අංක 13 අසුබද?

ඔක්තෝබර් 8, 2021

ඔබ උපන්නේ කිසියම් මාසයක 13 වෙනිදාවක 13 වෙනි පැයට විනාඩි 13 ක් (දහවල් හෝ රාත්‍රී 12.47) තිබියදී ද ? නැතිනම් ඔබ උපන්නේ 13 වෙනිදාවකද ? අංක 13 පිළිබඳව ඔබ දන්නා තොරතුරු මොනවාද ? අංක 13 ඔබ සිතන්නේ අසුබ අංකයක් ලෙසද ? “ වික්ටර් හියුගෝ ” නම් සුප්‍රකට ප්‍රංශ ලේඛකයා ලියූ කිසිම ග්‍රන්ථයක හෝ ලේඛනයක පේළි 13 ක් සහිත ඡේදයක් හෝ වචන 13 කින් නිමකළ වාක්‍යයක් හෝ නොතිබුණේ ය.කිසිම උත්සවයදී හෝ දේශනයකදී 13 වෙනි අසුනේ අසුන් ගැනීමද ඔහු ප්‍රතික්ෂේප කළේ ය.

 

එකවරම භණ්ඩුක කොබ්බෑකඩුව මහතාගේ නිවසේ දුරකථනය නාද දෙන්නට විය.භණ්ඩුක මහතා කියවමින් සිටි පුවත්පත කනප්පුව මත තබා දුරකථනය වෙත ගොස් රිසිවරය කනට තබා ගත්තේ ය.භණ්ඩුක මහත්මයා මං ජුවානිස් කපු උන්නැහේ කතා කරන්නේ.ඔව් කියන්න ජුවානිස් උන්නැහැ මොකක්ද කාරණාව !

මහත්තයො නිර්මලා බේබිව බලන්න ලබන මාසෙ 13 වෙනිදට මනමාලයාගෙ පැත්තෙන් මහත්තයලගේ ගෙදර එන්න කැමතියි. “ මොනවා ! 13 වෙනිදා ! ඇයි ඒ මිනිස්සුන්ට වෙන දවසක් ඇත්තෙම නැද්ද මෙහෙ එන්න ” “මෙහෙමයි මහත්තයා, එදාට තමා ජයන්ත මහත්තයාට නිවාඩු තියෙන්නේ.13 වෙනි ඉරිදා නේ ” මේ ජුවානිස් උන්නැහේ ඇයි අයිසේ තමුන්ට තේරෙන්නේ නැද්ද මංගල කටයුත්තක් ගැන කතාවක්වත් 13 වෙනිදාවක කෙරෙන්න හොඳ නැති බව. ඔහේගේ කෙස් පැහුණේ අකලටද, ඔය කපුකම දානව අයිසෙ බල්ලට.දුරකථන සංවාදය එතැනින් නිමා විය.භණ්ඩුක මහතා සිටියේ දැඩි කෝපයෙනි.හෙතෙම වෙව්ලමින් සිටියේ ය.

“ මොකද අනේ මේ කෑ ගහන සද්දයක් ඇහුණේ ? ” භණ්ඩුක මහතාගේ බිරිඳ තේජානි මහත් විමතියෙන් මෙන් ඇසුවාය. “ කෑගහන්න ! කෑගහන්න නෙමෙයි.ඔය ජුවානිසා මේ ළඟක හිටියානම් මං තව හොඳවැයින් දෙකක් කතා කරලයි මෙතනින් එළවන්නේ ” ඇයි මහත්තයා ඒ යහපත් මනුස්සයාට එහෙම කරන්නේ ! මොන වරදක් කළාටද ? ”

“ වරදක් ! වරදක් නෙමෙයි මිනිහා මේ අපේ කෙල්ලගේ කසාදෙ කඩන්නයි හදන්නේ.මිනිහා කියනවා ලබන මාසේ 13 වෙනිදාට පුළුවන්ලු මනමාලයාගේ පැත්තෙ අයට මනමාලිගෙ ගම්බිම් බලන්න එන්න. 13 වෙනිදා ඕං එනවා කියන දවස.ඉතින් කේන්ති එන්නේ නැද්ද මං අහන්නේ. ” භණ්ඩුක මහතාගේ බිරිඳ එතැනින් එහාට වචනයක්වත් කතා නොකළාය.ඈ හිස වනමින් ගෙතුළට වැදුණාය.

