ආයුර්වේදය හා බුදුදහම

මැයි 21, 2021

සකල ජනමන සනසන ජන ජීවිතයේ පැවැත්ම ටික කලකට තහවුරු කරන සම්බුදුදහම හා ආයුර්වේදය සත්වයාට සොබාදහමින් දෙන ලද උත්තම පරිත්‍යාග දෙක බව ඓතිහාසික සාධකවලින් ප්‍රත්‍යක්ෂ වී ඇත. එම ශ්‍රේෂ්ඨතම ධර්මයත් ආයුර්වේදයත් සත්ව සන්තතියේ පැවැත්මට අදාළව කළ හා කරන මහඟු උපකාරය වෙනත් කිසිම විෂයකින් සිදු වී නොමැත.

 

මෙම විෂයධාරා දෙක සම්බන්ධයෙන් බිහි වූ අතිශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයන් පෙරදිග ලෝකයේ විවිධ රටවල ඒ ඒ දේශයට සරිලන පරිදි බිහි වී ඇත. රහතන්වහන්සේලා, මුනිවරුන්, ඉසිවරුන්, තවුසන්, යෝගීවරුන් හා වෛද්‍ය විශේෂඥයන් තමන්ගේ විශාරද ඥානයෙන් ලියන ලද ලිපි ලේඛන, ශබ්ද කෝෂ නිඝණ්ඩු, ගද්‍ය, පද්‍ය, නාට්‍ය, ගීත, වියරණ පෙර අපරදෙදිග භාෂා මාධ්‍යවලින් ලක්ෂ ගණනින් ප්‍රචලිතව දක්නට පුළුවන.

බුද්ධාගම හා ආයුර්වේදය එකම පරිසරයක එකම සමයක පෝෂණය වී සත්වයාගේ කායික මානසික වේදනා සමනය කිරීමට මහෝපකාරී විය.

භාරතයේ ගංගාධාර ශිෂ්ටාචාර ඉතිහාසයට වසර හත්දාහක පමණ කාලපරිච්ඡේදයක් හිමිවන බව ආයුර්වේද ඉතිහාසයෙන් පැහැදිලි වන්නේය. සත්වයෙකුගේ ආයු කාලය දන්නා ශාස්ත්‍රය ආයුර්වේදයයි. මෙම විෂය ශාස්ත්‍රයක් වශයෙන් ද, විද්‍යාවක් වශයෙන් ද දර්ශනයක් වශයෙන් ද සලකන්නට හේතු සාධක ඇත.

සත්වයාගේ ජීවිත පැවැත්මට අදාළ හිත අහිත ආහාරපාන, වෙදහෙදකම්, ලෙඩරෝග, ශාරීරික මානසික වේදනා හඳුනාගෙන යෝග්‍ය ප්‍රතිකාර දැනගැනීම ආයුර්වේදයයි. පුරාණ භාරත දේශයෙන් හටගත් සෑම විෂයක්ම බ්‍රහ්මයාගෙන් මනුලොවට දුන් දායාද වශයෙන් සැලකූ අතර, ආයුර්වේදය ද මහා බ්‍රහ්මයා ශ්ලෝක ලක්ෂයකින් සංහිතා වශයෙන් මනුලොවට ප්‍රදානය කරන ලදී.

ලෝකයේ පුරාණ ශිෂ්ටාචාරයන් අතර ඉතා ප්‍රසන්න, ප්‍රකට භාරත ශිෂ්ටාචාරය ක්‍රම ක්‍රමයෙන් ප්‍රගතිය කරා ගමන් කිරීමට වේදය මූලාධාරවූ වග ඉතා පැහැදිලිය.

මහා බ්‍රහ්මයා, සෘග්, යජුර්, සාමන්, අථර්වන් යන චතුර්වේදය මෙන්ම පංචම වේදයක් ලෙස ආයුර්වේදය ද රචනා කළ බව බ්‍රහ්ම වෛවර්ත පුරාණ ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ ය.

