තරුණබව රැකදෙන හදවතට ගුණ දෙන ගෝවා

ඔක්තෝබර් 21, 2022

 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නොයෙක් රෝගයන් සඳහා ඖෂධ යෙදීම මෙන්ම ආහාර සහ විහරණයන් පිළිබඳවද වැඩිම අවධානයක් යොමුකර ඇත. විවිධ රෝගවලදී යොදනු ලබන ඖෂධයන්ට අමතරව අප විසින් ඒ සඳහා යෝග්‍ය ආහාරයන් යොදනුයේ ඒවායේ ඇති ගුණාගුණ අනුවයි. මෙම ආහාර වර්ග නොයෙක් රෝගවලදී සිරුරේ ඇති වන විවිධ වෙනස්වීම්වලට හිතකර විය යුතුය. රෝගය සුව වූ පසුවත් රෝගියාගේ බඩගින්න නිසි ලෙස වැඩීමටද එම ආහාර බොහෝ සෙයින් උපකාරී වේ. මෙසේ ඖෂධ මෙන්ම ආහාර ද රෝග සමනයට බොහෝ සෙයින්ම උපකාරී වේ.

 

ආහාරමය මෙන්ම

ඖෂධීය වශයෙන්ද බොහෝ ප්‍රයෝජන ගෙන දෙන ද්‍රව්‍යයන් අතර “ගෝවා‘‘ද වැදගත් ද්‍රව්‍යයකි.ඉතා රසවත් ආහාරයක් ලෙස බොහෝ දෙනා තම කෑමවේල රසවත් කර ගැනීමට ගෝවා යොදා ගනී. එමඟිින් සිරුරට ලැබෙන පෝෂණ ගුණය මෙන්ම ඖෂධීය ගුණය ද අති මහත්ය. ඈත අතීතයේ සිටම මිනිසා ආහාර සඳහා ගෝවා වගා කර ඇති බවට තොරතුරු හමුවේ.

පුරාණ ග්‍රීසියේ මෙන්ම රෝමයේ ඉතා ජනප්‍රිය එළවළුවක් ලෙස ගෝවා සැලකීය. එසේම රෝම වැසියන් විසින් යටත් විජිත බවට පත් කර ගන්නා ලද රටවලට ද මෙය හඳුන්වා දී ඇතැයි ද පැවැසේ.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් - ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ හොඳින් වැවෙයි. එසේම මධ්‍යම යුරෝපා රටවලද ගෝවා හොඳින් වැවෙන බව දක්නට ලැබේ.

දේශීය වශයෙන් - ශ්‍රී ලංකාවේ ද සම ශීත දේශගුණයකින් යුතු වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවෙල, දියතලාව, නුවරඑළිය ආදී ප්‍රදේශවල හොඳින් වැවේ.

ස්වරූපය

ගෝවා සාමාන්‍යයෙන් අඩි 1ක් පමණ උසට වැවෙන අතර එහි පත්‍ර තරමක් ඝන මාංසල ගතියෙන් යුතු වෙයි. එහි මැද නාරටියකින් යුක්තව පිහිටයි. එයින් දෙපසට බෙදුණුු පැහැදිලි රේඛාවලින් යුතුය. එහි මුල කෙමෙන් ඝන වී පළල් වී මහ කඳට යාවී ඇත. මෙම පත්‍ර රවුම් හැඩයක් ගනු ලබයි. එහි විශ්කම්භය අඟල් 10ක් පමණ වෙයි. මෙවන් පත්‍ර සමූහයක් වන අතර එම පත්‍ර එකතු වීමක්ද නැත. මෙම පත්‍ර තද කොළ පැහැයක් ගනී. ගෝවා මල වක්‍ර ස්වරූපයක් ගනු ලබන අතර ‘මල් ගෝවා‘ වර්ගයේ මල් විශාල ප්‍රමාණයක් එක් වී පවතී. එය ආහාරයට සුදුසු අවස්ථාව වන විට මාංසලමය එකතුවක් වෙයි. එහි බීජ ද අඩංගුය. ගෝවා පිළිබඳ විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන්.

පොදු සිංහල නාමය - ගෝවා වන අතර

සංස්කෘතික බසින් - දල මලිනී, දල සාරිණී, කෙබුකා, කේචුකා,කෙලුතා කෙම්බු, කෙමුකා, පීමුකා, පීචුනී, පොලිනී,සපත්‍රාස්වානුකන්ද සහ ස්වල්ප විටපා ආදී නාමයන් වෙයි.

මල් ගෝවා සඳහා - පුෂ්පගෝපී සහ මද්‍ය පුෂ්පා යන නාම යෙදේ.

ගෝවා සඳහා දෙමළ බසින් - ගෝස යනුවෙන් ද

හින්දි බසින් - කෝබී නමින්ද

වංග බසින් - කෝපයි ද වෙයි.

