යුග දිවියට ආයුර්වේද උපදෙස්

මාර්තු 26, 2021

ආයුර්වේදය යනු නිරෝගිමත්ව දිගු කලක් ජීවත් වීමට උගන්වන ශාස්ත්‍රයකි. සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙන්ම සාර්ථක යුගදිවියක් ගත කිරීමටද උපදෙස් ආයුර්වේදයේ දක්වා ඇත. ඉපදීම වැඩිවියට පැමිණීම ඉගෙනීම විවාහයට සුදුසු වයස විවාහයට සුදුසු සහකාරිය සහකරු තෝරා ගැනීම, එක් එක් පුරුෂ ලක්ෂණ විවාහයට සුදුසු ස්ත්‍රියගේ ලක්ෂණ ගති පැවැතුම් දේහ ලක්ෂණ පැහැදිලිව ආයුර්වේදයේ දක්වා ඇත. එසේම නිරෝගී බව ලැබීමට සුදුසු ආහාර පාන ඖෂධ ආයුර්වේදයේ සඳහන් කර ඇත.

යුග දිවිය

ස්ත්‍රියක් හා පුරුෂයකු විවාහ වූ පසුව ගෙවන දිවිය යුග දිවියයි. යෞවන වයසේ පසුවන ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අන්‍යොන්‍ය බැඳීම තුළින් අලුත් දිවියකට පා තැබීම යුග ජීවිතයයි. මෙම බැඳීම් සාර්ථකත්වය කරුණු කීපයක් මත රඳා පවතී.

යුග දිවියේ පැවැත්ම රඳා පවත්නා කාරණා

යුවතිපති නිරෝගී බව, මානසික බැඳීම, කායික බැඳීම

 

නීරෝගී බව ලැබීමට

ආයුර්වේදයේ ඉගැන්වීම්වලට අනුව නිරෝගී පුද්ගලයකු ලෙස අර්ථ දක්වා ඇත්තේ ශරීරයේ පවත්නා දෝෂත්‍රය සප්ත ධාතූන් හා අග්නිය සම තත්ත්වයේ තිබිය යුතු අතර එකී පුද්ගලයාගේ ආත්මය ඉන්ද්‍රීන් හා මනස නිවැරදිව පැවතිම තුළින් නිරෝගී පුද්ගලයකු බිහිවන බවයි.

යුගදිවියට පත් යුවතිපතින්ගේ ප්‍රධාන අපේක්ෂාව නිරෝගී දරු සම්පත් මෙලොවට දායාද කිරීමයි. නිරෝගි දරුවෙකු බිහිකිරීමට එම මව සහ පියා නිරෝගි විය යුතු ය.

ආයුර්වේද ඉගැන්වීම්වලට අනුව ගැබ් ගැනීමට පෙර සිටම ස්ත්‍රියක විසින් පිළිපැදිය යුතු උපචාර විධි දක්වා ඇත.ඒ අතර ආහාර විහරණ ප්‍රධාන තැනක් ගනී. ප්‍රධාන වශයෙන් ගත් කල ආහාර ස්නිග්ධ ශීත වීර්යය ගුණ ඇති ආහාර විය යුතු අර උෂ්ණ ගුණ ඇති ආහාර හා තීක්ෂණ ආහාරවලින් වැළකී සිටිය යුතු ය.

 

කායික බැඳීම

යුග දිවිය ප්‍රධානවම බැඳී පවතින්නේ කායික බැඳීමය. මෙය ලෞකික වූ ඉහළම සැපතයි. මෙම සැපත ළඟාකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා වත්පිළිවෙත් පිළිබඳ සඳහන් කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ 1/4 ක කොටසක් වෙන්කර ඇත. අෂ්ඨාංග ආයුර්වේදයේ රසායන වාජීකරණ චිකිත්සා දෙකම වෙන්වී ඇත්තේ නීරෝගී දරු පරපුරක් හා සාර්ථක විවාහයක් ඇති කරදීමට සඳහා ය.

 

රසායන තන්ත්‍රය

අකාලයේ ජරාවට නොගොස් තරුණ බව රැකගෙන නීරෝගි ජීවිතයක් ගත කිරීම පිළිබඳව ලියවී ඇති තන්ත්‍රය රසායන තන්ත්‍රයයි.

 

වාජීකරණ තන්ත්‍රය යනු

මෛථුන සේවනයේ දී අශ්වයෙකු සේ ශක්තිමත්ව හැසිරීම ගැන සඳහන් තන්ත්‍රය වාජීකරණ තන්ත්‍රයයි. යම් ද්‍රව්‍යයන් සේවනය කිරීම හේතු කොට ගෙන ලබාගත් ශක්තිය නිසා ලිංගික ක්‍රියාකාරකම්වලදී ස්ත්‍රී, පුරුෂ දෙදෙනාටම අධික පී‍්‍රතියක්, සතුටක්, ඇති වේද එසේම එම ක්‍රියාව සඳහා නැවත නැවත යෙදීමේ ආශාව පුරුෂයා කෙරෙහි වේද එබඳු ද්‍රව්‍යයන් වාජීකරණය වේ.

වාජීකරණ ඖෂධ කෙතරම් ප්‍රයෝග කළත් පුුරුෂයා හා ස්ත්‍රිය අතර ප්‍රබල මානසික බැඳීමක් දිගටම පැවතිය යුතු ය. එසේ නොවූ විට ඒ දෙදෙනා අතර පැවතිය යුතු කායික බැඳීම ප්‍රබල නොවේ. එවිට එම යුග දිවිය තුළ සතුට සාමය රඳා නොපවතී. එබැවින් ස්ත්‍රිය හා පුුරුෂයා ගේ මානසික හැඟීම් උසස් තත්ත්වයක පැවතිය යුතු ය.

 

යෝග්‍ය ආහාර පාන

කිරි, බිත්තර, ගිතෙල්, කුඩා මාළු, කුකුළු මස්, එළු මස්, අළු කෙසෙල් අල, වට්ටක්කා, බෝංචි, ගොටු කොළ, මුකුණු වැන්න.

පලතුරු

කෙසෙල්, රට ඉඳි, මුද්‍රප්පලම්, පැපොල්

අහිතකර ආහාර

වම්බටු, ජාඩි, අච්චාරු, අබ, විනාකිරි, අන්නාසි, හරක්මස්, අධික ඇඹුල් රස බිලිං, අමු අඹ, කරවිල, මුරුංගා, මඤ්ඤොක්කා ආදිය.

පිරිසුදු ජලය නිතර ප්‍රමාණවත් ලෙස පානය කිරීම ද නිරෝගී බව ලැබීමට මහඟු උපකාරයකි.

 

පවත්වා ගත යුතු විහරණ ලෙසට

ක්‍රමවත් නින්ද, වෛරය, ක්‍රෝධයෙන් තොරව විසීම, පෙරවරුවේ ස්නානය, ආගමික වතාවත්වල නිරත වීම ආයුර්වේද ඉගැන්වීම්වලට අනුව ජීවන රටාව ගෙන යාම තුළින් සාර්ථක යුග දිවියක් ඒ තුළින් නීරෝගි වැඩදායි දරු සම්පත් සමාජයට බිහිකිරීමටත් හැකියාව හා ශක්තිය නිබඳවම ලබා දේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.