වැඩිහිටියන් වැඩියෙන්ම පීඩාවට පත්වන හන්දි රෝගය

මාර්තු 4, 2022

මෙම රෝගයේදී හන්දි ඉදිමීම, ඇවිදීමේදී පාදවල වළලුකරේ ඇතිවන වේදනාව, අත්වල උරහිසේ වේදනාව, අත් නැවීමේදී හා අත්දිග හැරීමේ වේදනාව ඇඟිලි පුරුක් බෙහෙවින් ඇදවීම, සෑම සන්දියකින්ම ඇතිවන වේදනාව ආදී වේදනා නිසා රෝගියකු මහත්සේ පීඩාවට පත්වෙයි.

හන්දි රෝගයේදී මූලිකම ඇතිවන රෝග ලක්ෂණ අතර ඇවිදීමේ අපහසුතාව, අලසබව, නිදිමත ගතිය, සන්දි ආශි‍්‍රතව වේදනාව බෙහෙවින් සිදුවේ.

වයස හතළිහ ඉක්ම වූ බොහෝ දෙනකුට රැය නිදා සිට උදේ නැගිටිනවිට විලුඹ හෝ යටිපතුල්වල වේදනාවක් ද ඇතිවේ. මෙම රෝගී අවස්ථාවේදී දකුණු අතේ මැදඟිල්ල නැමීමට නොහැකි වීමෙන් ඇතිවන වේදනාව ද බොහොමයි. මැණික් කටුව වැළමිට හන්දිය දණිස් හා වළලු කර හන්දිය දක්වාත් වේදනාව පැතිරෙනවා. ඇතැම්විට දණහිස් හන්දිය ඉදිමිලා නැවීමට හා ඇවිදීමට තදබල ලෙස අපහසුවීමෙන් වැසිකිළියේ ඉඳගැනීමට හා බිම ඉඳගැනීමට අපහසුවීමෙන් මානසික පීඩාවට ද පත්වෙනවා. දෛනික කටයුතු පවා කරගැනීමට ඇතිවන්නේ මහත් අපහසුතාවයක්.

බඩගිනි නොදැනීම අප්‍ර‍්‍රාණික බව බර අඩුවීම බෙහෙවින්ම ඇතිවේ. එදිනෙදා කන බොන ආහාර රස රක්ත මාංශ මේද අස්ථි මජ්ජා හා ශුත යන සප්තධාතුවට පරිවර්තනය නොවී ආහාර ජීර්ණයෙන් ඇතිවන රසධාතුව ශරීරයේ මහා සන්දිවල තැන්පත්වීමෙන් හටගන්නා වූ වේදනාව හා පීඩාව සරල ලෙස හඳුන්වන්නේ ආතරයිටීස් හෙවත් හන්දි අමාරුව ලෙසයි. මෙය දිගුකලක් සිදුවීම නිසා ඇඟිලි ඇදවීම, අතපය දිග හැරීමට නොහැකිවීම, යමක් ලිවීමට ඇඟිලි ක්‍රියාත්මක නොවීම ද ඒ කරුණු අතර වේ. සැම සන්දියක්ම ඇල්ලුවාම අතට දැඩි රස්නයක් දැනේ. රෝගය දැන දැනත් රෝගයට නිසි ප්‍රතිකාරයක් නොලැබුණහොත් සිදුවන්නේ රෝගියා රෝද පුටුවකට සීමාවීමයි. හන්දිපත් ඉදිමීමේ ප්‍රවණතාවයක් කාන්තාවන් අතර බහුලව පවතී. රෝග තත්ත්වයන් ගැන සැලකීමේදී පිරිමින්ට වඩා තුන්ගුණයකින් කාන්තාවන්ට එය වැලදී ඇත. හන්දිපත්වල හටගැනෙන වේදනාව අවුරුදු දහයේ සිට අවුරුදු හැත්තෑව දක්වා වූ වයස් කාණ්ඩ අතර බෙහෙවින් දක්නට ඇත. අස්ථියක් කැඩී බිඳීගිය විට එම අස්ථියට ද අස්ථියට ආසන්න හන්දියට ද හානි සිදුවේ.

අධික තරබාරුකම හන්දි ඉදිමීමට තවත් හේතුවකි. ආමවාත හා රක්තවාත ආදී ශාරිරික රෝග මුල්කරගෙන ඇතිවන වෙනත් රෝග තත්ත්වයන් ද බොහෝ ය. හන්දි රෝගයේදී ඇතිවන වේදනාව බොහෝවිට රාත්‍රී කාලයේදී ඇතිවන බැවින් නින්දට ද ඇතිවන්නේ මහත් බාධාවකි. එසේ වුවද නින්දෙන් පිබිදුණු විට ද උදේට ඇතිවන වේදනාව ද පෙර මෙන්ම පවතී. දිනපතා යම් යම් ක්‍රියාකාරකම්වල නිරතවීම නිසාත් ගෙවී යන හන්දි සහ හන්දි ඛණ්ඩවලට යථා තත්වයක් ලබාදිය හැකි වන්නේ ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමෙන් හා පෝෂ්‍යදායි ආහාර ගැනීමෙනි. හන්දිවේදනාව ඇතිවිය හැකි තවත් විශේෂ අවස්ථාවක් වන්නේ බැක්ටීරියා ආසාදන බැක්ටීරියාවක් රුධිර ප්‍රවාහයේදී හන්දිපත් තුළට ඇතුළුවීමෙනි. එවැනි තත්ත්වයකට පත්වුවහොත් ඉතාමත් වේදනාකාරි තත්ත්වයකට පත්වන අතර ඉක්මන් ප්‍රතිකාරයක් ලබාදිය යුතුය. ප්‍රතිකාර ලබාදීම අතපසුවුවහොත් හන්දි විනාශවී මහත් අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකිය. වයසට යන විට හන්දිපත් රුදාව හේතුවෙන් හන්දි ගෙවීයාම ද සිදුවේ. එමෙන්ම කාටිලේජවලට සිදුවන හානිය නිසා ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයට පවා පත්වේ.

