හිස කෙස් වඩන අගනා ඔසුව කීකිරිඳීය

සැප්තැම්බර් 10, 2021

හිස කෙස් යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රූප අලංකාරය සඳහා අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයකි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූප සම්පත්තිය සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු පංච කළ්‍යාණයෙන් එකක් ලෙස කේෂ කළ්‍යාණය හැඳීන්විය හැකිය.

 

වර්තමානයේ පැහැදිලිව පෙනී යන කාරණයක් නම් කෙස් ආශ්‍රිත රෝග බහුල ලෙස වැඩි වී ඇති බවකි. අප ගන්නා ආහාර වල යම් යම් දෝෂ තත්වයන් හිස ගල්වන ආලේප සහ ෂැම්පු වර්ග ආදියේ ආසාදන තත්වයන් ආදිය මෙන්ම පීනස ආදී රෝග සහ තවත් හේතු රැසක් නිසා අකලට කෙස් පැසීම, හිසකෙස්ද බහුල ලෙස ගැලවී යෑම, තට්ටය පෑදීම ආදී තත්වයන් බොහෝ අයට දක්නට ලැබෙයි.

මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම රැසක් ආයුර්වේදයේ දක්නට ලැබෙන අතර ඒ සඳහා ගනු ලබන ඖෂධයන් සඳහා යොදන ප්‍රධාන ඔසුවක් ලෙස කීකිරුඳීය හැඳීන්විය හැක.

ඉන්දියාවේ සහ ලංකාවේ තෙත් වන භූමි, කුඹුරු නියරවල් සහ වැව් ආශ්‍රිතව මෙන්ම ජලය බැස යන කාණු ඇළවල් ආශ්‍රිතව ද කීකිරිඳීය පැළෑටිය හොඳීන් වැවෙයි. සෘජු හෝ වැතිරී යන පැළෑටියක් වන මෙහි ඇති ගැට වන් ස්ථාන වලින් මුල් හටගනු ලබයි.

සරල පත්‍ර වලින් යුක්ත අතර ශාකා රාශියකට බෙඳුණු පැළෑටියකි. එසේම මල් රාශියක් හට ගන්නා අතර මල් හට ගැනීම ජනවාරි - මැයි අතර හෝ නොවැම්බර් මාසයේදී සිදු වේ.

ඖෂධ සඳහා ගැනීමේදී සම්පූර්ණ පැළෑටියම යොදා ගනු ලබයි. කීකිරිඳීය ශාකය විවිධ භාෂා වලින් හැඳීන්වීමේදී විශේෂයෙන් සංස්කෘතික භාෂාවෙන් නාමයන් රාශියක් වෙයි. විශේෂයෙන් මී මැස්සා හඳුන්වන නාම බොහෝ විට කීකිරිඳීය සඳහා යොදයි. කේශ කලාපය මී මැස්සන් සමූහයක ස්වරූපයෙන් බබලන නිසා භෘංගරාජ නමින් හඳුන්වන අතර, වැසි වළාකුලක ස්වරූපයෙන් කෙස් කළඹ බබුලුවා ලන හෙයින් හේකරාජ යයිද, කෙස් බබලන හෙයින් කේශරාජ යනුවෙන්ද, කෙස්වල කළු පැහැය ඇති කරන නිසා අංශාරක නමින්ද, කෙස්වල සුදු පාට දුරු කරන නිසා මාර්කව නමින්ද හඳුන්වයි. මෙයට අමතරව කේශ රංජන, මහා නීල, මාකරා කේශය, බි්‍රංගා, අජා ගාර ආදී නම්ද සංස්කෘත භාෂාවෙන් කීකිරිඳීය සඳහා යොදයි. හි

හින්දි බසින් භෘංශර හා භෘංගරෙයා ආදී නම් කීකිරිඳීය සඳහා යෙදෙන අතර දෙමළ බසින් කයිකේශී, කාරිප්පන්, ගරුගා ආදී නම් යෙදෛන අතර වංග බසින් හිමරාජ, කෙසූරියා ආදී නාම යොදයි. එසේම තෙලිගු බසින් ගලිගරා යන නම යෙදේ. කීකිරිඳීය වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඡ්ජතඪනබච චතඡච ඩචඵඵඬ ජධථනධඵඪබචජ හෙවත් භෘංගරාජ කුලයයි.

