕනෑම මාසයක 4, 13, 22, 31 දිනවල උපන් අයගේ අංක විද්‍යා පලාපල ඊළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.