ග්‍රහයෝ නම් අඹර දෙවියෝය උන් සුරපුර

මැයි 10, 2024

මේ දිනවල රස්නය ඉතා වැඩිය. සූර්යයා කෝප වී ඇතුවා මෙනි. ගහක් වැලක් ඇති තැනක හෝ වායු සමනයක් ඇති සීත කාමරයක මිස විසීම උගහටය. අපට පමණක් නොව ලෝකයටම පරිසර ප්‍රශ්නය. එක රටක ගංවතුරෙන් ජීවිත දේපළ හානි වෙද්දී තවත් රටක බොන්නටවත් වතුර නැතිව දුක් විඳීන සත්ත්වයන්ය. තවත් රටක මිහිකත කම්පා වී ගොඩනැඟිලි සමතලා කර දමයි. නාය යයි. මෙය සැබැවින්ම නර ලොවද අපායද කියා හිතෙන තරමට මිනිසුන් දුක් විඳීනු බලා සිටීමට මිනිසුන්ටම සිදු වි ඇත. ඒ අතර නොයෙක් රථවාහන අනතුරුය. විවිධ රෝගය. මේ දේවලින් ගැළවෙන්නට සිතමින් තැනෙක දෙවියන් යදින මිනිසුන්ය. තවත් තැනෙක වෙනත් අදෘශ්‍යමාන බලවේගවලින් පිහිට පතන පිරිස්ය. එහෙත් සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ කුමක්ද?

සොබා දහම අතට ගන්නට වැර දරන බලවතුන්ගේ පවු දුබලයන්ගේ පිටින් යෑමය. වැසි නැති කාන්තාරයකට වැසි කෘතිමව ඇති කරන්නට ගොස් මහ ගංවතුරක් ආ බව අපි දනිමු. දියදම් දිනිතිය කෝප වන තරමට ඒ කෘත්‍රිම වැස්සේ වේදනාව බලවත් වී ඇත. මහී කාන්තාවට රිදෙන බව නොසිතා විශාල ඉදිකිරීම් වෙනුවෙන් පොළොව කණින විට ඇය තරමක් සෙලවී යයි. එය අපට දැනෙන්නේ අපට රිදෙන විට පමණි. ගහ කොළ කපා දමා රුක් දෙවිවරුන්ට පවා උන්හිටි තැන් අහිමි කරන්නට වූ විට දෙවියෝ කෝප වන බව පැරැන්නෝ දැන සිටියහ. එහෙත් අද විද්‍යාවේ දියුණුව ගැන අධි තක්සේරුවකින් අධික විශ්වාසයකින් වෙසෙන නූතන මිනිසාට මේ සියල්ල පිළිබඳ ඇත්තේ වෙනත් මානයකි.

ග්‍රහයන් ගැන සිතන පෙරදිග බොහෝ දෙනා සොබා දහමට බියක් දක්වන බව නොරහසකි. ඉර දෙවියන්ගේ ඉරගල ගාවා කියමින් හිරුට සඳුට ජීවය ආරෝපණය කරන විට ඔවුන් අප මෙන්ම අතපහ සහ සිත මෙහෙයවා කටයුතු කරන පිරිසක් සේ සිතන්නට අපේ මුතුන් මිත්තන් හුරු වූයේ වැරදීමකින් යැයි කිව නොහැකිය.

එයින් ඉරට හඳට තරුවලට යට වී ඔවුන් වැඩ කළා නොව සොබා දහමට එකඟව වැඩ කළා පමණි. එනිසා එදත් දියදම කෝප වූ විට මිනිසුන් හට කම්පණයක් ඇති කළ බව විහාර මහා දේවියගේ කතා ප්‍රවෘත්ති වැනි දේවලින් පැහැදිලි වුවද එය මෙතරම් දිගින් දිගටම මිනිසාට කරන පහර දීමක් ලෙස සැලකිය හැකිද යන්න නැවතත් සාක්ෂි සහිතව සොයා බැලිය යුතුව ඇත.