2. “ මහත්තයා වාහනේ නම් පුල්කන්ඩිෂන්.අද ආවොත් බලන්න පුළුවන් ! ” “ මොකක්ද වාහනේ නොම්බරේ කිව්වේ.ජේ.කේ. 2335 2335 නේද කිව්වේ ! එහෙනම් වාහනේ මොනතරම් කන්ඩිෂන් වුණත් වැඩේ කෙරෙන්නේ නෑ. ” “ ඇයි මහත්තයා එහෙම කතා කරන්නේ.අද අපිට වාහනේට ඇඩ්වාන්ස් එකක් නොදුන්ණොත් අපිට මේ වගේ හොඳ වාහනයක් ගන්න ලැබෙන්නේ නෑ.” “ කමක් නෑ ! මට ඔය වාහනේ ඕනම නෑ !

2335 අංකවල එකතුව 13 යි.ඒ කියන්නේ මහ අසුබ අංකයක් කියලා බ්‍රෝකර් උන්නැහැ දන්නෙම නැද්ද ? ”

 

ඇත්තටම 13 අංකය අසුබද ?

අංක 13 පිළබඳ අසුබ කතාව කවදා කෙලෙස ලෝ පුරා පැතිර ගියාදැයි දන්නා කිසිවකු නැත.එහෙත් 13 අසුබ ඉලක්කමක් බව පෙර අපර දෙදිගම වැසියන් බහුතරයක් විශ්වාස කරති. අංක 13 හා කිතුණු ආගමිකයන් කිතුණු ආගමේ සුප්‍රකට සිදුවීමක් වන (ලියනාඩෝ ඩාවින්චිගේ ප්‍රකටම සිතුවමක් ද වන) ජේසුතුමන්ගේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයට පුද්ගලයින් 13 දෙනෙකු සම්බන්ධ විය.ජේසුතුමන් තම ගෝලයන් (අනුගාමිකයන්) 12 දෙනා සමග එක් වී භෝජන සංග්‍රහය භුක්ති විඳීදාට පසුවදා ජේසුතුමාට විරුද්ධව

යුදෙව්වන් තුළින් නැඟුණු අස්ථාන චෝදනාවක් හේතුකොට ගෙන එතුමා කුරුසයට තබා ඇණ ගසා මරා දැමීය.මේ හේතුව නිසාම බටහිර රටවල් කිසිම භෝජන සංග්‍රහයකට වැරදීමකින් හෝ සාමාජිකයන් 13 දෙනෙකු අදටත් සහභාගී නොවේ.

 

රථවාහනවලට මේ තරම් අංක 13 අසුබද ?

අංක 13 (අරාබි රටවල හැර) වාහන මිලදී ගැනීම්වලදි ඉතාම අවාසනාවන්ත අංකයක් සේ සැලකේ. (බොහෝ රටවල මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ වාහ‍නයේ අංකවල එකතුව 13 නම් එම වාහන ලියාපදිංචි හා මිල දී ගැනීම ගැනුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරන බවයි) වැරදීමකින් හෝ වාහනයේ අංකවල එකතුව 13 වූ අංක සහිත වාහනයක් යමෙකු මිලදීගෙන තිබුණොත් එය විකුණා දැමීම ද අන්තිම අමාරු කාර්යයකි.

13 අකමැති මහා ලේඛකයා !

 

ප්‍රංශ ජාතික ප්‍රවීණ ලේඛකයෙකු වූ “ වික්ටර් හියුගෝ ” තමා සහභාගී වන කිසිම විශේෂ රැස්වීමක 13 වෙනි අසුනේ අසුන් නොගනී. “ මට මේ දේශනයට ආරාධනා කරන්නේ කී වෙනියාටද ? ” කිසියම් දේශනයකට ආරාධනා ලැබුණු විගස ආරාධිතයාගෙන් ඔහු අසන පළමු පැනය එයයි.යම් විදියකින් ආරාධිතයාගේ මුවින් මෙවැන්නක් පිටවුණොත්....! ” මේ විශේෂ දේශනයට සහභාගී වන මුළු පිරිස 20 ( ප්‍රමාණය) දෙනයි.දැන් මේ වන විටත් මා දොළොස් දෙනෙකුට ආරාධනා කළා.ඔබ....” “ ආ මම ද 13වෙනියා. කණගාටුයි ! එන්න වෙන්නේ නෑ මට මේ දේශනයට.අරන් යනව කරුණාකරලා මේ ආරාධනා පත්‍රය.” අංක 13 ඔහු එතරම්ම තදින් ප්‍රතික්ෂේප කළේ ය.වික්ටර් හියුගෝ ලියූ කිසිම ග්‍රන්ථයක පේළි 13 කින් නිමකළ ඡේදයක් හෝ වචන 13 කින් නිමකළ වාක්‍යයක් හෝ නොතිබුණේ ය. අවශ්‍යනම් එම ඉංග්‍රීසි පොතපත ඔබට පරීක්ෂාකර බැලිය හැකිය.

 

පෙර පාසලටත් 13 එපා වෙලා !

