නීරෝගි සුව ගෙනෙන කෂාය

ජූලි 29, 2022

ආයුර්වේදය හා පරිසරය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. නිවැරැදි ආහාරවලින් අපට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලබාදෙයි. අතීතයේ අපේ මුතුන් මිත්තෝ සොබාදහම හා සබැඳි අපේම වෙදකමෙන් රෝග සුවකර ගත්හ.

කෂාය යනු ආයුර්වේද මූලධර්මවලට අනුව රස හයෙන් එකකි. දිවට දැනෙන රස හයක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වේ. ආයුර්වේදයේ වෛද්‍ය ක්‍රම පිළිබඳ කතා කරන විට කෂාය ගුළි, කල්ක, බස්න වශයෙන් කාගෙත් මතකයට නැගෙන වචන කීපයක් ඇත. ශාකවල මුල්, පොතු, ඇට, මද ඒ ඒ ද්‍රව්‍යවල ප්‍රමාණය අනුව කිරා උණුකර සින්දවා ගන්නා විට එම ද්‍රව්‍යවල ඇති විවිධ රසයන් එකතු වී කෂායක් සකස් වේ.

වාත පිත කප යන තුන්දොස් කුපිත වීමෙන් හටගන්නා රෝගවලට සුදුසු කෂායක් සාදාගන්නා අන්දම අපි බලමු.

වෛද්‍යවරයෙක් යම් රෝගයක් සඳහා ලබා දෙන ප්‍රතිකාර පද්ධතියේ පත අට එකට සිඳ ගන්නා ලෙස නියම කරන ලද වට්ටෝරුව කෂාය ලෙස අපි හඳුන්වමු.

කෙසේ වෙතත් එම ද්‍රව්‍ය ගණන අනුව ලබාගත යුතු කලං, මංචාඩි ප්‍රමාණය වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි. එම කෂාය සඳහා ද්‍රව්‍ය එකේ සිට ඕනෑම ප්‍රමාණයක් තිබිය හැකියි. කෙසේ වුවත් එම ද්‍රව්‍ය ගණන අනුව ලබාගත යුතු කලං මංචාඩි ප්‍රමාණය වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි. මෙම කෂාය නිසි පරිදි සකස් කර ගැනීමට බොහෝ දෙනා නොදන්නා බව සමීක්ෂණවලින් පැහැදිළි වී ඇත.

වැඩිහිටියකුගේ කෂායකට වතුර පත අටක් දමා එකට සිඳගන්නා ලෙස දක්වා ඇති අතර ළමා රෝගියකුට නම් වතුර පත හතර භාගයකට සිඳ ගැනීම සාමාන්‍ය නීතියකි. එහෙත් එක් එක් කෂාය අනුව එය වෙනස් විය හැකි ය.

කෂායක් සකස් කර ගැනීම

හාතාවාරිය, ඉරිවේරිය, සුදුලූනු, රසකිඳ වැනි දේවල් කෂාය සඳහා අමුවෙන් ම ගත යුතු අතර සුදුලුනු දමන විට පොතුහැර ගත යුතු යි. නියමිත බර සහිත කෂාය ද්‍රව්‍ය ජලයෙන් සෝදාගත යුතුයි. අනෙකුත් බෙහෙත් මුල් ආදිය සිහින්ව කපා ගත යුතුයි. සෝදා ගත් බෙහෙත් මැටි මුට්ටියක දමා ජලය එකතු කළ යුතු ය. දර ළිපක තබා කෂාය මදගින්නේ සිඳ ගැනීම වඩාත් සුදුසු ය. වෙනත් ඉන්ධන භාවිත කෙරේ නම් අඩු ගින්දර ප්‍රමාණයක් යෙදිය යුතු ය. මැටි බඳුන් හැර වෙනත් වර්ගයක භාජන භාවිතා කෙරේ නම් කෂාය සිඳගත් පසුව වෙනත් භාජනයකට ඉවත් කිරීම සුදුසු ය. දර දමන විට ගින්දර වඩාත් සැර ගතියෙන් යුතු මිල්ල දර, කොස් දර සුදුසු අතර පොල්කටු දැමීම සුදුසු නැත. කැලෑ දර වඩාත් යෝග්‍යයයි. කෂාය නියම ප්‍රමාණයට සාදා ගැනීම සඳහා වරින්වර පරීක්ෂා කළ යුතු ය. රසකිඳ වැල්වල පිට සුබුල ඉවත් කළ යුතු ය.

