ඇස රැකගත යුත්ෙත් ඇයි?

දෙසැම්බර් 9, 2022

ඇස යනු ඉතා සංවේදී මෙන්ම ශරීරයේ ඉතාමත්ම වැදගත්ම ඉන්ද්‍රියකි. එසේම ඇසට හානියක් සිදුවීමේ දී ඉතා කුඩා සිදුවීමක් වුවත් හේතු විය හැකි ය. ඇසට වන හානිය සුළු කොට තැකීමෙන් ඇස් අන්ධ විය හැකි ය.

 

ස්වභාවයෙන්ම ඇස් අස්ථි කුහරයක් තුළ පිහිටා තිබෙන්නේ ඇස ආරක්ෂා විය යුතු බැවිනි. නිතර නිතර කබ කඳුළු ගලන දෑසක් වේ නම් ඒ රෝගී ඇස්ය. එවැනි ඇස්වලට ඇස් රෝග ග්‍රහණය කරගන්නට ඉක්මනින් හැකියාවක් ඇති බව නොරහසකි. රෝග නිධානය සොයා බැලීමෙන් රෝගය හඳුනා ගැනීම පහසු වේ. දුකක දී හෝ සතුටකදී ඇසෙන් කඳුළු පිටවීම වැඩි වශයෙන් ඇති වන්නේ කාන්තාවන්ටය. ඉතා සංවේදී සිතක් කාන්තාවන්ට පිහිටා ඇත.

ඇසට විපත් ඇති විය හැකි අවස්ථා හා වළක්වා ගැනීම

වෑල්ඩිං වැඩ කිරීමේදී එම ආලෝකයෙන් විසිවන සියුම් කැබලිවලින් ඇස තුවාල විය හැකි ය. එබැවින් ආරක්ෂිත කණ්ණාඩි දමන්න.

කෘමිනාශක, වල්නාශක ඉසීමේ දී රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන විට ඒවා ඇස්වලට වැදීම නිසා ඇසේ පටකවලට හානි සිදුවේ.

සීසාන විටදී ඇසට මඩ වතුර විසිවීම නිසා ඇසෙහි තුවාල ඇති විය හැකි ය. මඩ වතුර විසිවූ වහාම පිරිසුදු වතුරෙන් ඇස් සෝදන්න.

ඇසට පහර වැදීම, තැලීම් ඇති වුණොත් ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යන්න.

පිහියා, කෝටු, ගල්කැට, රතිඤ්ඤා ආදියෙන් ඇස තුවාල විය හැකිය. ඉන් පරිස්සම් වන්න.

ඔබගේ ඇස්වල මෙම ලකුණු ඇති නම් වහා අක්ෂි වෛද්‍යවරයකු වෙත යන්න

පෙනීම අඩුවීම

හදිසියේ ඇස් පෙනීම නැතිවී යාම

ඇස් රතුවීම

කබ ගැලීම, කඳුළු ගැලීම, කැසීම

ආලෝකය දෙස බැලීමට අපහසු බව

ඇසෙහි ඇතිවන තද වේදනාව

එක වස්තුව දෙකක් මෙන් පෙනීම

ලාම්පු දැල්ල වටා පාට පාට වළලු පෙනීම

කළු තිත් පෙනීම.

බෝවන ඇස් රුදාව ඇතිවිට පිළිපැදිය යුතු කරුණු

ඇස් රුදාව ඇති අය සෙනඟ ගැවසෙන තැන්වලට යෑම සුදුසු නැත.

පොදු ළිං ගංගා වැව් පොකුණු ආදියෙන් නාන්න එපා.

ඇස් රුදාව ඇති විට ඇස්වලට විවේකය දෙන්න.

රෝගියා පාවිච්චි කරන තුවා, කොට්ට උර, පොරෝනා, ඇඳ ඇතිරිලි ආදිය නිරෝගී අය පාව්චිචි කරන්න එපා.

විටමින් ඒ අඩුකම හා මන්දපෝෂණය තිබෙන අයට (විශේෂයෙන් කුඩා ළමයි) ඇස් රුදාව නිසා කළු ඉංගිරියාවේ තුවාල ඇති විය හැකිය. එවැනි අය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ය.අත්වලින් ඇස් අතගාන්න එපා.

ඔබට ඇස් රෝගයක් ඇති විට

ඇසට විවේකය ලබා දෙන්න.

වෙනත් රෝගියකු වෙනුවෙන් දී ඇති බෙහෙත් ඇසට නොදමන්න.

අපිරිසුදු අත්වලින් ඇස් අල්ලන්න එපා.

ඇසට දමන බෙහෙත් ඉතා පිරිසුදුව තබන්න.

වෛද්‍යවරයකුගේ උපදෙස් නොමැතිව කිසිම බෙහෙතක් ඇසට දමන්න එපා.