ඡ්‍යොතිෂය අනුව මේ නව විපර්යාසයට හේතුව ග්‍රහයන්ගේ සංකලනවල ඇති විෂම ස්වභාවය යැයි කියා අපට එක් අතකින් සිත හදාගන්නට පුළුවන්ය. අනෙක් අතට කර්මය අනුව සියල්ල සිදු වේය කියා හිත හදා ගන්නටද හැකියාව ඇත. තවත් ආකාරයකට දෙවියන්ගේ කැමැත්ත යැයි සිතා සියලු වගකීම් ඉහළට බාර කර අපට ගැළවෙන්නට ද හැකිය. එසේ මොන අයුරින් හෝ සිත සදාගත හැකි වුවත් සොබා සහමේ නීතියෙන් අපට ගැළවිය හැකිද යන්න තවමත් මනසින් උසස් සත්ත්වයා නිවැරැදිව වටහා ගෙන නැති කරුණක් බව පැහැදිලිය. ග්‍රහයන්, දෙවියන් මෙන්ම ගහකොළ සතා සීපාවා අයත් වන්නේ විශ්වයටය. විශ්වය නම් සොබා දහමේ මහා කුලකයටය. එයට රිදවන ඕනෑම ජීවියකුට එය පාරාවළල්ලක්ව නැවත ලැබෙන බව දැනෙන්නේ විශ්වයේ නියමය ගැන දන්නා සොබාලැදියන්ට පමණක් විය හැකිය. එහෙත් එලෙස නොදන්නා බහුතරයකගේ ක්‍රියා කලාපයෙන් දුක් විඳීන්නේ මේ කිසිවකට හවුල් නොවූ අසරණ අහිංසක පිරිසක් වන්නට ද පුළුවන.

ඇත්තෙන්ම ඔවුන් අසරණ අහිංසකද යන්න වෙනම කරුණකි. තත් කරුණ අරභයා ඔවුන්ට ඒ විශේෂණ භාවිත කළ හැකි වනු ඇත. එහිදී බලවතුන් සටන් කර ඇත්තේ කා සමඟ ද යන්න සිතා බැලිය යුතුව තිබේ. එනම් ඉලියඩ් වැනි කතා වස්තුන්ගේ සිට අද දක්වාම දෙවියන්ගේ සහාය ලැබෙන පිරිසක් සහ දේව කෝපයට ලක් වන පිරිසක් ලෙස දෙපිරිසක් ලෝකයේ සිටී. දෙවියන් ඇතැම් විට සර්ව සාධාරණ ලෙස කටයුතු කරනවා ද යන්න ඒ ග්‍රීක දේව කතා දෙස බැලීමේදී සැකයක් උපදී. එහෙත් තමන්ට සලකන අයට පෙරළා සවන් දෙන, සලකන දෙවියන්ගේ සිතිවිලි සහ හැසිරීම් බොහෝ විට මිනිසුන්ගේ මෙන්ම බව ඒ කතාවලින් පැහැදිලිය. එනිසා මිනිසුන්ගෙන් කොපමණ පින් ගත්තද දෙවියන්ට ද ඇත්තේ සීමා සහිත හැකියාවක් යැයි වරෙක සිතන්නට හැකිය.

එහෙත් විෂ්ණු දෙවියන්ට පවා බටකොළ කැවීමට සමත් වූ සෙනසුරු යනු ග්‍රහයෙකි. එනිසා දෙවියන්ටත් වඩා ග්‍රහයන්ගේ බලපෑම මිනිසුන්ට වැඩි විය හැකි යැයි කෙනෙකු සිතන්නට පෙලඹීම වරදක් නොවේ. එසේම ග්‍රහයන් දෙවියන් තරම් පක්ෂපාතී පිරිසක් නොවන බව ඔවුන්ගේ හැසිරීම්වලින් ද පැහැදිලිව පෙනේ. මිනිසුන් මෙන් සිතන, තරගකාරීත්වයට, වාසියට, පින් ලබා ගැනීමට වැඩ කරන, වැඩියෙන් තමන්ට ළං වූ අයට වැඩියෙන් සලකන, කපුවන්ගේ කීමට තවෙකකුට හින්සා කරන ඇතැම් දෙවිවරුන්ට වඩා ග්‍රහයන් සාධාරණව සැමට සලකන බවක් සිතීමෙහි වරදක් නැත.

සූර්යග්‍රහණය, ගුරු මාරුව, සෙනසුරු ඒරාෂ්ටකය වැනි අවස්ථාවලදී පොදුවේ පලදීම් සිදු කරන්නට ග්‍රහයන් පෙලඹෙන්නේ ඒ නිසා විය යුතුය. එහෙත් ඔවුන්ට ද පූජා තබන්නන් පිළිබඳ අනුකම්පා නොසිතෙනවාම නොවේ. කෙසේ වුවත් දෙවියන්ට පවා පාඩම් උගන්වන්නට සමත් බව කියන ග්‍රහයන් අපට පෙනෙන අඹරේ ඈත සුරපුරයේ දෙවියන් යැයි පැරැන්නන් පැවසුවේ ඔවුන්ගේ හැසිරීම් අනුව මුළු විශ්වයම එක ලෙස වෙනස්වීම්වලට බඳුන්වන නිසා විය නොහැකිද?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.