ඉංග්‍රීසි බසින් ඛ්චඡඡචඨඥ , එඪතඡ ඛ්චඡඡචඨඥ සහ ඉඥච ඛ්චඡඡචඨඥ යනුවෙන්ද

මල් ගෝවා සඳහා - ඛ්ධතතර ජ්තධඹඥප යනුවෙන්ද යෙදේ. එසේම ප්‍රංශ බසින් - රැබීට් (අචඡඥබබඥ) ලෙස ද යොදනු ලබයි. ගෝවාවල උද්භිද විද්‍යාත්මක නාමය - ඕපචඵඵඪජච ර්‍ණතඥපචජඥච වන අතර කුලය ඛ්පජඪටඥපචඥ හෙවත් රාජිකා කුලය වෙයි.

ගෝවා ප්‍රභේද සැලකීමේදී

1. නාරටිය අඳුරු නිල් වැඩි කොළපැහැ වර්ගය

2. නාරටිය දුඹුරු රතු පැහැයට හුරු වර්ගය වශයෙන් ප්‍රභේද 2ක් දක්වයි.

 

ආහාරමය වටිනාකම

ශරීරයට ඉතා හිතවත් පෝෂ්‍යදායක ආහාරයක් වන අතර ව්‍යාංජනයත් ලෙසත් සලාද වශයෙන්ද , අච්චාරුවක් වශයෙන්ද මදක් තම්බා ගැනීමෙන්ද ආහාරයට එක් කර ගනු ලබයි. ගෝවා මල් අච්චාරුව විශේෂ රසවත් කෑමකි.

ගෝවාවල අඩංගු පෝෂණ ගුණ ආරක්ෂා කර ගැනීමට වැඩිපුර තම්බා ගැනීම නුසුදුසුය. හැකිතාක්දුරට අමුවෙන් හෝ මද වශයෙන් තම්බා ගැනීම වඩාත් සුදුසුය. තව ද ව්‍යාංජන ලෙස ගෝවා සකස් කර ගැනීමේදී පරිප්පු, අල, සෝයා, කරවල ආදිය එක් කර සකස් කර ගැනීම වඩා රසවත් මෙන්ම ගුණදායක ද වෙයි. තවද ගෝවාවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ නොනැසී ආරක්ෂා වනුයේ අමුවෙන් ගැනීමෙන්ය. එසේ ගැනීම නිසා හොඳින් දිරවීම ද සිදුවෙයි. එසේ වුවද නිතරම ගෝවා ආහාරයට අධික ලෙස එක්කර ගැනීම ද එතරම් සුදුසු නොවේ. මක් නිසාද යත් එමඟින් අයඩින් නිපදවිමේ ඌණතාවයක් ඇති වී ‘ගලගන්ඩ‘ රෝග තත්වය ඇති විය හැකි බැවිනි. එනිසා ඒ පිළිබඳවද සැළකිලිමත් වීම වැදගත්ය.

ගෝවා ග්රෑම් 100ක අඩංගු

පෝෂ්‍ය පදාර්ථ

ශක්තිය කැලරි 27

ප්‍රෝටීන් ග්‍රෑම් 1.8

මේදය ග්‍රෑම් 0.1

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 4.6

කැල්සියම් මිලි ග්‍රෑම් 39

පොස්පරස් මිලි ග්‍රෑම් 44

යකඩ මිලි ග්‍රෑම් 0.8

කැරොටින් මයික්‍රොග්‍රෑම් 1200

තයමින් මයික්‍රොග්‍රෑම් 60

රයිබොප්ලේවීන් මයික්‍රොග්‍රෑම් 90

විටමින් සී මිලි ග්‍රැම් 124

මේ අනුව පැහැදිලි වන්නේ ගෝවා පෝෂ්‍ය පදාර්ථ රැසකින් සපිරි ගුණදායක එළවළුවක් බවයි.

ඖෂධීය වටිනාකම

කොළ ගෝවා -

රසයෙන් මධුර හා ගුණයෙන් ගුරු ගුණ ඇත. මේ අතර සර ගුණයද ඇති බව දක්වා ඇත. තවද මධුර රස නිසා හදවතට හිතකර බව දක්වයි. එසේම සෙම් පිත් දොස් සමන ගුණද මෙහි පවතින අතර දීපන ගුණෙන්ද යුතුය.

මල් ගෝවා - රසයෙන් මධුර හා ගුණයෙන් ගුරු සහ ස්වාදු ගුණ ද ග්‍රාහී ගුණ ද ඇත. එසේම බලය වඩන අතර බඩගිනි අඩු කරයි. පොදු වශයෙන් ගත් කළ සෙම් පිත් නසන ගුණ ද රුචිය වඩන ගුණ ද බඩගිනි වඩන ගුණ ද එසේම මළ ග්‍රහණය කරන ගුණයද යුතු අතර ආහාර පැසවීමට බොහෝ සෙයින් උපකාරී වෙයි. ගෝවා හදවතට ඉතාමත් ගුණදායක වන අතර අර්ශස්, ප්‍රෙම්හ, කුෂ්ඨ, කැස්ස, ප්‍රතිශ්‍යාව, ඇදුම, ආමවාත සහ වාත රක්ත රෝගීන්ටද ඉතා ගුණ දෙයි. තවද ගෝවාවලින් ගන්නා යුෂ සිරප් වශයෙන් සාදාගත් විට කැස්ස ප්‍රතිශ්‍යාවට වඩාත් ගුණ ගෙන දෙයි. මේ අතර සුදු ගෝවා යුෂ ඉන්නන්ට ගුණ දෙයි. තවද ගෝවාවල රෝග වළකන ප්‍රතිශක්ති ගුණය ද විශේෂයෙන් දක්නට ලැබෙයි. එසේම අකලට මහලුවීම නවතාලන ගුණයෙන් ද එනම්, රසායන ගුණයෙන් ද යුතුය. මෙහිදී අකලට මහලු වූ පෙනුමෙන් යුක්ත වූ අය සඳහා ගෝවා අමුවෙන් ආහාරයට එක් කර ගැනීමෙන් මහලු ස්වරුපය නැති කර තරුණ පෙනුම රැකගත හැකිය.

