ගෙමිදුල හැඩකරන ඔසු ගුණපිරි මල්

ජුනි 17, 2022

දේශීය වෙදකම ශාක කොටස් මත පදනම් වූවක් බැවින් ශාකයක කොළ පොතු, මුල් හා බීජ විවිධ රෝග අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්නා අංගයන් වන අතර මල් ද දේශීය වෛද්‍ය චිකිත්සාවේදී බොහෝවිට ප්‍රයෝජනයට ගන්නා වැදගත්ම ශාක අංගයක් වේ.

 

ඖෂධීය ගුණ පමණක් නොව සොබා සිරිය ඔප්නැංවීම පිණිස ද පරිසර විද්‍යාත්මකව ඖෂධීය මල් උපකාරි වේ.

ඔසු ගුණැති මේ මල් වර්ග පිළිබඳ දැනුවත් වී සිටීමත් වැදගත් නිසා අද අපි ඒ පිළිබඳ විමසා බලමු.

 

මලිත මල

මලිත මල වේළා කුඩුකර මී පැණි සමඟ බීමෙන් අතීසාරය ලේ වැඩිපුර යන කාන්තා රෝග ලේ ගලන අර්ශස් රෝගවලට ගුණදායකයි. මල් තැම්බූ ජලයේ වාඩිවී සිටීමෙන් ලේ අර්ශස් සුවවන අතර ගින්නෙන් පිළිස්සුණුවිට මල් කුඩුකර තල තෙල් සමඟ ආලේප කිරීම ඉතාමත් යෝග්‍යය. ශරීර දාහය ඇති විටදීද ගුණදෙන අතර මෙම මල්වලට පැසවීමේ ක්‍රියාකාරිත්වය ඇතිකළ හැකි නිසා ස්වභාවිකවම මධ්‍යසාර නිපදවීමේ හැකියාව ඇති බව තහවුරු වී ඇත. මලිත මල වසරකට වරක් පිපෙන මලකි. කුඩා නටු මත මල් පොකුරු වශයෙන් හටගන්නා අතර මල් පිපීම මාර්තු සිට මැයි දක්වා හටගනී. කුඩා පුෂ්ප රතුපාටින් යුක්තය.

 

සමන්පිච්ච මල

සමන්පිච්ච මල් වේලා කොට්ට සාදා හිසට තැබීමෙන් හිසේ රෝග සුවපත් වේ. සමේ රෝග කුෂ්ඨ, ලේ අපිරිසිදු වීමෙන් ඇතිවන රෝග සුවපත් කරයි. වාත රෝගවලට ගුණදායක වන අතර දෑසමන් සමන් පිච්ච මල් ඇල්දියෙන් රැයක් පෙගෙන්න තබා පසුදා ඇස් සේදීමෙන් ඇස් රෝග ද මුඛය සේදීමෙන් දත් රෝග ද සුව වේ.

 

කුමුදු මල

කුමුදු මල් රැයක් ඇල් ජලයේ පෙගෙන්නට තබා පෙරාගත් වතුර ඇඟ සිසිල් කරන අතර රත්පිත් රෝග නාසයෙන් හා බඩවැලෙන් ලේ ගලන රෝගවලට ඉතා හොඳයි. සමේ රෝග සුවකරන අතර සුදු පැහැයෙන් හා ඉතා අලංකාර පෙනුමකින් යුතුව ජලය මත පිපෙන කුඩා මල් වර්ගයකි.

 

බෙලි මල

ඈත අතීතයේ සිටම බෙලි ඖෂධ වශයෙන් භාවිත කර ඇත. බෙලි මල් වියළා සකස්කර තේ මෙන් පානය කිරීම ඇඟ සිසිල් කර වීමටත් යෝග්‍යය. බෙලි මල් පානයෙන් සමේ රෝග දුරු කරයි. මුත්‍රා රෝගවලට ගුණදායක වන අතර ආහාර හොඳින් පැසවයි. ආයුර්වේද ග්‍රන්ථ තුළ ලක්ෂ්මි ලෙස හඳුන්වා දී ඇත්තේ බෙලිය. බෙලි මල් කොළ පාටට හුරු සුදුපාට වන අතර සුගන්ධවත්ය. මල් පොකුරු ලෙස අතු අග හට ගනී.

 

රණවරා මල

රණවරා මල් තම්බා බීමෙන් මුත්‍රා දාහය සුව වේ. දියවැඩියා රෝගීන්ට ගුණදායකය. කාන්තාවන්ගේ ප්‍රදර රෝගවලට (රුධිර වහනය වන රෝග) ගුණ දෙන අතර සමේ පැහැපත් බව ඇති කරයි. තැඹිලි හෝ කහ පැහැ පුෂ්ප දික්වූ පොකුරක් හටගනී. රේණු දහසකි.

 

නෙළුම් මල

මිහිරි සුගන්ධයෙන් යුත් අලංකාර මල් හටගන්නා අතර සුදු හා රතු නෙළුම් වර්ග දෙකකි. ශරීර වර්ණය හා රූපසොභාව ඇතිකරයි. ශරීර දාහය පිපාසය දුරු කරයි. සමේ බිබිලි, විස බිබිලි, තුවාල රත, කැසීම්, රත බිබිලි. නැති කරයි. මල් පැණි රේණු ඖෂධ වශයෙන් භාවිත කරන අතර මල් පෙති 15 ට වැඩි ප්‍රමාණයක් ඇත.

 

ඕලු මල

ඕලු මල් තැම්බූ කෂායේ ජලය හෘද රෝග වලට ඉතාමත් ගුණදායක වන අතර අර්ශස් රෝග මූත්‍රා රෝග, ලේ පිරිසුදු කිරීම සහ ශරීර ශක්තිය වැඩි කරයි. ඕලු ඇටවලින් සාදාගත් බත් දියවැඩියාවට ගුණ දෙන අතර ඒ වගේම ඕලු ඇට කුඩුකර සාදාගත් කැඳ බීමෙන් දියවැඩියාවට මෙන්ම සර්ප විෂටත් සුදුසුය.

 

වද මල

වද මල් පානය සමේ ඇතිවන දද කුෂ්ට බිබිලි හා රතගෙඩි සුව කරයි. ශරීරය සිසිල් කරයි. ලේ පිරිසුදු කරයි. ඖෂධවලට වඩා වැදගත් වන්නේ පොකුරු වද ලෙස හඳුන්වන දීප්තිමත් ලේ රතුපාටකින් යුක්ත මල් වර්ගයකි. විවිධ වර්ණයෙන් යුත් වදමල් වර්ග රාශියකි. මල් වසර පුරාම හටගනී.

 

උපදෙස්  වෛද්‍ය ඩඩ්ලි චන්ද්‍රසේකර වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රලතා

 

සටහන - ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.