වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගරා යක් ශාන්ති කර්මය
“ගරායක් ශාන්ති කර්මය” අපූර්ව හෙළ භූත විද්‍යා අංගයකි. දේශීය අෂ්ඨාංග ආයුර්වේදයේ භූත විද්‍යා ක්ෂේත්‍රයට අයත් මෙම ශාන්ති කර්මය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කරළියට ගෙනෙන ලදී. පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්ය.
මෙහි සංස්කෘතික අංග භූත විද්‍යාව, ගායනය, තුරුලතා නිර්මාණ, බෙරවාදන, වෙස් මුහුණු, ඇඳුම් ආයිත්තම්, කලාංගයන්ගෙන් සමන්විතය. ප්‍රසාංගික එළිදැක්වීමේ ගෞරවය කැස්බෑව ප්‍රා.ලේකම් කේ.පී. පේමදාස මහතා හිමිවන අතර, කාර්යාලයේ සමස්ත සේවක මණ්ඩලය නොමද සහය අගය කළ යුතුය. ලලනී එස්. ප්‍රේමසිරි, එච්.එච්.එස්. කුමුදුනී යන සංස්කෘතික නිලධාරිනියන් දෙපළ මේ සඳහා සුවිශේෂී කාර්යභාරයක නියැළුනි.
ගරායක් ශාන්තිකර්ම රංගනයේ සම්බන්ධීකරණය කහපොළ කලායතනාධිපති පාරම්පරික නර්තනාචාර්ය සමන් ලොකුමාලගේ මහතා කරනු ලැබීය.
රටට සෙත්පතා පැවැත්වූ ‘ගරායක් ශාන්තිකර්මය රංගශිල්පීන් රැසකගේ දායකත්වයෙන් මුළු දුන් මෙහි ප්‍රධාන රංග දායකත්වය පුරාණ ගනේවත්ත දේවාලයේ වැලිවත්ත මහ කපුමහතා දරනු ලැබීය. ඔහු ඇරැව්වල වැලිවත්ත කලායතනයේ අධිපති මෙන්ම ප්‍රධාන නර්තනාචාර්යවරයා වේ.
මෙම රංග භූමිකාව අවදිමත් අධ්‍යාපන ප්‍රකාශයක් බඳුය. රසිකයන් අතර කලාකරුවන් සේම විද්‍යාර්ථයන් වූහ. දේශීය නර්තන කලාවේ ප්‍රාමාණික විද්වතුන් දෙපළක් මතකයට නැඟෙයි. ඒ මහාචාර්ය තිස්ස කාරියවසම් හා කථිකාචාර්ය සිරිලියනගේ යන භවතුන්ය. ඔවුනගේ පර්යේෂණ නිබන්දනවලට අනුව ගරායක් ශාන්ති කර්මයේ නිධාන කතාව දත යුතුය.
දඹදිව විසූ හේමදන්ත රජුට හා එම දේවියට දරුවන් දෙදෙනෙක් වූහ. ඒ දළ කුමරු හා ගිරි කුමාරිය නම් වූවාය. සොළොස් වියට පත් කුමාරයාට කුමාරියක් සේවුවද ඉන් පලක් නොවුණි. දළ කුමරු සරණපාවා ගැනීමට කිසිම කුමරියක් තෝරා ගත්තේ නැත. සෑම කුමරියක් කෙරෙහිම පිළිකුලක් දක්වන ලදී. “බැරිම තැන පියරජු විවිධ දේශකයන්ගෙන් කැඳවන ලද කුමරියන් හා රජවාසල කුමාරිකාවන් ඇතුළු 500 දෙනා පමුණුවා අයකු තෝරා ගැනීමට නියම කළේය. මෙහිදී දළ කුමරු මෙහෙසිය ලෙස තෝරා ගත්තේ නැඟෙණිය වූ “ගිරි” කුමාරියයි. ඉන් කලබලයට පත් පිය රජු සිද්ධිය රහසක්ව තබා ගැනීමට වෙහෙසුණි. එහෙත් ගිරි කුමරිය ගැබ්ගැනීමෙන් සියල්ල අනාවරණය විය. ලැජ්ජාවට පත් ගිරි ඇසළ වනයේ ගසක එල්ලී සියදිවි නසා ගත්තේ ය. මින් කෝපයට හා ලැජ්ජාවට පත් දළ කුමරු වන වැදී තවුස් දම් පිරීය.
මෙයට සමකාලීනව කතරගම ස්කන්ධ කුමරුගේ හා වල්ලිමාතාවගේ විවාහය යෙදුණි. එම මංගල්‍යයට වැදි රටට යාම සඳහා ස්කන්ධ කුමරු පත්තිනි මෑණියන්ගේ උපකාර පැතීය. එහි යාම සුදුසු දැයි පත්තිනි මැණියන් දිවැසින් බැලීය. මඟුල් මඩුවේ සතුන්ගේ ලේ හා මස් වර්ග පෙනිණ. මේ අපිරිසුදු බිමට පා නොතැබිය යුතු හෙයින් එම ස්ථාන පිරිසුදු කිරීමේ ක්‍රමයක් සෙවීය.