දේව සංකල්පය ජනතා සිත් සතන් තුළ තහවුරු වීමට හිමාල වනය සෑම අංශයෙන්ම මූලාධාර වූ අතර, භාරද්වාජ ආදී ඉසිවරුන් හිමාල වනයට රැස්ව සත්වයන්ගේ රෝදුක් වේදනා නිසා කම්පාවට පත්ව දැන් අපි මෙම සත්වයන්ගේ වේදනාවලට කුමක් කරමු දැයි සාකච්ඡා කොට ඉන්ද්‍ර දෙවියා සරණගොස් ඔහුගෙන් මෙයට පිළියම් අසා දැන ගනිමු යයි මෙම සම්මේලනයෙන් සම්මත වූ අතර, භාරද්වාජ ඉසිවරයා ඉන්ද්‍ර දෙවියා වෙත ගොස් ආයුර්වේදය ඉගෙන ගත්තේ ය. පසුව ඔහුගෙන් පසු ආත්‍රෝය ආදී ඉසිවරයෝ ද සංහිතා මඟින් මෙය දියුණු කළහ.

ලෝක සම්මුතීන් සියල්ලටම වඩා ආයුර්වේද සම්මුතිය ඉතා විශිෂ්ට ය. මානව ජීවය පමණක් නොව තිරිසන් ගත සත්වයන්ගේ ජීවිත ද, ගස්වැල් ආදී පරිසරය සුරකින ආයුර්වේදය මිහිකත මත ඇති අසිරිමත් විෂයකි. ශාරීරික විද්‍යාව, මනෝවිද්‍යාව, උද්භිද විද්‍යාව, මනෝ විඥාන ද්‍රව්‍ය විඥානය, යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ආදී වශයෙන් සත්වයා පිළිබඳව ඇති සියලුම ක්‍රියා කාරක ආයුර්වේදයට සංයුක්ත වන්නේ ය.

භාරත දේශයේ මෙන්ම බුදුදහම ප්‍රචලිත වූ සෑම රටකම ආයුර්වේද සේවාව ද දියුණු කරන්නට එම රටවල රාජ්‍ය නායකයන් මෙන්ම පැවිදි පඬිවරු ද ප්‍රමුඛව ක්‍රියා කළහ. ආයුර්වේදයේ පරමාර්ථය සත්වයා රෝග පීඩාවෙන් වළක්වා සුවපත් කිරීම වන අතර, සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුක්වලින් වළක්වා සදාකාලික සැනසීමක් ලබාදීම බුදුදහමේ පරමාර්ථයයි.

සංසාරික වශයෙන් කළ පව් පින් අනුව සත්වයාගේ දුක සැප විඳීම අනිවාර්ය වන්නේ ය. එහෙත් සත්වයාගේ ජීවන පැවැත්ම වෙනස් කළ හැකි බව ආයුර්වේදයෙන් මෙන්ම බුදු දහමෙන් ද දැනගත හැක.

අප බුදුරජාණන් වහන්සේ පවා ආයුර්වේදයෙන් ප්‍රතිකාර ලබාගත් අයුරු බුද්ධ චරිතයෙන් ප්‍රකට වන්නේ ය. බුද්ධ කාලීනව භාරතයේ පැවැති ආයුර්වේදයත් බුද්ධාගමත් සමාන්තරව දියුණු වී ජනතාව සෑම අංශයෙන් සුඛිත මුදිත වූ අයුරු ත්‍රිපිටක සාහිත්‍යයෙන් දක්නට පුළුවන.

මෞර්ය ගුප්ත යුගවල පැවැති ආරෝග්‍යශාලා සේවය දේශීය හා විදේශීය ජනතාවට ලබාදුන් ආකාරය මෙගස්තිනීගේ වාර්තාවේ සඳහන් වන්නේය.

භාරතයේ ජනතා සුබ සාධනය සඳහා කැප වූ අතිශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයාණන් වූ ධර්මාශෝක රජතුමා ථෙරවාද බුදු දහම ප්‍රචාරය කරවන්නට යෙදුන දේශ දේශාන්තරවල ආයුර්වේද වෛද්‍ය පහසුකම් ද වර්ධනය කරවූහ.

