අම්මාවරුන්ගේ අසනීපයක් ලෙස සැලකෙන කම්මුල්ගාය

අප්‍රේල් 23, 2021

කම්මුල්ගාය, අඩප්පරය, ඇකන්සාව හා කර්ණමුලක ස්වරය යන නම්වලින් හඳුන්වනු ලබන රෝගයක් වන කම්මුල්ගාය බෝවෙන රෝගයකි. ග්‍රාමීය පෙදෙස්වල මෙම රෝගය වැලඳුණු විට එම දරුවන්ට දෙහි ඇඹුලින් නිල්දියකර නැතහොත් අලිහක්ක වතුරෙන් ගලගා කම්මුලේ ආලේපකර කොත්තමල්ලි,පත්පාඩගම් තම්බාදීමෙන් සුවය ලබාදේ.

 

එහෙත් ප්‍රවේසම් නොවුවහොත් එය භයානක තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇත. ඇහැරකන්සාව නමින් ද සමහර ප්‍රදේශවල හඳුන්වන මෙම රෝගීතත්ත්වය දෙයියන්ගෙ ලෙඩක් ලෙස හඳුන්වමින් ඒ පිළිබඳ වත්පිළිවෙත් කිරීමට උනන්දු වෙති. වඩාත්ම කම්මුල්ගාය නොහොත් අඩප්පරය වැලඳෙන්නේ අවුරුදු පහත් පහළොවක් අතර දරුවන්ටය. එහෙත් යොවුන් වයස් අයට අඩප්පරය හැදේ . මෙය ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට වැලඳීමේ තත්ත්වයක් පවතී. එක්වරක් වැලඳුණු අයට නැවත වරක් සෑදෙන්නේ කලාතුරකිනි. එයට හේතුවන්නේ මෙම රෝගය ප්‍රතිශක්තිකාරක අසනීපයක් වන බැවිනි.

අඩප්පරය කෙනෙකුගෙන් කෙනෙකුට බෝවන්නේ ස්පර්ෂයෙන් හා පැපොල, සරම්ප වැනි රෝග බෝවෙන ආකාරයටය. එමෙන්ම කම්මුල්ගාය වැලඳුණු රෝගියකු හුස්ම හෙළන විට පරිසරයට එම විෂබීජය මුදාහැරේ. නීරෝගි පුද්ගලයකු හුස්මගන්නා විට විෂබීජ ශරීරගතවීමෙන් වැලඳේ. ආයුර්වේදයෙහි දැක්වෙන පරිදි වා, පිත්, සෙම් කෝපයෙන් හටගන්නා ජ්වරයක් ලෙස විස්තර කෙරේ. විෂාණුවේ හේතුවෙන් තිදොස් කිපීමෙන් උණසහිතව කම්මුල්ගාය හටගනී. දෝෂ කෝපයට සහ උණ ඇතිවීමට හේතු වී ඇත්තේ කම්මුල්ගාය ඇති කරන විෂබීජයයි. රෝගියා කිවිසන විට තදින් ප්‍රාශ්වාස කරන විට සහ කසින විට සොටු බිඳිති සමඟ විෂබීජය විසිරී යයි. එම විෂබීජය නිරෝගි අයට ගෑවීමෙන් රෝගය වැලඳේ. මෙම විෂබීජය ශරීරගතවීමෙන් එක්වරම රෝගය මතුවන්නේ නැත. අඩප්පරය වැලඳෙන්නේ රෝග බීජය ශරීරගතවී දින දොළහක් විසිඅටක් අතර කාලයේදීය. වැඩි වුණොත් මේ සඳහා දින දහඅටක් ගතවේ.

රෝගය පවතින කාලසීමාව ලෙස දින හතක් දහයක් ලෙස හෝ තවත් දින කීපයක් තිබිය හැක. එහෙත් දෙසතියක් ගිය කල කම්මුල්ගාය සුවවේ. කම්මුල්ගාය ඇතිවූ විට මුලින්ම දැනෙන්නේ හක්කේ වේදනාවයි. යම්කිසි දෙයක් විකණවිට පළමුව වේදනාවක් දැනේ. එය ආරම්භයේදී ඇතිවන්නේ හක්කේ පමණකි. සමහර දෙනාට මුල්දිනවල උණ ගතියක් ද ඇතිවේ. ඒත් තවත් සමහරුන්ට උණ ඇතිවන්නේ නැත. උණ ඇතිව හෝ නැතිව හෝ හක්කේ ඉදිමුම හා තඩිස්සිගතියක් ඇතිවේ. තවත් සමහරුන්ට තල්ල ඉදිමීම හා වේදනාව ඇතිවේ. සමහරුන්ට එක් කම්මුල්ක නොව දෙකම තඩිස්සි වී අඩප්පරය ඇතිවේ. මෙම රෝගයේදී ඛේට ග්‍රන්ථින් ඉදිමීමට පළමුව හනු සන්ධියේ වේදනාවක් ඇතිවේ. ඒ සමඟ වේදනාව සමඟ ඒ පැත්තේ කන්පෙත්ත මදක් උස්වී යයි. පසුව කම්මුලේ තඩිස්සි ගතිය මතුවේ. රෝගී අවස්ථාවේදී එනම් කම්මුලේ ඉදිමුම බැසයන තෙක් රෝගියා අන් අයගෙන් වෙන්කර තැබිය යුතුය. ආහාර වශයෙන් දිය යුතු වන්නේ පහසුවෙන් කෑමට හැකි දේවල් පමණකි.

