ඔබේ අංකය 9 නම්...

ජූලි 14, 2023

පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 8 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 9 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 9,18,27, යන දිනයන්හි එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික අංකය අංක 9 ය. පෞද්ගලික අංක 9 හිමියන්ට හිමිවන්නේ කුජ හෙවත් අඟහරු ග්‍රහයාගේ බලයයි. ඔක්තොම්බර් මාසයේ 21 ත් නොවැම්බර් මාසයේ 21 අතර කාල සීමාව සහ මාර්තු මාසයේ 21 සිට අප්‍රියෙල් 21 කාලසීමාව අතර ඉපදුන අයෙක් නම් කුජගේ බලය වැඩි නිසා එම ගුණයන්ද තීව්‍ර වේ.

පෞද්ගලික අංක 9 හිමි අයවලුන් වේගවත් ආවේගශිලි ස්වාධීන පුද්ගලයන්ය. මොහුන්ට හැඩි දැඩි ශරීරයක් හා තේජවන්ත බැල්මක් ඇත. සටනට ඉතා දක්ෂයෝ වෙති. යම් දෙයක් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් හොඳින් හෝ නරකින් ලබා ගනිති. ඔවුන් ධෛර්යසම්පන්න ය. හමුදාවල හොඳම සොල්දාදුවන් බොහෝවිට බිහි වන්නේ පෞද්ගලික 9 යෙනි. තමාට ලැබෙන ඕනෑම අභියෝගයක් නොබියව භාර ගනිති. එසේම තමා යෙදෙන ඕනෑම කටයුත්තක් ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ හැකියාවක් මොහුන් සතුය. ඉවසීම බොහෝ සෙයින් අඩු නිසා කරදර විපත්තිවලට මුහුණ පෑමට සිදුවේ. ප්‍රධාන විපත්තිය වන්නේ අනතුරුවලට බිය නොමැතිව අවතීර්ණ වීමත් අවේගශීලිව කතා කිරීමත්ය. අංක 9 අය ගින්නෙන් වන අනතුරු සහ පිපිරීම් වලින් සිදුවන අනතුරුවලට විශේෂයෙන් ගොදුරු වෙයි. එමෙන්ම බොහෝ ශල්‍යකර්මවලට භාජනය කිරීමට සිදුවේ.

පෞද්ගලික අංක 9 හිමියන් නායකත්වය බලාපොරොත්තුවේ. නායකත්වය හිමිවන්නේ නැතිව කටයුතු නොකරයි. හොඳ සංවිධාන ශක්තියක් ඇත. එම නිසා මොවුන්ගෙන් වැඩ ගැනීමට තැන දිය යුතුය. සියලු ආකාරයේ විවේචන ප්‍රතික්ෂේප කරයි. තමන්ගේ නිවස හෝ ඕනෑම තැනකදි තමන් ප්‍රධානියා බව හැසිරීමෙන්, ක්‍රියාවෙන් තහවුරු වන ලෙස ක්‍රියා කරයි. අංක 9 හිමියන්ට හොඳ ආත්ම විශ්වාසයක් හිමිය. මොවුන් බොහෝවිට මිය යන්නේ ඝාතනය වීමෙනි.

එසේම මෙම පුද්ගලයන්ව විරුද්ධවාදින් දකින්නේ කරදරකාරයන් ලෙසිනි. අකාරුනික පුද්ගලයන් ලෙසිනි. එයට හේතුව වන්නේ සුලු දෙයකට පවා මොවුන් දබර කර ගැනීමයි. අන්‍යයන්ගේ වැඩවලට ඇඟිලි ගැසීමක් පුරුද්දක් වශයෙන් සිදුකරන ලද අතර, නිතරම අනුන්ට උපදෙස් දීමට උත්සාහ කරයි. එසේම අංක 9 හිමියන් සෑමවිටම අනුන්ට උදව් කිරීමට ඉදිරිපත් වෙති. අසාධාරනය ඔවුන් කැමති නැත. ඕනෑම ප්‍රශ්ණයකදි සාධාරනය පැත්තේ හිට ගනියි. ඕනෑම අර්බුදයකදි නොසැලී හිද විසඳුම් සෙවීම මොවුන්ගේ සුවිශේෂි ලක්ෂණයකි. ප්‍රබල තීරණ ගැනීමට දක්ෂ පුද්ගලයන් වේ. තීරණ ගැනීමේදි සැලසුම් සහගතව ක්‍රමානුකූලව ක්‍රියාත්මක වේ.

