‍නිරෝගී දැයක් උදෙසා සුවධරණී - සුරුදරුවෝ මානසික සුවතා වැඩසටහන කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ඇරැඹේ

අගෝස්තු 18, 2023

රටේ අනාගතය වන් පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා සුවධරණී - සුරුදරුවෝ නමින් මානසික සතිමත්භාවය ගොඩනැගීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන අතර ඒ වැඩසටහනේ සමාරම්භක වැඩසටහන කොළඹ නාලන්දාවිද්‍යාලයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

සුවපත් දැයක් උදෙසා ගුණවන්ත, දක්ෂ, ක්‍රියාශිලි, බුද්ධිමත්, කුසලතා පූර්ණ ආධ්‍යාත්මික දරුවන් බිහි කරලීම වෙනුවෙන් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දෙකටන, බවුන්සෙත් මානසික සුව සෙවණේ නිර්මාතෘ, කැලණිය නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාවනා අංශයේ උපදේශක පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

පාසල් ළමයින් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් කෙරෙහි යොමු වීම වළක්වාලීම, මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කිරීම උදෙසා මානසික සුවතාවය ගොඩනැගීමට ඉවහල් වන මනෝ චිකිත්සක ක්‍රමවේද, ක්‍රියාකාරකම් සහ අභ්‍යාසවලින් මේ සුවධරණී - සුරුදරුවෝ වැඩසටහන සමන්විතය. එහි ප්‍රථම අදියර ලෙස බස්නාහිර පළාතේ පාසල් ඉලක්ක කර ගනිමින් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.