ඒ ගැන කල්පනා කිරීමේ දී දඹදිව දඹරුක මුල තවුස් දම් රකින දළ කුමරු දැකීය. ඔහු ඉදිරියේ පෙනී සිටි පත්තිනි මෑණියන්, කළ යුතු දෙය තවුසාට විස්තරකර දුන්, දළ කුමරු ගරායක් වෙස් ගෙන වැදි රට වල්ලිමාතාවගේ මඟුල් මඩුවට කඩා වැදුණේ ය. යක් වේසය දුටු වැද්දන් හිසලූලූ අත පලාගිය අතර වල්ලිමාතාව පමණක් මඟුල් මඩුවේ ඉතිරිවුණි. ගරායකු මඟුල් මඩුව වමතින් ගෙන හක්කේ තබාගෙන සියලු කෑම බීම කා දැමූ බව සඳහන්ය.
සිය කාර්ය මනාව ඉටු කිරීම පිළිබඳව සතුටට පත් පත්තිනි මෑණියන් හා ස්කන්ධ කුමරු ගරා යක්ෂයාට වර දුන් බව සඳහන්ය. මේ නිසා ගම්මඩු, දෙවොල්මඩු, මල්මඩු, තුන්දාගිරි මඩු, දානෙ මඩු අවසානයේ ගරායකු සිහිකර පූජා පැවැත්වීම පැවත එන්නේය.
සාම්ප්‍රදායික ගරායක් රංග භූමිකාවේ සුවිශේෂි පිළිගැනීමකි. එනම් ගරා යකුට දොළොස් අවතාරයක් ඇතැයි යන්න පිළි ගැනීමයි. මෙකී දොළොස් අවතාර නම් කිරීම හඳුනා ගැනීම වැදගත්ය.
කීලගරා, සෝලන් ගරා, මෝලන් ගරා, අඳුන් ගරා, සඳුන් ගරා, පට්ටිගරා, ඔකඳ ගරා, ජලගරා, පුෂ්ප ගරා, සොහොන් ගරා, වටගරා, තොටගරා යනුවෙනි.
යක් ශාන්තිකර්මවල මනස්කාන්ත කවි ගායනා වේ. එහි ගරා මුහුණ සම්බන්ධව ගැයෙන කවියකි.
සිරිස මිණි මකුටත්
මූණ නයිපෙණ තුනෙන් බබලත්
ඇස් දෙක ගොපලු වෙත්
දෙතොල රත් පැහැ සුදුව නළදත්
ගරා යකුමේ දී ඇදුරන් කරන දේව පූජාව ඉතා අලංකාර නිරූපණයකි. අයිලය පදිමින් ගරායකුට ආරාධනා කිරීමට ගයන කවි කීපයකි. ඉන් එක් කවියක් මෙලෙසය.
යකු තෝ ගරානම්
තොගේ අඹු ගිරි දේවි නම්
රුවින් මනහර නම්
කියමි ආරාධනා කවි නම්
ගරා මුහුණ බැඳගත් ඇදුරු අයිලයට නැඟ රැඟුම් දක්වයි. මෙහි සිදුවන විකට දෙබස් හුවමාරුව විනෝද ජනකය. ගරායක් උපත දැක්වෙන වගතුග සිත්ගන්නා සුළුය. අනතුරුව ගරායකුට වෙන්කළ පූජාව පිළිගැන්වේ. ගෙවල් නිවීම සඳහා කියන කවි පන්තියේ රසවත් කවියකි.
මිහිකත මේ ගෙට වඩින්න තිත්තේ
පුන් කළසක් පිට වැඩ ඉඳ ගත්තේ
ගොමද තියෙන දොස රොක්කර ගත්තේ
එතනින් බිය දෙස සිට ඉල පත්තේ
ගරා යකු සබයට කැඳවන බෙර වාදක ගයන කවි පන්තියකි. එහි එක් කවක් මෙහි සඳහන් කිරීම වැදගත්ය.
විරාජිත කර පෙම
ගරායකු ලෙස බැස බිම
උරා බොන ලේ හැම
ගරායක් කෝලමක මනරම
මෙහි දැක්වෙන්නේ කෝලම් නැටුම් සම්ප්‍රදායේ ගරායක් නිරූපනයයි. මෙයට වෙනස් ආකාරයෙන් ගරා යක් ශාන්ති කර්ම පැවැත්වේ.
ගරා යක් කෝලම් නැටුම් අවසන පින්දීම සිදුකරයි. මළගිය ඥාතීන් ඇතුළු සියලු සත්වයන්ට පින්දෙනු ලැබේ. මෙම පින්දීමේ දී සියලු නැට්ටුවන් මල් යහන් ඉදිරිපස නමස්කාර කරගෙන සිටියි. බෙරවාදයකු සෙමෙන් බෙර හඬවද්දී පින්දීමට ගයන කවියක් මෙසේය.
සසඟ සියල් ඔබ ලොව වැසෙන දෙවියනී
උරග ගුරුළු යක් බුනර අසුරනී
තොළඟ ළඟ වැසෙන දිය ගොඩ සව් සකුනී
සමඟ මෙපින් අනුමෝවත් බැති සිතිනී
සිය ගායනය සමඟ කෝලම් නැටුම අවසන් වන්නේය. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවතියේ “ගරායක් ශාන්ති” කර්මයකි. මෙහි දැක්වූ හා නොදැක්වූ බොහෝ අංග ඉන් නිරූපනය විය. මේ අපූර්ව සංස්කෘතික පෙළහර ඉදිරි පරම්පරාවට පැවරීමට කළ රූපනය බොහෝ දෙනාගේ ඇගයීමට ලක් විය.
ආචාර්ය පණ්ඩිත වෛද්‍ය ලක්ෂ්මන් වසන්ත රුක්මාල්