රෝග කාරක විෂ බීජ නසන පරිසරය සුරකින කොහොඹ

සැප්තැම්බර් 17, 2021

රෝග කාරක විෂබීජ නාසකයක් වන පරිසරය සුරකින සිසිලස ගෙන දෙන ප්‍රබල ඖෂධයක් වන කොහොඹ පැතිර පවත්නා වූ රෝගාබාධ අවස්ථාවලදී විෂබීජ නාශකයක් ලෙස භාවිතා කරති. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී දෙනු ලබන බොහෝ ඖෂධවලට යොදා ගන්නා කොහොඹ රසායනික සංයුති ගණනාවකින්ම යුක්තව පවතී. ඒ අනුව සලකා බලනවිට විශේෂයෙන් කොහොඹ ළපටි පත්‍රයේ පවති විෂබීජ පැරසීන් නාසකයෙන් ඉහළ තත්ත්වයක පවතී.

අවට පරිසරය පිරිසුදු කිරීමේ පුදුමබලයක් ඇති කොහොඹ ගසින් ප්‍රබල සිසිලක්ද ලබා දෙයි. සරම්ප, පැපොල් ආදී බෝවන රෝග වැළඳුණු රෝගීන් සැතපෙන යහනට කොහොඹ කොළ අතුරා සැතපීමට සළස්වන්නේ සලස්වනු ලබන්නේ කොහොඹ පත්‍රවල පවතින සිසිල්ගතිය රෝගී අයගෙග් වේදනාව සමනය කරන බැවිනි. එමෙන්ම ශරීරගත විෂබීජ පවා මර්දනය කෙරේ.

 

නිම්බවා කෙෂාලඝුඞ ශීත ස්තිකේතා ග්‍රාහිකටුඞ ස්මෘතඞ

අග්නිමාදන්‍යකාර ශෛ්වව ව්‍රණ ශෝධනකාරක

ශොථ පාපකරොබාලො හිතො හෘ දෙසම තොබුධෛඞ

කෘමිවන්හි ව්‍රණකථයෝථ පිත්ත විෂාපහඞ

වාත කුෂ්ඨඤ්ච හෘද්දාහා ශ්‍රමං කාසං ජවරංතෘෂාම්

අරුචිං රක්ත ද්‍රොෂකඤ්ච මෙහෙකෛද්වච විනාශයෙන්

කොහොඹ (පොතු) සැහැල්ලුයි. ශීතලයි. තිත්තයි. මලබඳියි. කටුකයි. ගිනි මදකරයි. වණ සුව කරයි. ඉදිමුම් පැසීම කරයි. බාලයින්ට හා හෘදයට හිතයි. පණුවන් වමන වණ සෙම ඉදිමුම පිත විෂ වාතය කුෂ්ඨය පපුවේ දැවිල්ල විඩාව, කැස්ස, උණ, පිපාසාව අරුචිය ලේ දොස් සහ ප්‍රමේහ නැතිකරයි.

නිම්බතෛලං තිඤ්විදුෂ්ණංතිත්තං කෘමි කථාපහම්

කුෂ්ඨං ව්‍රණ වොත පිත්තං පිත්ත චොශිංජවරං තථා

ශොථොදරං රක්තං රුජා කථං පිත්තජ්වරංඤජයෙත්

කොහොඹ තෙල් මදක් ඌෂ්ණයි. තිත්තයි. පණුවන් සෙම කුෂ්ඨ වණ වාත පිත්තය පිත අර්ශස්, උණ ඉදිමුම උදරරෝග ලේ රෝග සෙම සහ පිත් උණ නැති කරයි. කොහොඹ රසයෙන් තිත්ත හා කෂාය රසවේ. කෘමි රෝග නැති කරයි. බොහෝ ගම්බද පළාත්වල කොසඹ ගසක් තම ඉඩමේ පැළකරගැනීමේ සිරිතක් පැවතින. ඒ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකර ගැනීමේ විශ්වාසය නිසා ය. කොසඹ ගසේ පොත්ත දැඩි තිත්ත ගතියෙන් යුක්තය. කොසඹ මල් සුවඳවත්ය. ඒවා සුදු පැහැතිය. පෙති පහතින් සමන්විත කොසඹ මල් දැකුම්කළුය. වටිනා ඖෂධයක් වන කොසඹ ගසේ මුල්, පොතු මල් සහ ඇටයන පංචාංගයම විවිධ රෝග සඳහා දෙනු ලබන ප්‍රතිකාරවලට යොදා ගනිති.