නිතරම මුඛය පිරිසුදුව තබාගත යුතුය. මුඛ සෝදන ද්‍රවයක් මඟින් මුඛය සේදීම කළහොත් සුවදායකත්වයක් ඇතිවේ. ගෙල ප්‍රදේශය සුළඟින් ආරක්ෂා කර ගැනීම සඳහා තුවායකින් හෝ බෙල්ල ආවරණය කර ගත යුතුය. කෙසේ වෙතත් කම්මුල්ගාය නිසා ඇතිවන වෙන රෝගාබාධ රැසකි. කම්මුල්ගාය සුවවීමෙන් පසුව ඇතිවන රෝගාබාධ සමහරක් තාවකාලික තත්ත්වයෙන් පවතී. අණ්ඩකෝෂ ප්‍රදාහයක් සහ මුත්‍රාදාහයන් තත්වයෙන් පුරුෂ පක්ෂයේ අය පෙළෙන අතර කාන්තාවන් ඩිම්බාධාර ප්‍රදාහයෙන් පෙළේ . යටිබඩ ප්‍රදේශයේ යම් යම් අපහසුතාවයන්ද ඇතිවේ. ආසන මත ඉඳගෙන නැගිටිනවිට උකුල් ප්‍රදේශ තද වේදනාවක් ද ඇතිවේ. එම වේදනාව කොදුඇටපෙළ දක්වාද විහිදී යයි. කම්මුල්ගාය වැළඳීමෙන් සමහරුන්ට මොළය හා ඒ ආශි‍්‍රත පටක ආසාදනය වීමෙන් මොළේ උණ හෙවත් ජැපනීස් එන්සෙපලයිටිස් ඇතිවිය හැකිය. තවත් රෝගී වූ කොටසකට අග්න්‍යාශය ආසාදනය විය හැකියි. අග්න්‍යාසය ආසාදනය වූ විට ඉතා දරුණු බඩේ වේදනාවක් සහ තද වමනයක් ඇතිවිය හැකිය. එමෙන්ම සමහර රෝගීන්ගේ ශරීරාංග පණ නැතිවේ. වලිප්පුව ස්නායු ක්‍රියා නොකිරීම ආදි භයානක තත්ත්වයන් ද ඇතිවිය හැකිය.

මොනයම් රෝගයක් වුව ද මුලින්ම කරන ප්‍රතිකාර අතර රෝගියාට විවෙකීව සිටීමට ඉඩ සළසා දිය යුතුය. උණ තිබේ නම් පුරුදු ආහාරවේල නවතා සැහැල්ලු ආහාර දිය යුතුයි. උගුර, කට සේදීමට ලුණු මිශ්‍ර වතුර ලබාදීම වඩාත්ම සුදුසුය. මළබද්දය තිබේනම් සාමාන්‍ය ඖෂධයකින් හෝ පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීමෙන් එය මඟහරවා ගත හැකිය. ළමයින්ට වැළදෙන රෝග අතරින් කම්මුල්ගාය ගැන සැළකිලිමත් විය යුතුය. ළමා වියේ කවර අවස්ථාවක වුවද කම්මුල්ගාය වැළදිය හැකියි. එම නිසා විද්‍යාවේ දියුණුව සමඟ බටහිර වෛද්‍ය ක්‍රමයේ මෙවැනි බෝවන රෝග සඳහා එන්නත් කිරීම සිදුකෙරෙනවා. එබැවින් ළමා පරපුරේ ආරක්ෂාව සඳහා රෝගවලින් ආරක්ෂා වීම සඳහා ප්‍රතිශක්තිකරන වැඩසටහනක් මෙන්ම එන්නත් ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා. සමහර දෙමාපියන් කම්මුල්ගාය වැලඳුණු දරුවන් සිටින විට එය දෙවියන්ගේ ලෙඩක් හැටියට සලකා භාරහාරවීමටත් කටයුතු කරනවා. ඒ කෙසේ වෙතත් කම්මුල්ගාය රෝගී තත්වයක් පවතින්නේ නම් වෛද්‍යවරයකුට පෙන්නා උපදෙස් ලබාගැනීම රෝග සුවයට හා අතුරු ආබාධ ඇතිනොවීමට හේතුවක් වේ.

 

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුර

 

සටහන

බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.