බ්‍රිතාන්‍යයේ පෙර පාසල් වල දරුවන් හඳුනාගන්නා අංකන ක්‍රමයක් ක්‍රියාත්මක වේ.එහෙත් 13 ඉලක්කම කිසිම පෙර පාසලක භාවිතා නොවේ.අංක 12 දරන දරුවා ළඟට අංක 13 අතහැර අංක 14 දරන දරුවා පිළිබඳ හඳුනා ගැනීමේ තොරතුරු ඇතුළත් කිරීමට පෙර පාසල් පාලකවරියන් නිතරම කටයුතු කළා ය.

දැවුණු ඇපලෝ 13

 

ඇමරිකානු අභ්‍යවකාශ පර්ය්ෂණ කටයුතුවලට ද අංක 13 අසුබ වීමේ කතාව ඓතිහාසික එකකි. ඇමරිකා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන “ නාසා ආයතනය ” මගින් 1970 වසරේදී අභ්‍යවකාශගත කළ “ඇපලෝ 13 ” යානාව ගුවනේදී පුපුරා ගියේ ය. ඇපලෝ 13 යානාව ගුවන් ගත කළේ ද 13 වෙනි පැයේ 13 වෙනි මිනිත්තුවේදීය.

 

13 වෙනි දරු ගැබ නිසා අසරණවන ඉන්දීය මව්වරු !

ඉන්දියාවේ බොහෝ පැරණි ගම්වල පවුලක දරුවන් 13 දෙනෙකු සිටීනම් එම පවුල මුළු ගමෙන්ම කොන්කර දමයි.දරුවන් දොළොස් දෙනෙකු බිහිකළ මවක් යම් හෙයකින් 13 වෙනි දරුගැබක් දරයි නම් ඇය ඉතා අසුබ කාන්තාවක් සේ සැළකීම ඉන්දියාව, මියන්මාරය වැනි රටවල තවමත් පවතී.

 

තායි රාජකීය හමුදාවටත් 13 න් වස් දොස් !

1972 අගෝස්තු 13 වෙනිදා ගුවන් ගත කළ “ රාජකීය තායි හමුදා ” ගුවන් යානයක් එම යානය ගුවන් ගත වී විනාඩි 13 කින් කඩා වැටී විනාශ විය.එහි සිටි තායි සෙබළු ගණන ද 13 කි.

 

13 මාරකයකට ගොදුරු වූ අහිංසක බිල්

1913 වසරේ ජූනි 13 වෙනිදා සවස 13 වෙනි පැයේ දී උපත ලද “ රෝගීස් බිල් ” නම් දරුවා එම පවුලේ 13 වෙනි දරුවා විය. බිල්ට වයස අවුරුදු 13 පිරෙනදා එදින 13 වෙනි පැයේ දී කේ.ඩී. 13 දරන මෝටර් රථයේ හැපී බිල් රෝහල් ගත කරන ලදී. එහිදී ඔහුට 13 වෙනි වාට්ටුවේ 13 වෙනි ඇඳේ ප්‍රතිකාර සඳහා වෙන්කරන ලදී. ඉන් දින 13 කට පසු දහවල් 12 පසු වී මිනිත්තු 47 ට ඔහු මිය ගියේ ය. (ඒ දින 13 වෙනි පැයට විනාඩි 13 ක් තිබියදීය) මේ සියලු සිදුවීම්වලට අනූව අංක 13 මොනතරම් අසුබදැයි ඔබට සිතෙනු ඇත.

ඔබ උපන්නේ 13 වෙනිදාවක විය හැකිය. 13 වෙනිදාවක උපන් ඔබ ඇත්තටම අවාසනාවන්තයෙක් ද ?

 

යම් හෙයකින් කිසියම් මාසයක 13 වෙනිදාවක 13 වන පැයේ දී ඔබ ඉපදුණා විය හැකිය. නැතිනම් ඉහත කී “ බිල් ” මෙන් 13 වෙනිදාවක 13 වෙනි පැයට විනාඩි 13 ක් තිබියදී ඔබ උපන්නා විය හැකිය. ඔබගේ ජීවිතය ඔබ මේ වන විට ගෙවා දමන්නේ සුබදායක ලෙසද ? අසුබදායක ලෙසද ? 13 අංකය ජීවිතයට සම්බන්ධ වන ඔබේ හිතමිතුරන්, නෑදෑයන්, අසල්වැසියන් ගැන තොරතුරු ඔබ දන්නවාද ? අංක 13 ගැන ඔබ දරන මතය කුමක් ද ? පවුලේ ජ්‍යොතිෂ පුවත්පත සුබසෙතට ඒ සියලු තොරතුරු ලියන්න.

 

 

රඹුක්කන

කීර්ති එස් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.