මෙසේ විවිද නාමයන්ගෙන් හඳුන්වනු ලබන කීකිරිඳීය වල ප්‍රභේද දෙකක් වෙයි. සුදු මල් කීකිරිඳීය හා කහමල් කීකිරිඳීය එම ප්‍රභේද දෙකයි. මෙය මලින් ප්‍රභේද කලද ගුණයෙන් වෙනසක් නැත. කීකිරිඳීය වල රසායනික උපාදාන සැලකීමේදී දුම්මල අධික ප්‍රමාණයක් ඇති අතර ඡ්තතනබඪදඥ නම් උප කෂාරයත් ද ඇත.

මෙහි ගුණ කර්ම සැලකීමේදී,

රසයෙන් කටුක හා තිත්ත රස වන අතර ගුණයෙන් ලඝු හා රුක්ෂ ද උෂ්ණ වීර්ය හා කටුක විපාකද යුත්තයි. මෙනිසා සෙම් හා වාතය සමනය කරයි. මෙනිසා සෙම් හා වාත රෝග වලදී යොදයි.

ව්‍යුහාශක ක්‍රියා සැලකීමේදී

බාහිර වශයෙන් - ඉදිමුම් නසන වේදනා සමනය කරන ව්‍රණ ශෝධන හා ව්‍රණ රෝපණ ගුණ ඇති නිසා ග්‍රන්ථි වැනි රෝගාබාධ වලදී ආලේප ලෙසද, තුවාල සහ ව්‍රණ වලදී ආලේප ලෙසද යොදනු ලබයි.

එසේම වර්ගීකරණ ගුණ මෙහි ඇති නිසා සමේ පැහැය යහපත් කරයි. එසේම ඇසට හිත ගුණ ඇති නිසා ඇස් රෝග වලදී කීකිරිඳීය යුෂ තෙපුල් දීම කරයි. කන් කැක්කුමේදී මෙම යුෂය කනට දැමීමද හිසරදයේදී මෙම යුෂය හිසේ ගෑමද ඉරුවාරදයේදී කීකිරිඳීය යුෂ එළකිරි සමග නස්‍ය කිරීමද කරනු ලබයි. මේ සියල්ලටම වඩා මෙහි කේශ වර්ධනයට හා කේශ රංජන ගුණ ඇති අතර අකලට කෙස් වැටීමේදී මෙම යුෂය හිසකෙස්වල ආලේප කරනු ලබයි.

අභ්‍යන්තර ලෙස -

නාඩි ව්‍යුහාවේදී - වාත නශන හා වේදනා සමනය කරන ගුණ ඇති නිසා ශිර්ෂශූල හා භ්‍රම ආදියට ගුණදායකය.

ඇස් වලට - මෙහි පෙනීම දියුණු කිරීමේ ගුණඇති නිසා පෙනීමේ දුබලතාවයන්ට හා නක්තාන්ධ්‍යතාව (දඪඨඩබ ඡතඪදඤදඥඵඵ) සඳහා ප්‍රයෝග කරනු ලබයි.

ආහාර ජීර්ණ පද්ධතියේදී

කීකිරිඳීය දීපන පාචන හා අක්මා උත්තේජන ක්‍රියා ඇති කරන නිසා බඩගිනි අඩුකම, අජීර්ණ, අක්මා ප්‍රදාහ, පිලාව ඉදිමීම, කාමලා අර්ශස් ආදියට ඉතා ගුණදායක වේ. එසේම උදර ශුලයට ද හිතකරය. තවද උදරගත ක්‍රිම් නශන ගුණ ඇති නිසා එරඩු තෙල් සමග මෙය යෙදීමෙන් උදරගත ක්‍රිමින් ඇද වැටෙයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

රක්ත ප්‍රසාදක හා රක්ත වර්ධක ගුණ ඇති නිසා විවිධ රක්ත දෝෂ, පාණ්ඩු, ශෝථ ආදියේදී යොදනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේදී

කටුක හා තිත්ත රස නිසා සෙම නසන බැවින් කාස, ශ්වාස දෙකේදී යොදනු ලබයි.

මුත්‍ර ව්‍යුහාවේදී

මුත්‍ර දාහයට යොදනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවේදී -

කීකිරිඳීය ඇට වල වාජීකරණ ගුණ ඇති නිසා කාම ශක්තිය වඩනු ලබයි. එසේම බල වර්ධක හා රසායන ගුණ ඇති නිසා සාමාන්‍ය දුබලතාවයන්හිදී විශිෂ්ඨ ගුණ දායකය. එසේම චර්මා බාධ නසන ගුණ ඇති නිසා කුෂ්ඨ කිලාස ශීත පිත්ත හා ක්ෂුද්‍ර රෝග ආදියේදී යොදනු ලබයි.