කිහිරිය කොසඹ ද රසකිඳ වෙනිවැල් කසබිලියමුල් ද

පටොලය කොළ සමව රැගෙන විද ලෙද සිදිජය දුනෙද

දැවිලිය මුළු අග තද ලෙස කැසුමද දිය පිපාසය ද

සුවවෙය සැම කුෂ්ඨම ගත හැරලා සැප දෙමින් නොමද

 

කොසඹද දුම් මැල්ල අරළු රසකිඳ රත් හඳුන් හර ත්

ඇසළ ද බුළු නෙල්ලි මෙ ඔසු කිරා රැගෙන සම ලෙසට ත්

ජලය ද ගෙන අටිනෙක සිඳ පෙරා ගත්ත පැන දුනහොත්

සිරුරද සැම පැතිරී ඇති කුෂ්ඨය ගිය දුමදුටු බිගුසෙලට ත්

 

සියලු විෂට පානය කිරීමට හා තද ඉදිමුමට ආලේප කිරීමට දෙනු ලබන දිව්‍යාංගනාදී තෛලයටද ගනු ලබන ඖෂධ අතර කොහොඹ ද ප්‍රධාන වේ. කොහොඹ තෙල්, කපු කොළ, එරබදු පොතු මුරුංගා පොතු තැඹිලි පොල් කිරි තල තෙල් මී තෙල් දේවදාර, අඹ, වදකහ, පෙරුම්කායම්, කුඹුරු ඇට මද, පුස් ඇට මද, කොකුම් පොතු ආදී ඖෂධයන් ගනු ලබන අතර රෝගී තත්ත්වයන් අනුව තෙල් ලබාදෙයි. ළදරුවන්ගේ සියලු සෙම් රෝගවලට හිස ගැල්වීමට පපුමේ ගෑමට, කැස්සට ඇදුමට, කක්කල්කැස්සට ආදී රෝග සඳහා දෙනු ලබන බටුතෙලට කොහොඹ කොළ, කොහොඹ පොතු, එරබදු කොළ, හිඟුරු පට වැල්, එරබදු පොතු, දෙහි ඇඹුල්, තලතෙල් තැඹිලි, පොල් කිරි, කිතුල් හකුරු, කල්කයට සූදුරු, කළු දුරු, කරාබු නැටි, වසාවාසි, සාදික්කා, ගම්මිරිස්, සුදුලූනු, සීනක්කාරම්, අරළු, බුළු, නෙල්ලි, කොත්තමල්ලි, ඉඟුරු, අතිවිඩයන්, ඉඟුරු පියළි අනෙකුත් ගනු ලබන ඖෂධ වේ.

වාත කුෂ්ඨ ප්‍රමේහ විසර්ප ආදී රෝගයන්ට දෙනු ලබන ශාරිවාදී ක්වාථය කොහොඹ පොතු මහ ඉරමුසු තිරැස්සවාලු, මුද්දරප්පලම්, හීං ඉරමුසු, සෙනෙහෙකොළ, කටුකරෝසන ආඩතෝඩා, වියළි කහ, වෙනිවැල් හා නෙරෙංචි ඇට ද වේ. කොහොඹ යොදා ගන්නා මහා නිඹැචූර්ණය මෙම චූර්ණය සප්තවිධ කුෂ්ඨ රෝගයට වාතරක්තයට ආදී රෝග රැසකට දෙනු ලබති. සම පිරිසුදුවීමට කොහොඹ කොළ, අමුකහ, වෙනිවැල්ගැට තම්බාගත් ජලයෙන් ස්නානය කිරීම හෝ සේදීම ඉතාම ගුණදායකය. ධාන්‍ය වර්ග ගබඩා කරන විට ඒ මත කොහොඹ කොළ අතුරා දැමීමෙන් ගුල්ලන් හා කෘමීන්ගෙන් ආරක්ෂා කර ගත හැකි ය. බෝ වන රෝගයක් ඇති වූ විට නිවෙස්වල කොහොඹ කොළ එල්ලීමත් සිරිතක් වේ.

 

මොණරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන

එස්.එස්. එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.