කෂායකට යොදගන්නේ ජලය පමණක්ද?

සාමාන්‍යයෙන් කෂායකට යොදනු ලබන්නේ පිරිසුදු ඇල් ජලයයි. එහෙත් විශේෂ අවස්ථාවලදී වෛද්‍යවරයා වෙනත් ද්‍රව්‍යයන්ද නියම කළ හැකි ය. උදාහරණ ලෙස වතුර පත හතක් සමඟ එළකිරි පතක් යොදා සිඳ ගැනීම හෝ තැඹිලි වතුර පතක් යොදා සිඳ ගැනීම සිදු කළ හැකි ය.

කෂායක් පානය කිරීම

කෂාය පානය සඳහා වෛද්‍යවරයා නියෝග කරනුයේ පත අට එකට සිඳගත් කෂාය පතෙන් භාගයක් වේලකට පානය කරන ලෙස ය. උදේ 6.00 සවස 6.00 උදේ 10.00 සවස 2.00 ට කෑම පෙර හෝ පසුදින උදේ හිස්බඩ යනාදී වශයෙන් පානය කළ යුතු වේලාව වෛද්‍යවරයා සඳහන් කරනු ඇත. එසේ සඳහන් නොවේ නම් උදේ සහ හවස පත භාගය බැගින් බීම සුදුසු ය.

අනුපාන

අනුපාන යනු අනුව පානය කරන වර්ගයි. එනම් කෂායකට ගුණ සහ රස වැඩිකිරීම සඳහා එකතු කරන වර්ගයි. යම් කෂායක ගුණ වැඩිකිරීමට උරාගැනීම පහසු කිරීමට ක්‍රියාකාරිත්වයට ඉක්මන් කිරීමට රෝග මර්දනයට අනුපාන යොදනු ලබයි.

වේලාව අපේක්ෂිත ප්‍රතිපල අනුව කෂාය සඳහා යොදන අනුපාන හා එහි ප්‍රමාණය වෙනස් වේ. බොහෝ විට තේ හැඳි භාගය තේ හැන්ද බිංදු 3 - 5 දක්වා අබ ඇටයක, ගම්මිරිස් ඇටයක ප්‍රමාණය වැනි මාත්‍රාවක් වෛද්‍යවරයා නියෝග කරනු ලබයි. මෙය නියම මාත්‍රාව වනුයේ රෝගියා තම ඇඟිලි 3ක් යොදාගෙන අනුපාන කෂායට යෙදීමයි. සීනි, මී පැණි, තිප්පිලි කුඩු, එළඟිතෙල්, එඬරුතෙල්, තලතෙල්, සහිඳ ලුණු, පෙරුම්කායම් බහුලව භාවිතා කරන අනුපානයන් ය.

කෂායක බර කොපමණද?

සාමාන්‍ය වැඩිහිටියෙකුට එක් වරකට සිඳිනු ලබන කෂායකට කළන් 12ක් අඩංගු වේ. එනම් ග්‍රෑම් 60කි. කළන් 12 ආයුර්වේදයේ පළමක් ලෙස හඳුන්වයි. කළඳක් යනු මංචාඩි 20 කි. මංචාඩිය යනු මදටිය ඇටයයි. මංචාඩි 240 ක බරක් කෂායක අඩංගුය. බෙහෙතට ගන්නා වර්ග (ද්‍රව්‍ය) ප්‍රමාණය අනුව එක් වර්ගයකින් ගනු ලබන කළන් සහ මන්චාඩි ප්‍රමාණයන් වෙනස් වේ.