 

එසේම කීකිරිඳීය සහිත ඖෂධීය ප්‍රයෝග යොදන අවස්ථා සැලකීමේදී

කඵජ කසායට - කීකිරිඳීය හා බට දළු යුෂ මී පැණි සමග යෙදීම ගුණදායකය.

අකාල පලිතය හෙවත් අකලය කෙස් වැටීමට - එළුකිරි, කීකිරිඳීය යුෂ හා වැල් මී හා තලතෙල් යොදා කල තෙල නස්න කිරීම

අම්ල පිත්තයෙන් හටගත් වමනයට - අරළු, කීකිරිඳීය චූර්ණය උක්සකුරු සමග කෑමට දීම

රාත්‍රියට ඇස් නොපෙනීමට - මාළු, බිත්තර සමග කීකිරිඳීය යුෂ දමා පිස සතියක් කෑමට දීම

ගබ්සා වීම වැලැක්වීමට - එළුකිරි හා කීකිරිඳීය යුෂ සමව ගෙන බීම

දෙබර විෂට - වඳකහ, කීකිරිඳීය හා රසකිඳ වෙන වෙනම කොටා මිරිකා ගත් යුෂ බීමට දීම ගුණදායකය.

මෙවන් ඖෂධ ප්‍රයෝග රාශියක් කීකිරිඳීය සහිතව විවිධ රෝග සඳහා යොදන බව නොයෙක් වෛද්‍ය ග්‍රන්ථ පුස්කොළ පොත් හා වෛද්‍ය පරම්පරා ඇසුරෙන් හමුවෙයි.

මෙයට අමතරව කීකිරිඳීය යෙදූ සංස්කාරික ඖෂධ ද රාශියක් වේ. ඒවා අතුරින්

භෘංගා මලක තෛලය

හිසකෙස්වල නිරෝගී බව රැකදෙන ඉතා ගුණදායක තෙලකි. හිසකෙස් යෑම, අකලට කෙස් පැසීම, ඇස්වල ඇඳීරිය හා කන් ඇසීමේ දුබල බවටද මේ තෙල ඉතා ගුණදායකය.

භෘංගරාජ චූර්ණය - අම්ල පිත්තයෙන් උපන් වමනයට යොදයි.

භෘංගරාජාදි චූර්ණය - රසායනික ගුණ බලාපොරොත්තුවෙන් යොදනු ලබයි.

මේවාට අමතරව භෘංගරාජ තෛලය, භෘංගරාජ ඝෘතය, භෘංගරාජ චූර්ණය, නවපටල චූර්ණය, කුමාරි පත්ම තෛලය, ෂඩ් බිංදු තෛලය, නවපටල ගුලිය ආදී සංස්කාරික ඔසු වලද කීකිරිඳීය ප්‍රධාන සංඝටකයකි.

මෙසේ විශේෂ ගුණ රාශියකින් යුත් බහුල වශයෙන් සෑම තැනකම පාහේ දක්නට ලැබෙන පැළෑටියක් වන කීකිරිඳීය ආහාරමය වශයෙන්ද යොදා ගනු ලබයි. විශේෂයෙන් කීකිරිඳීය හා මොණරකුඩුම්බිය කොළ ගෙන සකස් කල කොළ කැඳ අක්මාවේ සහ පිලාවේ රෝග වලදී හොඳ ඔසුවක් වන අතර අධික ලෙස මත්පැන් පානය හා මිරිස් අධිකව භාවිතයෙන් ඇතිවන රෝගයන් සඳහා ගුණදායකය. එසේම මේවායේ කොළ එළවළුවක් ලෙස ආහාරයට ගැනීමද අර්ශස් රෝගීන්ට ඉතා ගුණදායකය.

මෙවන් ගුණ රාශියක් යුතු ඉතා වටිනා ඔසුවක් වන කීකිරිඳීය බහුල වශයෙන් ප්‍රයෝජනයට ගතහොත් අද සමාජයේ බහුල වශයෙන් පවත්නා හිසකෙස් සම්බන්ධ රෝග රාශියක් ඇතුළු තවත් රාශියක සුවය පහසුවෙන් ලගා කරගත හැකිවනු ඇත.

 

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.