ජීවිතයට ආයුර්වේදය

නොවැම්බර් 25, 2022

ආයුර්වේදය යනුවෙන් හඳුන්වන්නේ, “උපතින් පටන් ගෙන මරණයෙන් කෙළවරවන අපේ ජීවිතය නීරෝගිව (ශාරීරික හා මානසික) පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කලාව හා විද්‍යාව උගන්වන දර්ශනයයි.” එසේ හඳුන්වන ආයුර්වේද දර්ශනය අවශ්‍ය වන්නේ රෝගීන්ගේ රෝගීතාවය තුරන් කිරීමටත් වඩා නීරෝගිභාවය රැක ගැනීම සඳහාය. ඒ සඳහා අවශ්‍ය කරන සියලු කාරණා ආයුර්වේද දර්ශනය හා ඒ සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ තුළ මනාව විග්‍රහ කර තිබේ. එම වැඩපිළිවෙළ දෙවන වෙනවානම් එසේ වන්නේ බුදු දහමට පමණි.

බිලිඳෙක් මේ ලෝකයට බිහිවූ පසු නොව එම බිලිඳා මවුකුස තුළ ජීවිතය ඇරඹීමට සූදානම් කළ යුතු ආකාරය, එය සුරැකීමට කළ යුතු ඇවතුම් පැවතුම් පාලනය කළ යුතු මානසික තත්ත්වය ගැන පවා ආයුර්වේද තුළ උගන්වා ඇත්තේ එයින් යහපත්, ගුණවත්, බුද්ධිමත්, නීරෝගි දරුවකු මෙලොවට බිිහි කිරීම සඳහාය. එමඟින් යහපත් මිනිසකු සමාජයට දායාද කිරීම අරමුණූ කර ගනිමිනි.

 

ලෝකයේ එදා මෙදා තුර බිහිවූ බොහෝ දර්ශන හා බැඳි බොහෝ ක්‍රියාමාර්ග විවිධ අභියෝගවලට මැදිව වෙනස් වුවත්, ආයුර්වේදයෙන් විස්තර කෙරෙන හා ව්‍යවහාර කරන දේ සංවර්ධනය වූවා හැර අභියෝග ඉදිරියේ විනාශ වී භාවිතයෙන් ඉවත්ව ලොප් නොවූ බවට ඉදිරිපත් කළ හැකි සරලම උදාහරණයක් නම්, කවුරුත් දන්නා කොත්තමල්ලි භාවිතයයි. ආයුර්වේද වෛද්‍ය කර්මයේ ප්‍රචලිතම ඖෂධයක් වන, ඉතා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන කොත්තමල්ලි ඖෂධය බොහෝ කාලයක් මිනිසාට වැලඳුන ජ්වර රෝගයට වර්තමානයේ විස්තර කරන වයිරස් නිසා හට ගන්නා රෝගයට විශේෂයෙන් මෑතකදී ලෝකයම ලෙඩ කළ “කෝවිඩ් 19” රෝගය අවසානයේදී නතර වූයේ කොත්තමල්ලි ඖෂධය ළඟා වීම, කදිම උදාහරණයකි. ශාරිරික ප්‍රතිශක්තිය ආරක්ෂා වීමටත්, මර්දනය කිරීමටත්, කොත්තමල්ලි උදව් වන බව නවීන පර්යේෂණ තුළින් පවා ඔප්පු වී ඇති බව විද්වතුන්ගේ මතයයි.

බිලිඳෙක් මේ ලෝකයට බිහිවූ පසු නොව එම බිලිඳා මවුකුස තුළ ජීවිතය ඇරඹීමට සූදානම් කළ යුතු ආකාරය, එය සුරැකීමට කළ යුතු ඇවතුම් පැවතුම් පාලනය කළ යුතු මානසික තත්ත්වය ගැන පවා ආයුර්වේද තුළ උගන්වා ඇත්තේ එයින් යහපත්, ගුණවත්, බුද්ධිමත්, නීරෝගි දරුවකු මෙලොවට බිිහි කිරීම සඳහාය. එමඟින් යහපත් මිනිසෙකු සමාජයට දායාද කිරීමත් අරමුණූ කර ගනිමිනි. බිහි වූ එම දරුවාගේ නීරෝගී බව රැක ගැනීමට මවට, පියාට පමණක් නොව අවට අයට ඇති වගකීම් පිළිබඳව පවා උගන්වා, ඒ සඳහා සකස් කළ යුතු පරිසරය හා සිරිත් විරිත් විග්‍රහ කරමින් එම ක්‍රියාදාමය සමාජයේම කොටසක් කර, එය රටට හා සමාජයට, ආර්ථිකයට බරක් නොවන තැනට පත් කිරීමට සමත් විය. උදාහරණයක් වශයෙන් සඳහන් කළ හොත්, මෙයට දශකයකට දෙකකට පෙර අපේ සමාජයේ පවුලක දරුවන් හත් අට දෙනකු හදා වඩා, ලොකු කිරීම මාපියන්ට සාමාන්‍ය දෙයක් වුවද, අද එම දරුවකු, දෙදෙනකු හදා වඩා ගැනීම මාපියන්ට විශාල බරක් වී ඇත්තේ, ආයුර්වේදයේ හා ඒ හා සැසඳුන සමාජ පිළිගැනීම් වලින් ඇවතුම් පැවතුම් වලින් එක්කෝ සමාජය නොදැනුවත් වීම හෝ නොසැලකිලිත් වීම නිසාවෙනි.

