සායන සහ සහන

ජූලි 5, 2024

අතීතය අත්දැකීමක් කර ගන්නා අපි වර්තමානයේ එයින් ප්‍රයෝජන ගත්තත් නොගත්තත් අනාගතය පිළිබඳ බියෙන් පසු වන්නෙමු. එසේම අද නැති දේ හෙට ලැබෙතැයි මහත් වූ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින්නෙමු. ජීවත් වන වටපිටාව හොඳීන් පවතින තුරු මේ තත්ත්වය එතරම් බරපතළ නොවුණද අවිනිශ්චිතතාව වැඩි වන තරමට සිතෙහි අසහනය දැඩි වන්නට ගන්නේ එනිසාය. අතේ පයේ සවිය හොඳීන් තිබෙන තුරු, අතේ මිටේ මුදල් හොඳීන් ගැවසෙන තුරු, වටේ පිටේ සියලු දෙනා තමන්ට ඇහුම්කන් දෙනතුරු මෙන්ම රට් තොටේ පිළිගැනීම තමන්ටත් පවුලේ අයටත් ලැබෙන තුරු පරම භෞතිකවාදී ලෙස ජීවත් විය හැකි වුවත්, වයස නොතකා ගතේ සවිය අභියෝගයට ලක් වන මොහොතේ සිට, නිතර නිතර සාක්කුව හිස්වන්නට වන විට, නෑ හිත මිතුරන්ගෙන් හිතූ තරමට ළෙන්ගතුකම නොලැබෙන විට, ලෝකයා තමන් ගණන් නොගන්නා විට ඇති වන හිතේ අසහනය දුරු කර ගැනීම වෙනුවෙන් පෙර තිරස්චීන යැයි සිතූ ඕනෑම දහමකින් තමන්ට අහිමි වූ දේ ලබා ගැනීමට මිනිසා පෙලඹෙයි. මේ නිසා බොහෝ විට ඡ්‍යොතිෂය වැනි ඇසට නොපෙනෙන, කනට නොඇසෙන, ගතට නොගැටෙන මුත්, සිතට දැනෙන හෙවත් අස්පර්ශී විෂයයන් කෙරෙහි මිනිසුන් නැඹුරු වන්නේ තමන්ට අපට තිබේ දැයි දැන ගැනීමට හෝ ඇති වී ඇතැයි සිතෙන අපලයකින් ගැළවීම මඟක් සෙවීමටය.

එහෙත් සැබැවින්ම මේ විෂයයන්ගේ පලප්‍රයෝජන ලබාගත යුත්තේ අපලයක් පටිසන් දුන් පසුවද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතු කරුණකි. පෙර රජ දවස පවා ගණිතයන් කැඳවා ඉදිරියට විය හැකි දේ පිළිබඳ රජවරුන් විමසුවේ, රාවණ යුගයේ පවා දරුවකු ඉපදෙන විට වේලාපත්කඩය තනවා අනාගතය කෙබඳුද කියා සෙව්වේ, අනාගතය පිළිබඳ නිශ්චිත අදහසක් ඇතිව ඒ අනුව ඉදිරි ගමන් මඟ සැලසුම් කිරීමටයි. ඉගැන්විය යුතු විෂයයන්, වඩාත් ගැළපෙන රැකියාවන්, ඇති විය හැකි බාධක, ජය ලැබෙන කාල වකවානු, ඇසුරු කළ යුතු හෝ නොකළ යුතු ඇතැම් දේ පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගෙන ජීවිතයට මුහුණ දිය හැකි නම් එය මනාව සැලසුම් සහගත ලෙස සකස් කර ගැනීම පහසු වනු ඇත.