නුහුරට හන්දි නැමුණු විට ද තාවකාලික වේදනාවක් හා හන්දි තුළ ඉදිමුමක් ද ඇතිවේ. නින්දෙන් පිබිදුණු අවස්ථාවලදී ද හන්දි වල තද බවක් පවතී. සන්ධිතුළට විෂබීජ ඇතුළුවීමෙනුත් සන්ධිගත වේදනාව පවතී. ආතරයිටීස් රෝගයේ තවත් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ එකම ඉරියව්වක යම් වේලාවක් සිටීමට ඇතිවන අපහසුතාවයයි. දණහිස නවාගෙන සිට එකවර නැගී සිටීමට නොහැකිවීමත් එසේ කිරීමේදී වේදනාවක් ද ඇතිවීමයි. සමහර අයට පැදුරක හෝ බිම ඉදගෙන සිට එක්වර නැගී සිටිමට නොහැකිවේ. ඔවුන් මහත් වාරුවෙන් අත්දෙක බිමට නමා හෝ වෙනත් උපකරණයක් අල්ලාගෙන නැගී සිටියි. එවිට ද ඇතිවන වේදනාව ඉවසිය නොහැකි තරම් ය. ඇඳක හාන්සිවී හෝ වාඩිවී සිට හෝ පුටුවක සිට හෝ නැගී සිටින විට දණහිස දිග හැරෙන විට දණහිසෙන් ටක් ටක් ගානා ශබ්දයක් ද ඇසේ. එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඔස්ටියෝ ආතරයිටීස් රෝගී බවට පත්වීමෙනි. ශරීරයේ අනෙකුත් හන්දිවලට වඩා වැදගත් කාර්යක් ඉටුකරන්නේ දණහිස් හන්දි යයි. ශරීරයේ ක්‍රියාකාරිත්වයේදී ඇවිදීමත් බර ඉසිලීමෙන් යමක් කිරීමේදී හා වාඩිවී සිට නැගී සිටීමේ සැම අවස්ථාවකදීම මුල්වන්නේ දණහිස් හන්දි යයි. එබැවින් දණහිසේ යම් වේදනාවක් හෝ වෙනසක් ඇතිවූ විගසම ප්‍රතිකාරගත යුතුය.

දිගින් දිගටම මළ බද්ධයෙන් පෙළීමත් හන්දි රෝගයට හේතුවක් වේ. දිරවීමට අපහසු ආහාර ගැනීමත් තවත් හේතුවකි. මළපිට කිරීම දෛනිකව හොඳින් පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුය. ඉදුණු කෙසෙල් ගෙඩි, ගස්ලබු , බෙලි වැනි පලතුරු දිනපතා ගත හැකිනම් වඩාත්ම පහසුය. එහෙත් සමහරුන්ට බෙලිකෑමෙන් අපහසුතාවයට පත්වේ. එවිට කළ යුත්තේ බෙලිකෑමෙන් වැලකීමයි. කෙසේ නමුත් උෂ්ණාධික ආහාර නොගත යුතුය. අන්නාසි, තක්කාලි, අච්චාරු, ලුණු දෙහි මෙන්ම හරක්මස්, බලමාළු, හුරුල්ලන්, දෙල්වැනි උෂ්ණාධික ආහාර නොගත යුතුය. තවද හන්දි වේදනාවට ඖෂධීය තෙල් නිෂ්පාදනය කොට ඇත. නිසි ලෙස සකස් කර ඇති හන්දිතෙල් ගෑමෙන් අපහසුවකින් තොරව රෝගය සුවකරගත හැකිය. කල්ගතවීමෙන් රෝගය වර්ධනය වී වේදනාව අධිකවන බැවින් ප්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය. රෝගීන් සුවවන තාක් උණුවතුර පාවිච්චි කළ යුතු අතර බටු, මෑකරල්, බණ්ඩක්කා, නිවිති, පිපිඤ්ඤා හා එළකිරි වැනි සීත ආහාර ගැනීම තාවකාලිකව නතර කළ යුතුය.

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

සටහන - මාධ්‍යවේදී

බී.ඇල්. පේ‍්‍රමරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.