නීරෝගී ජීවිතයක් හා සමාජයක් උදෙසා ආයුර්වේදයේ උගන්වන දින චර්යා, ඍතු චර්යා පිළිබඳ කරුණූ අද පොත්පත්වලට සීමා වී ඇත. නමුත් එම චර්යාවන් නොපිළිපැදීම නිසාම සමාජයම රෝගී වී ඇති බව කිවහොත් එය අතිශෝක්තියක් නොවනු ඇත. විශේෂයෙන් ආහාර චරියාවන් පිළිබඳ දක්වන නොසැලකිල්ල අද ව්‍යසනයක් බවට පත්ව ඇත. ආයුර්වේදයේ උගන්වන පරම රෝගයක් වන බඩගින්න එනම්, සාමාන්‍ය ව්‍යවහාරයේදි බඩ වියත රැක ගැනීම සඳහාය. අප මේ සියල්ල කරන්නේ. එම බඩ වියත ද රැක ගැනීම හෙවත් ආහාර ලබා ගැනීම යනු බෞද්ධ ග්‍රහ විග්‍රහය පරිදි ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව ලබා ගැනීමයි. පවිත්‍ර, ගුණවත් ආහාරයක් පිළිබඳව ආයුර්වේදයේ විස්තරයක් දක්වන්නේ ජීවිතයේ මනා පැවැත්ම සඳහා මූලිකම අවශ්‍යතාවය එය බැවිනි. රස, ගුණ, වීර්ය, විපාක, ප්‍රභාව යනුවෙන් ඕනෑම ද්‍රව්‍යයක ස්වාභාවය විග්‍රහ කර ඇත. විශේෂයෙන් රෝගී අවස්ථාවක ගත යුතු ආහාර ප්‍රත්‍ය අප්‍රත්‍ය ලෙස විග්‍රහ කර ඇත. එය ආයුර්වේදයේම විශිෂ්ට ලක්ෂණයකි.

වෙනත් චර්යාවන් එනම්, ඍතු චර්යාවන් පිළිබඳව ද අවධාරණය කරන්නේ එය සමාජයේ ම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා හේතුවන බැවිනි. දින චර්යාවන් ට ආයුර්වේදයේ ප්‍රබල ස්ථානයක් දී ඇත. ඒ අනුව උදෑසන අවදි වන වේලාවේ සිට රාත්‍රී නින්දට යන තුරුම දිනය කළමනාකරණය කළ යුතු අයුරු පුද්ගල සෞඛ්‍යයට හේතුවනවාත් හැර සමස්ත සමාජයේ ම අභිවෘද්ධියට හේතුවන ආකාරය සඳහන් කළ හැක. බ්‍රහ්ම මූර්තිය ලෙස හඳුන්වන්නේ උදෑසන එනම්, ඔරලෝසු පැයෙන් උදේ 4ට ආසන්න වේලාවේ අවධි වීමෙන් ඇතිවන මානසික ප්‍රබෝධය විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත. අප බුදු පියාණන් බුදු වීම පවා සිදු වූයේ උදෑසන මේ වේලාවේ බව ධර්මයේ සඳහන්ය. අද තත්ත්වය සැබැවින්ම මෙයට සපුරා වෙනස්ය. ඕනෑ කෙනෙකුට වැඩ කිරීමට අමතර පැයක් දෙකක් සොයා ගැනීමට මෙම බ්‍රහ්ම මූර්තියෙන් අවධිවීම ම ප්‍රමාණවත් ය.

නීරෝගී සමාජය රැක ගැනීමත්, රෝගීන් සුවපත් කිරීමත් ආයුර්වේදයේ මූලික පරමාර්ථ බැවින්, රෝගීන් සුවපත් කිරීමට යොදා ගන්නා චිකිත්සාවන් ද, ආහාර, විහරණ, ඖෂධ වශයෙන් ත්‍රිවිධ ආකාරයෙන් විස්තර කරලීමට පුළුවන. මෙහිදී ඖෂධ වලට හිමි මේ ඖෂධ වශයෙන් සංස්කරණය කරන ලද ඖෂධ වශයෙන් කෂාය, කල්ක, චූර්ණ, ගුළි, තැවිලි, තෛල හෙවත් තෙල් ආදියට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර, ස්නේහ හා ස්වේද කර්මවලට අතිවිශේෂ ස්ථානයක් හිමි වේ.

වර්තමාන සමාජයේ බොහෝ වටිනා දේ මානවයාගේ පමණක් නොව, සමස්ත ලෝකයේ ම යහපතට යොදාගත හැකි දේ ආභරණයක් ලෙස යොදා ගැනීම මෙන් ම එම දේවල් උපකරණයක් ලෙස යොදා නොගැනීම අවාසනාවන්ත තත්ත්වයකි. ආයුර්වේදය එසේ යොදාගත හැකි උපකරණයයි. එය හුදු ආභරණයක් නොවේ. මානව වර්ගයාගේ ශාරිරික මානසික සෞඛ්‍යයට පමණක් නොව, සමාජයේ සාමකාමී ආධ්‍යාත්මික ගුණවගාවන් දියුණු කරලීමට ද හේතුවන පරිදි ආයුර්වේද දර්ශනය යොදා ගැනීමට මෙය සුදුසු කාලය බව මගේ හැඟීමයි.

 

වෛද්‍ය

ආනන්ද වික්‍රමසිංහ

වැවගම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.