කණිෂික, චන්ද්‍ර ගුප්ත ආදී රාජ්‍ය සමයන්හි මහායාන බුදු දහම මෙන්ම ආයුර්වේදය ද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දියුණු කොට එයින් ජනතා සුබසාධනය උපරිම වශයෙන් ඉෂ්ට සිද්ධ කළ අයුරු චීන හා අරාබි සංචාරකයන්ගේ දේශාටන වාර්තාවල සඳහන් වී ඇත. ආයුර්වේද ආරෝග්‍ය ශාලා සේවය, ඖෂධ උයන්වතු රෝපණය, ලෙඩ්ඩුන්ට පථ්‍ය ආහාර පාන සැපයීම, ග්‍රන්ථකරණය, ආදී වශයෙන් දක්වන ලද සේවාවන් සිදු කළේ බුදුදහමේ හා ආයුර්වේදයේ පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධතා ධර්මය නිසාය.

ශ්‍රී ලංකාවේ ථේරවාද බුද්ධාගම ප්‍රචාරය කිරීමට සමගාමීව ජනතාවගේ ආරෝග්‍ය සම්පත්තිය ආරක්ෂා පෝෂණය සඳහා ද රජ දරුවන් උනන්දු වූයේ භාරත දේශය ආලෝකමත් කළ අශෝක රජතුමාගේ රාජ්‍ය ප්‍රතිපත්තීන් ආදර්ශයට ගනිමිනි.

අනුරාධපුර රාජධානිය පිහිට වූ පණ්ඩුකාභය රජතුමා ජනතාවගේ සනීපාරක්ෂාව සඳහා තිඹිරිගෙයක් හා ගිලන්හලක් කරවූ වග මහා වංශයේ දැක්වෙන්නේය. දුටුගැමුණු රජතුමා, ලජ්ජිතිස්ස, වසභ ආදී රජවරු ද ජනතාවගේ සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය සෑම දෙයක්ම ඉෂ්ට සිද්ධ කළහ. ආයුර්වේද වෛද්‍ය සේවාව උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන ක්‍රියා කළ රජවරුන් අතර බුද්ධදාස රජතුමා පිළිබඳව සඳහන් වන්නේ ආශ්චර්ය ජනක ප්‍රතිකර්ම කළ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙනි. මෙම රජතුමා තිරිසන් සතුන්ට පවා වෙද හෙදකම් කොට සිංහල රාජ වංශයට අමරණීය නාමයක් තැබූහ. ශාරීරික ශල්‍ය කර්ම මෙන්ම මානසික රෝගවලට ද ප්‍රතිකර්ම කිරීමෙන් විවිධ පුද්ගලයන්ට හා තිරිසන් සතුන්ට ද ජීවය ලබා දුන් බුද්ධදාස රජතුමාගේ ශ්‍රී නාමය මහාවංශයේ සටහන් වී ඇත.

අනුරාධපුර රාජධානියේ පටන් සෑම රාජධානියකම ආරෝග්‍යශාලා සේවය පැවති වග නටබුන්වලින් ප්‍රත්‍යක්ෂ වන්නේය. ආරෝග්‍ය ශාලා සේවය, ඖෂධ උද්‍යාන රෝපණය, ලෙඩුන්ට ආහාර පාන සැපයීම ආදී සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බව හෙළ රජ දරුවන් අවබෝධයෙන් ක්‍රියා කළ වග ඉතිහාස සාධකවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

විශේෂයෙන් බෞද්ධ දර්ශනය මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ද සිංහල අලුත් අවුරුදු කාලය තුළ ජනතා ජීවනයට ලබාදෙන ශක්තිය හා භාග්‍ය අපමණය. ලාංකික ජනතාවගේ පොදු හැඟීම් ක්‍රියාත්මක වන්නේ බුද්ධාගම, ආයුර්වේදය හා නක්ෂත්‍ර විද්‍යාව මාධ්‍ය කරගෙනය. නක්ෂත්‍ර විද්‍යාවෙන් කාලය පාලනය වන අතර, බුදුදහමින් උතුම් චාරිත්‍ර හා මානසික වින්දනය ද ආයුර්වේදයෙන් පරිසර සම්බන්ධය ද ඇති කෙරෙන්නේය. එමෙන්ම කාලයේ වටිනාකම, සිරිත් විරිත්වල උසස් ප්‍රතිඵලය, දිගාසිරි වින්දනය යන ප්‍රතිඵල ලැබෙන්නේ මෙම විෂයන් ඉතා ශ්‍රද්ධා භක්තියෙන් අවංකව පරිශීලනය කරන බැවිනි.

අමුණුපුර පියරතන නා හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.