මොවුන් ආදරය සහ කරුණාවන්තභාවය වෙනුවෙන් ඕනෑම පරත්‍යාගයක් කිරීමට සූදානම්ය. ගෘහ මූලිකත්වය ලැබෙන විවාහයක් බලාපොරොත්තු වේ. පෞද්ගලික අංක 3 අය අංක 9 හි විවාහයන් සඳහා ඉතාමත්ම සුදුසු වේ. නමුත් අංක 6 9 5 හිමියන්ද විවාහයට සුදුසු වේ. පෞද්ගලික අංක 4 8 කිසිසේත්ම අංක 9 හිමියන් සඳහා සුදුසු නොවේ. රැකියාවන් සඳහා ආයුධ හා උපකරණවලින් කරනු ලබන රැකියාවන්ට වඩාත් ප්‍රිය කරනු ලබයි. එමෙන්ම විද්‍යාත්මක පර්යේෂණාත්මක රැකියාවන් ගුරු වෘත්තිය ද ත්‍රිවිධ හමුදා පොලිසිවල රැකියා වඩාත් ගැලපේ.

වයස අවුරුදු 30 පමණ වනතුරු යම් යම් දුෂ්කරතා තුළ ගමන් ගනී .එසේ වුවද ළමාවිය නිදහසේ හිතුමතෙට ගෙවා දැමීම මොවුන් ප්‍රියකරයි. පාලනය කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. අන්‍යයන්ගේ ජීවිතවලට ඇඟිලි ගැසීමට උත්සාහ කිරීම මෙන්ම තමන්ගේ මතයම ක්‍රියාත්මක කිරීමට වෙර දැරීම මෙම පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ප්‍රබල දුර්වල කමකි. තවද ඉවසීම මද කමද තවත් දුර්වල කමකි.

මොවුනට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 9 ට යෙදෙන 9,18,27, දිනයන්ය. සතියේ සුබ දිනයන් වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදාය. මේ දිනයන් ඕනෑම මාසයක පොදු නමුත් ඉතාම වැදගත් කටයුතු සඳහා මාර්තු 21 සිට අප්‍රියෙල් 21 හෝ ඔක්තොම්බර් 21 සිට නොවැම්බර් 21 අතර කාලය තෝරාගන්න. වැදගත් වසර වන්නේ 9,18,27,36,45,54,63,72,යන වසරයන් වේ. මිතුරන් ලෙස පෞද්ගලික අංක 3, 6, 9, පුද්ගලයින් ඉතාම ද සුදුසු වේ.නමුත් පෞද්ගලික අංක 1, 2, 4, 5, 7, හිමියන් ද මිතුරුකමට සුදුසු වේ. පෞද්ගලික අංක 4 සහ 8 හිමියන් මිතරුකමට හවුල් කරුවන් වශයෙන් හෝ සුදුසු නොවේ. ජීවිතයේ සාර්ථකත්වය සඳහා රතු පැහැයේ ප්‍රභේද වර්ණයන් සඳහා භාවිත කරන්න. ඉහත වර්ණ වලින් සැදුම් ලත් ඇදුම් හෝ කුඩා ලේන්සුවක් හෝ භාවිත කරන්නේ නම් මැනවි. අංක 9 හි විකල්ප අංකය අංක 3 ය .ඔවුන්ගේ වසනාවන්ත මැණික් වනුයේ ගානට්,රූබි වැනි රතු පැහැ ගල් වර්ගයන්ය.

ලබන සතියේ ජනවාරි මාසයේ උපන් ඔබගේ ජීවන තොරතුරු කතා කරමු

 

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.