කෂායක් බීමෙන් පසු

බොහෝ විට කෂාය බීමෙන් පසු විනාඩි 10 - 15 ක් විවේකයෙන් සිටීමට වෛද්‍යවරයා උපදෙස් දෙනු ලබයි. කෑමට පෙර බොන කෂායවලදී කෂාය පානය කර විනාඩි 10 ට පසුව ආහාර ගැනීම වරදක් නැත. ආහාරයෙන් පසුව බීමට උපදෙස් දී ඇත්නම් ආහාර ගෙන විනාඩි 10ට පසුව කෂාය බීම සුදුසු ය.

කෙසේ වෙතත් ආහාර ගැනීම සුදුසු නැතිනම් වෛද්‍යවරයා ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනු ඇත. ගත යුතු ආහාරය දියර වර්ග, කැඳ සහ ආහාරද යන්න වෛද්‍යවරයා උපදෙස් දෙනු ලබයි. කෂාය බොන සියලුම රෝගීන්ට තෙල් කෑම අවශ්‍ය නැත. තෙල්, ඇඹුල් ආහාර සුදුසු නැතිනම් වෛද්‍යවරයා ඒ බව රෝගියාට දන්වනු ඇත. කෂාය බොන සියලුම රෝගීනට දිය නෑම තහනම් නැත. එහෙත් විශේෂිත රෝගවලදී තහනම් කරනු ඇත. වෛද්‍ය උපදෙස් අනුව ආහාර ගැනීම ක්‍රීඩා හා ව්‍යායාම සිදුකළ යුතු ය. මෙහි සඳහන් උපදෙස් අනුව ඔබ විසින් කෂායක් සකස්කර පානය කෙරේ නම් බඩේ රෝග කෙටි කාලයක් තුළ නිට්ටාවට සුව කළ හැක. කුඩා දරුවන්ට කෂාය සකස් කිරීමේ දී පිරිසිදුකම කාලය හොඳින් සලකා බැලිය යුතු ය.

ද්‍රව්‍ය කළන් 06 ක් (ග්‍රෑම් 30) කෂාය සඳහා ගනු ලබන අතර පත 4 ක් බාගයට සිඳ ගැනීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් මෙම කෂාය රෝගී දරුවාට පෙවීමේ දී දරුවාගේ වයස අනුව පෙවිය යුතු ආකාරය වෛද්‍යවරයා විසින් භාරකරුට උපදෙස් දෙනු ලබයි. බොහෝවිට කෂාය පත කාලක් එකවර පෙවීමට වඩා වරකට තේ හැඳි 2 - 3 බැගින් වරින්වර පෙවීම වඩාත් සුදුසු ය. ආයුර්වේදයට අනුව කෂාය සකස් කරගත යුත්තේ ඉහත පිළිවෙතට වුවත් එහි මූලික ඉගැන්වීම්වල කෂාය වර්ග පහක් පිළිබඳව කියවේ. ඒවා පංච විධ කසාය නම් වේ. කොළ, පොතු කොටා මිරිකා ගන්නා යුෂ ස්වරස ලෙසද පත අට එකට සිඳ ගන්නා දේ කෂාය යනුවෙන් ද බෙහෙත් ද්‍රව්‍ය ද්‍රව්‍යයකට දමා රැයක් පින්නේ තබා ගන්නා වතුරින් තම්බා බීම කණ්ඨ කෂාය ලෙස ද ද්‍රව්‍යයකින් අඹරාගත් දෙය කල්ක කෂාය ලෙසද දක්වා ඇත.

නීරෝගී සුවය සඳහා ප්‍රමිතියකට කෂාය සකස් කිරීමෙන් රෝගියාට සුවය ලබා ගත හැකි ය.

වෛද්‍ය

දේවපි‍්‍රය අභයවර්ධන

සටහන

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.