රාජකාරියට බාධා කරන කොන්දේ කැක්කුම

ජුනි 30, 2023

ඊයෙ ඔය තුන්දෙනාම ඇබ්සන්ට් වුණේ ඇයි? ඔෆීස් එකම සයිලන්ට්.

මම කොන්දේ අමාරුව නිසා බෙහෙත් යන්න ගියා. ඒ යන කොට එතන නීලයි, බට්ටියි හිටිය. ඒ ගොල්ලත් ඇවිල්ල හිටියෙ කොන්දෙ කැක්කුමට බෙහෙත් ගන්න. ඒ පාර අපි තුන්දෙනාම එකම වෙදමහත්තය ළඟට ගියා. අපි දිහා බැලූ වෙදමහත්තයා ඔය තුන්දෙනා එකටද වැඩ කරන්නෙ කියල ඇහුව. අපි ඔව් කිව්ව. එතකොටම වෙදමහත්තය තුන්දෙනාටම කොන්දෙ අමාරුවට බෙහෙත් ගන්න නේද ආවේ කියල ඇහුව?

දිගු කාලයක් තිස්සේ බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් වාඩිවි සිටිමින් ලිපි කටයුතුවල හා පරිගණක කටයුතුවල යෙදීමෙන් කොඳු ඇටවලට මෙන්ම ඇස්වලටද හොඳ නැහැ. කොන්දේ අමාරුව ඇතිවීමට මූලික හේතුව වන්නේ එක තැනක එක විදියට වාඩිවී බොහෝ වේලාවක් සිටීමයි. කොන්ද කෙළින් තබාගෙන ඉඳගෙන නොසිට කොන්ද නමාගෙන සිටීමෙනුයි කොන්දෙ කැක්කුම හැදෙන්නෙ. ආයතනවල සේවය කරන අයට පහසුකම් සැලසීම සඳහා වායුසමීකරණ යන්ත්‍ර අධික ආලෝකය ආදී පහසුකම්ද ලබාදී ඇත. මෙයද සමහර අය අපහසුතාවට පත් කරන්නක් වී ඇත.

වායුසමීකරණවලින් නිකුත් වන දැඩි සිසිලස ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව කල්පවත්නා සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස හිස කැක්කුම ආදී රෝග මෙන්ම වෙනත් රෝගද ඇතිවිය හැකියි. සමාජ දියුණුවත් සමඟ සෑම කාර්යාලයකටම පරිගණක ගෙන ඇත. එහි සේවය කරන කාන්තාවන් පරිගණකයට දෑස යොමා සිටිමින් බොහෝ වේලාවක් එහි රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටී. එය දෘෂ්ඨි ආබාධවලට මෙන්ම හිස කැක්කුමට ද හේතු වේ. වාඩිවී සිටින අසුනේ ඉන්නා ඉරියව් අනුවද කොන්දේ අමාරුව ඇතිවේ. සමහර ආයතනවල පවතින අධික ශබ්දය නිසාත් ශ්‍රවණාබාධිත තත්ත්වයක් වුවද ඇතිවිය හැකිය. කාර්යාලයේදී ඇතිවන කොන්දේ කැක්කුම ගණන් නොගෙන සිටීම නිසා නිවෙසට ගිය විටද එය එලෙසින්ම වේදනාව ඇතිවේ මේ කොන්දේ කැක්කුම පිළිබඳ වෙදමහතා කී කරුණුවල සාරාංශයයි. එලෙද පවසෙ වෙදමහතා දෙන උපදෙස් පිළිපැද්දොත් කොන්දෙ අමාරුව සුව කරගත හැකි යැයි ද කීය.

