වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
සෙනසුරුට සහ රාහුට එරෙහිව ගලිවර්
විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැවූ සෙනසුරු කෙතරම් ප්‍රබල ද කියා ඒරාෂ්ටකයට මිනිසුන් බියවන තරමින්ම සිතාගත හැකිය. එහෙත් එවන් සෙනසුරුවත් මොහොතකට හෝ ගිලගත හැකි රාහු ඊටත් වඩා බලවත් යැයි කෙනකුට සිතන්නට අවකාශ ඇති වන්නේ සෙනසුරු ග්‍රහයා රාහු ඇල්ලූ විටය. කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එන්නා සේ කෙතරම් ප්‍රබලයකුට වුව තමන්ට වඩා බලවතකු මොහොතකට හෝ හමුවිය හැකිය. එය ඉතාම පැහැදිලිව අපට කියවා ගත හැකි කතාවකි ගලිවර්ගේ සුවිසැරිය. එහි සිංහල පරිවර්තනවලට වඩා ඉංග්‍රීසි ප්‍රබන්ධය කියවන්නකුට මේ විශ්වයේ බලය සමතුලිත වන ආකාරය පිළිබඳ විස්මය මුසු යථාර්ථය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකි වනු ඇත. උස් මිටි වෙනස ඇති වන්නේ සාපේක්ෂව බව එයින් මොනවට පැහැදිළි වන බැවිනි. එය නිරපේක්ෂයක්ය යන මායාවට හසු වන්නන් භෞතිකව තමන්ට වඩා උසස් යැයි දකින්නවුන් හට හිස නවන්නටත්, තමන්ට වඩා දුර්වල යැයි පෙනෙන්නවුන් වෙත බලපරාක්‍රමය දක්වන්නටත් දරන වෙහෙස සුළුපටු නොවේ. එහෙත් ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගේ ‘උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ’ යන කවි පන්තිය කියවා ඇත්තකුට ඒ යථාර්ථය තුළ තමන් හැසිරිය යුත්තේ කෙළෙසද යන්න තීරණය කළ හැකි වනු නියතය. ගලිවර් එයට ද හොඳ නිදසුනකි. සුවිසැරියේ යෙදුණු කාලය පුරා නියත වශයෙන්ම ගලිවර්ට රාහු මහ දශාව ලබා තිබුණු බව නිසැකය. තරුණ වියේ රාහු ලැබූ විට මවුපියන් දරුවන් ගැන බිය වන්නේ රස්තියාදුවේ යන බැවිනි. එහෙත් රස්තියාදු ගහන්නන්ට තරම් ලෝකය හඳුනා ගන්නට, ජීවිත අත්දැකීම් ලබන්නට ගේ ගුල්ලන්ට අවස්ථාව ලැබෙන්නේ නැත. එසේ වුවද රාහුට මෙන් හිසක් නැතිව රස්තියාදුවේ ගිය විට මහ උළුගෙදරම නතර වන්නට සිදු වන බව ද අවබෝධයෙන් සිටීම වැදගත් රස්තියාදුකාරයන්ට සුබය.
එසේම සෙනසුරු අපලය බොහෝ නරක විපාක දෙන්නට ඉදිරිපත් වන්නේ ගලිවර් මෙන් ස්ථානෝචිත ප්‍රඥාව භාවිත නොකර සැම තැනකම පුප්පන්නට යන අයටය. අවශ්‍ය තැනකදී පමණක් නයා බව පෙන්වීමට පෙණය පිප්පීම නොකළහොත් දර මිටියට බැඳ යන්නට සිතනවා සේම නිකරුණේ පුප්පන්නට ගියහොත් පෙණය පුපුරන්න පොලු පහරක් ද ලැබිය හැකි බව බලාපොරොත්තු වීමට සිදුවේ.
එබැවින් කොයිකටත් සුදුසු ක්‍රමය නම් මැදුම් පිළිවෙතක් අනුගමනය කිරීම බව අප දැන් සිටින්නේ අද ඊයෙක සිට නොවේ.
එසේ නොවුණ විට සපල ද අපල බවට පත් වී බිරියකගේ ශාපයට හසුව බිම බලාගෙන යන සෙනසුරු මෙන් අපටද හිස කෙළින් තබාගෙන යෑමට අවකාශ අහිමි විය හැකිය. එසේම වසර දහ අටක් පුරා මහ දශාවේ පල දෙන රාහුට දහ අට වසරකට වරක් හසුවන බලවත් සෙනසුරුගේ බල බිඳෙන හැටි මෙන් මොහොතක් ද උදාවනු ඇත.
රාහු විසින් සෙනසුරු ගිලගන්නා ලද මොහොතේ සියලු ලග්නවලට යෙදුණු පලාපල නිරීක්ෂණය කළ හොත් දැකිය හැකිය වූයේ එක්කෝ හදිසි කෝපයට නතු නොවන්නට දුන් උපදෙස්ය. නැතහොත් ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින ලෙස ඔවදන් දීම්ය.
ලෝකය පුරා ඇවිද්දවා රට තොට ගැන අවබෝධය දෙන රාහු සහ සියලු සැප සම්පත් ලබා දී ඒවා නිසි කළමනාකරණයක නොයෙදුණ හොත් සියල්ල අහිමි කර ජීවිතාවබෝධය දෙන සෙනසුරු එකිනෙකා වසා ගැනීමෙන් ලැබිය හැකි ප්‍රතිපලය ගැන කුමන කතාද? එකිනෙකා වසා ගැනීම යනුවෙන් පැවසුවේ පෘථිවියට හරි කෙළින් අනෙක් පස යම් ග්‍රහලෝකයක අප වැනි ජීවීයකු සිටිය හොත් පෙනෙන සාපේක්ෂ දසුන උපකල්පනය කිරීමෙන්ය.
ඒ කෙසේ වෙතත් මේ සියලු රාහු ගිලීම් ආදියට හේතුව සඳු හෙවත් චන්ද්‍රයා බව අපි දනිමු. ඡ්‍යොතිෂයේදී චන්ද්‍රයා නියෝජනය කරන්නේ අපේ මනස බව අමුතුවෙන් කිවයුතු නොවේ. සෙනසුරු අපලය සපලයක් වීමටත්, රාහු මහ දශාවේ ලොව ජය ගැනීමටත්, රාහු කාලයේ සුබ වැඩක් අරඹා නිසි පල ළඟා කර ගැනීමට මෙන්ම සෙනසුරු රාහු විසින් ගිලින විට හදිසි තීරණ ගෙන හෝ නොගෙන අනතුරෙන් බේරීමට මූලික වන්නේ ද සිතමය. එනිසා සිත දියුණු කරගන්නා උස් පහත් සැම තැනටම සුදුසු පරිදි මැද මාවතක් අනුගමනය කරන කිසිවකුටත් නිවට නොවී සාර්ථකව සිය සංසාර සංචාරය නිම කරන්නට හැකි ගලිවරයකු වනු ඇත.