එවන් භාග්‍යයක් තම සංස්කෘතිය විසින් දායාද කර දී තිබියදී එයින් වැඩක් ගන්නවා වෙනුවට එවැනි විෂයයන් අවබෝධ කරගැනීමට පිනක් නැත්තවුන් දෙඩූ වදන් හිස මුදුනේ තබාගෙන සිට අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසන පිළිවෙත මේ වන විට වැඩි වී තිබේ. එයට හේතුව ඍෂිවරුන් හා එවැනිම වූ බුද්ධි මට්ටම්වල සිටියවුන් විසින් විශ්වය හා එහි චලනයන් පිළිබඳ අවබෝධයෙන් දෙසූ ගැඹුරු කරුණු රුපියල් ශත වෙනුවෙන් සිල්ලර දැනුමක් බවට පත්කිරීමටත්, දේශපාලනීකරණය කිරීමෙන් හෑල්ලුවට ලක් කිරීමටත් පෙලැඹුණු ඇතැම් පිරිස් විසින් මෙහි වටිනාකම සහ විශ්වසනීයත්වය පහත හෙළීමය.

එසේ වුවත් අදටත් අප සිතනවාට වඩා ජන මනස තුළ මෙවැනි විෂයයන් පිළිබඳ විශ්වාසය හෝ විශ්වාස කිරීමට පෙලඹෙන තත්ත්වයේ වන කුකුසක් ඇති බව සුබසෙත මඟින් නොමිලේ පැවැත් වූ ඡ්‍යොතිෂ ආයුර්වේද සායනවලදී දැක දැන ගන්නට හැකි විය. පුද්ගල බද්ධ ගැටලු කෙතරම් ද ඒ තරමටම නොපෙනෙන බලවේග වෙත මිනිසා ඇදී යන ප්‍රවණතාව වැඩි වෙයි. එහිදී ඡ්‍යොතිෂ හෝ ආයුර්වේද හෝ සාමුද්‍රිකා ශාස්ත්‍ර, වාස්තු, සුවවේද ආදී කුමන සේවා සපයන්නකු හෝ වේවා කළ යුතුව ඇත්තේ තව තවත් ඔවුන් බිය ගන්වා අතේ ඇති අන්තිම තුට්ටුවත් වියදම් කිරීමට සලස්වා මේ විෂයය එපා කරවීම නොව, මෙයින් සැබැවින් ම සෙතක් සැලසිය හැකි සහනදායී මඟ තමන්ගේ දැනුමෙන් ඔවුන්ට සොයා දීමය. එවැනි සහනයක් සැලසූ විට වේදනාවෙන් මිරිකී ඇති මුහුණුවලින් දැකිය හැකි සහනයේ සියුම් සිනහව මෙලොව දැකිය හැකි වාසනාවන්තම දසුන යැයි එය දකින්නකුට සිතෙනු නියතය. එමෙන්ම සුබසෙත ඡ්‍යොතිෂ ආයුර්වේද සහන සායනයෙහි තවත් අරමුණක් වන්නේ විවිධ පරම්පරාවල, විවිධ ගුරුකුලවල සහ විවිධ ක්ෂේත්‍රවල විෂයය ප්‍රාමාණිකයන් එක මිටකට ගෙන ඔවුනොවුන් අතර සුහදතාව වර්ධනය කිරීමයි. එය මතු දිනෙකට මෙවන් විෂයයන් රැකගෙන යෑම වෙනුවෙන් වැදගත් වනු ඇත. අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි මෙන්ම දෙසිය තුනක් අන්තරා දූරින්භූත කිරීමට ජනතා සිත ගත සහනයෙන් පිරවීමට මෙවැනි සායන මහත් රුකුලක් වන බව තවදුරටත් පැහැදිලිය. දුකින් පෙළෙන්නන්ගේ දුක තුනී කරවන්නට, බියෙන් පෙළෙන්නන්ගේ බිය පහ කරන්නට, සොවින් තැවෙන්නන්ගේ සිත් සනසන්නට හැකි මේ සායනවලට පැමිණෙන්නන් කායික, මානසික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ලබන සහනය එයට ස්වේචඡාවෙන් සහභාගී වී නිස්සරණාධ්‍යාශයෙන් ජනතා සුබසෙත සැලසීමට දායක වන සියලු දෙනා හට දිට්ඨධම්මවේදණීය ලෙස යහපත උදා කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.