වාඩිවී සිටින විට කොන්දෙ කැක්කුම ආවොත් පුටුවෙන් නැගිට ටිකක් එහා මෙහා ඇවිදින්න තරමක් දුරට හෝ වේදනාව සමනය වේ. දෙකට නැමී පුටුවේ ඉඳගෙන කරන රාජකාරි කටයුතුවලදී බඩ කොරවිය හැකියි. එමෙන්ම ශරීරයේ අස්ථි පද්ධතියේ විවිධ සංකූලතා පවා ඇතිවේ. කොන්දෙ අමාරුව ඇතිවීමට බලපාන්නේ නිවැරැදිව කටයුතු නොකිරීම නිසයි. කොන්දේ අමාරුව, බෙල්ල උරහිස් වගේම අත්පාවල වේදනාවන්ද ඇතිවේ. හටගන්නා වූ යටිකොන්දේ වේදනාට තවත් හේතුවක් වන්නේ කාටිලේජ් පළුදුවීම නිසා ඇතිවන තත්ත්වයකි. ශරීරයේ බර ඉහළ යෑමෙන්ද කොන්දේ අමාරුව වැඩිවේ. අතපයවල පවතින දිගහරින තැන්වල ඇතිවන හන්දිපත් වේදනාවද බොහෝ දුක් වේදනා ගෙන දෙන්නකි.

යටිකොන්දේ අස්ථි හා කශේරුකාව අතර කාටිලේජ පිහිටා ඇත. කොන්ද නැවීමට හෝ කොන්ද කෙළින්ම සිටීමට හෝ දිගහැරීමට හෝ හැකියාව ලැබී ඇත්තේ කාටිලේජ නිසාවෙනි. කොන්ද ආශි‍්‍රතව වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ මාංසපේශි හා තන්තු ඇදීම නිසාය. ඉහත කී රෝගී තත්ත්වයන් පවතී නම් කල් නොයවා ප්‍රතිකාර ලබා ගත යුතුය. කැල්සියම් හා විටමින් ගැනීමෙන් වේදනා තත්ත්වය අඩුකර ගත හැකිය.

වේදනාව අඩුකර ගන්නෙ කොහොමද? කියා නීලා වෙදමහතාගෙන් ඇසීය. වෙදමහතා එහිදී කීවේ හාල්මැස්සෝ කුඩා මාළු වර්ග, වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතු බවයි. පලා වර්ග හා කිරි වඩාත්ම සුදුසු අතර කොන්දේ වේදනාව වැඩි නම් වතුර උණුකර පිරිසුදු රෙදි කැබැල්ලක් මඳ රස්නයෙන් පොඟවා කොන්ද තවා තෙත මාත්තු කර හන්දි තෙල ගෑමෙන් වේදනාව සමනය වන බවත්, ඉන් සුවය ඇතිවන බවත් කීය. දැරිය නොහැකි අධික වේදනාවක් ආවිට ඇඳක වැතිරී ටික වේලාවක් සිටිය යුතුය. සමහරවිට විෂබීජ ශරීරගත වීම නිසාත් වේදනාකාරි තත්ත්වයක් ඇතිවේ. එම අවස්ථාවේදී උණ ගතිය කෑම අරුචිය නින්ද නොයෑම මුත්‍රා පිටකිරීමේ අපහසුතාව ආදී රෝග ලක්ෂණ මතු කෙරේ.

කොන්දෙ අමාරුවට දෙන ලද හන්දි තෙල පෙරකී පරිදි තවා හොඳට තුනටියේ ගෑ යුතුය. තෙල්පිටි, සීනි අධික කෑමෙන් හා ක්ෂණික කෑම ජාතිවලින් වැළකිය යුතුය. එළවළු හා පළා වර්ග කෑමට එක්කරගත යුතුය. ඩී විටමින් අඩංගු ආහාර වඩාත්ම සුදුසුය. හාල් මැස්සන් කුඩා මාළු වර්ග හා පලතුරු වැඩියෙන් ආහාරයට ගත යුතුය. තුනටියේ අමාරුව වගේම සැලකිලිමත් විය යුතු දණහිස් කැක්කුමත් ශරීරයේ ක්‍රියාකාරිත්වයක් ඇවිදීම බර ඉසිලීම වාඩිවී සිට නැගිටීමේදීත් අත්‍යවශ්‍යයෙන්ම දණහිස් සන්ධිය ඉටු කරනු ලබන කාර්යභාරය බොහෝය. දණ පොල්කට්ට නොහොත් නිකැප් යනුවෙන් හඳුන්වනු ලබන දණහිස් සන්ධිය හා සම්බන්ධ රෝගාබාධයක් දැණුනවිට වහාම වෙදමහතා හමුවී ඒ බව සඳහන් කළ යුතුය.

 

බත්තරමුල්ල

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

සටහන බී.ඇල්. පේ‍්‍රමරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.