ඇස රැක ගැනීමට මෙම උපදෙස් වැදගත් ය

ඇස වැඩිපුර වෙහෙසීම නිසා ඇසෙහි වේදනාව ඇතිවේ. එයින් මිදීමට ඇස් වරින් වර එම ක්‍රියාවෙන් බැහැරව යොමු කරන්න. නැතිනම් සුළු වේලාවක් ඇස් වසා සිටින්න.

ශීතල වතුරින් පොඟවා ගත් පිරිසුදු කපු රෙදි කැබැල්ලක් ටික වේලාවක් වසා ගත් ඇස් මත තබාගෙන සිටීම.

ඇසෙහි යමක් ඇනුන විට ගලවන්න යන්න එපා. වහාම වෛද්‍යවරයකු වෙත යන්න.

ඇසට වැලි කැට දූවිලි ආදිය ගිය විට ඇස් පොඩි කරන්න එපා. සුළු වේලාවක් ඇස් වසා සිටින්න. කඳුළු මඟින් ඉවත් නොවේ නම් පිරිසුදු වතුරෙන් ඇස සෝදන්න. පිරිසුදු වතුර භාජනයක ඇස ඔබා කරකවන්න.

දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා නියමිත ප්‍රතිකාර ලබා දෙන්න. ආහාර පාලනය කරන්න. මෙම රෝග නිසා ඇස් පෙනීමේ අපහසුතා හෝ ඇස් අන්ධ වීමට පුළුවන. මෙම රෝගීන් මාස කිහිපයකට වරක් ඇස් පරීක්ෂා කරන්න. දුර පෙනීමේ හා ළඟ පෙනීමේ අපහසුවක් ඇති විට වෛද්‍යවරයකු ලවා නියම කරගත් ඇස් කණ්ණාඩි දමන්න.

ඇස රැක ගැනීම

ඇස නිරෝගීව තබා ගැනීම

තද අව්වේ සිට හෝ අධික උණුසුම් ස්ථානවල සිට එකවරම නෑම.

අධික ආලෝකය දෙස කෙළින්ම බැලීම

ඉතා සියුම් දේවල් දෙස වැඩිපුර වේලාවක් බලා සිටීම.

ඇසට දුම්, දූවිලි, අළු වර්ග, ගින්දර, යකඩ කැබලි හෝ වැලිකට වැදීම

අධික දුම්පානය

අධිකව මත්පැන් පානය

තද උණුසුම් ස්ථානවල (පෝරණු) වැඩ කිරීම

අඳුරේදී මෙන්ම තද ආලෝකයේදී කියවීම.

රාත්‍රී නිදි මැරීම

පෝෂ්‍යදායක ආහාර නොගැනීම.

 

මෙම ආහාර වර්ග ඔබේ පෙනීම යහපත් කරයි

කිරි, බිත්තර, මාළු, කැරට්, කහ බතල, තද කොළ පාට එළවළු, පලා වර්ග, එළඟිතෙල්, මුං ඇට, කඩල, කවුපි, අඹ, පැපොල්, කෙසෙල්, ළදරුවන් සඳහා විශේෂයෙන් ම මවුකිරි ඉතා ගුණදායකය. දියවැඩියාව තිබෙන රෝගීන් නියමිත පරිදි බෙහෙත් පාවිච්චි කළ යුතු ය. ඉන් දෑස් නොපෙනී යෑමට බොහෝදුරට ඉඩ ඇත.

මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලෙස කොහොඹ කොළ තැම්බූ වතුරෙන් ඇස් සෝදන්න. දෙළුම් කොළ තම්බා එම වතුරෙන් ද සමන්පිච්ච මල් රැයක් තියා එම වතුරෙන් ද ඇස් සෝදන්න. නෙල්ලි, රසකිඳ තම්බා බොන්න. නිතර මුහුණ පිරිසුදුව තබා ගැනීම වැදගත්ය. නළලේ දහඩිය ඇසට වැටීමෙන් විෂබීජ ඇතිවේ. ප්‍රමිතියෙන් තොර සබන් වර්ග ගෑමෙන් වළකින්න. නොයෙක් සබන් වර්ග ඇසට ගෑමෙන් ඇස දුර්වල වීමට පුළුවන. කඳුළු එන අවස්ථාවලදී විෂාදී තෛලය සහ නීල්‍යාදී තෛලය හිසට දැමීම සුදුසුය. නේත්‍රා ප්‍රසාදන කිරීම අංජන කර්ම සියලුම දේවල් වෛද්‍ය උපදෙස් මත කිරීම සුදුසුය.

 

උපදෙස් - වෛද්‍ය

නන්දා කස්තුරිආරච්චි

ඩී.ඒ.එම්.එස්. දංගල්ල බෙහෙත් ශාලාව, පැපිලවල

 

සටහන

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.