මුත්‍රාශයේ ගල් හට ගැනීම වළකන ගුණ ද විශේෂයෙන් ගෝවා වල පවතී. රුධිර නාලවලට ශක්තිය ද ලබා දෙයි. තවද සමේ රෝග සඳහා ද විශිෂ්ට ගුණ මෙමඟින් ලැබෙන අතර සන්ධිවල ජල පදාර්ථ පිරීමේ රෝග අවස්ථාවන් සඳහා ද ඉතා ගුණදායකය. මේ අතර ගෝවාවල සම සිනිදු කරන ගුණයෙන්ද යුතුය. මේ නිසා ගෝවා නිතර ආහාරයට එක් කර ගැනීම රූප ශෝබාව වැඩි දියුණු කර ගැනීමටද හේතුවේ. තවද ආමාශ ආශ්‍රිත වේදනා ගෙන දෙන අවස්ථාවන් සඳහා ද ගෝවා ඉතා ගුණදායක වන අතර මල බද්ධ තත්ත්වයන් ද නසනු ලබයි.

ගෝවා අමුවෙන් ගෙන කපා එයට ගම්මිරිස් සහ රටදෙහි (ඹ්ඥථධද) එක්කර ඊට ලුණු ස්වල්පයක් දමා ආහාරයට එක්කර ගැනීමෙන් මළ බද්ධය වහා දුරු කරගත හැකි වේ. වර්තමානයේ බොහෝ දෙනා පෙළෙන රෝග තත්ත්වයක් ලෙස අධික ස්ථුලතාවය දැකිය හැකිය. මේ සඳහා හේතු වනුයේ මේදයයි. මේදය අධික වීම වළක්වා ගතහොත් ශරීරයේ බර අඩු වී අත්‍යවශ්‍ය ස්ථුලතා පාලනය වනු ඇත. ඒ සඳහා වඩාත්ම සුදුසු ඖෂධාහාරයක් ලෙසද ගෝවා හඳින්වීමට පුළුවන.

අසාමාන්‍ය මහත්වීමෙන් මිදී හැඩ ගෙන දෙන සිහින් සිරුරක් ඇති කර ගැනීම සඳහා ආහාර වේල් සීමා කිරීමට වඩා පහසු කාර්යක් වනුයේ ගෝවා අමුවෙන් ආහාරයට ගැනීමයි. අමුවෙන් ගෝවා ආහාරයට ගැනීමෙන් ශරීරයේ අනවශ්‍ය බර පහත හෙළන බව හඳුනාගෙන ඇත. තවද රුසියන් ජාතිකයින් තුවාල සඳහා ප්‍රතිකාරයක් වශයෙන් ‘ගෝවා‘ කොළ කොටා ගත් යුෂ යොදා ගෙන ඇති බවට වාර්තා වේ.

මේ අතර කැඩුම් බිඳුම්වලදී ගෝවා කොළ, හාතවාරිය කොළ, කහ, ලුණු එක්කර කොටා යුෂය මිරිකා කබලෙන් උණු කරවා බිඳුණු ස්ථානයේ හා රොඩු මලවා එහි තබා බැඳීම ඉතා ගුණදායක යැයිද දේශීය වෛද්‍යවරුන් අතර මතයකි. මේ අනුව පැහැදිලි වනුයේ ගෝවා ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන්ද අතිශය ප්‍රයෝජනවත් ඖෂධාහාරයක් බවයි. වත්මන් සමාජයේ විවිධ හේතු නිසා නොයෙක් රෝග හට ගැනීමේ ප්‍රවණතාවය වැඩිය. පරිසර දූෂණය මෙන්ම අප ගන්නා ආහාර පානවල යම් යම් අඩුපාඩු නිසාත් වැරදි විහරණ නිසාත් වර්තමානයේ බෙහෙවින් රෝග හටගනු ලබයි. මෙවන් තත්ත්වයන් තුළ ‘ගෝවා‘ වැනි රෝග නිවාරණ ගුණ යුතු පෝෂණ ගුණ හා ඖෂධීය ගුණ සපිරි ආහාර නිතර ගැනීම ශරීර සුවතාවය නිසි ලෙස පවත්වා ගැනීමට බෙහෙවින් උපකාර වනු ඇත.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.