රෝග දුක ජය ගත හැකි රස වෙදකම

පෙබරවාරි 12, 2021

රස වෙදකමට මූලික වන ද්‍රව්‍ය වනාහී රසදිය හා රත්‍රන් ය. මෙම වෙදකමේ දී රසකල්ප හා ස්වර්ණ කල්ප වශයෙන් ඖෂධ වෙනස් රසදිය හා අනෙකුත් ඖෂධ යොදා සකසන ඔසු රස කල්ප ගණයට වැටේ. රත්‍රං සංයෝග වන ඖෂධ ස්වර්ණ කල්ප ගණයට වැටේ.

රස වෛද්‍ය ශාස්ත්‍රය අනුව සංස්කරණය කර ප්‍රයෝජනයට ගන්නා ඖෂධ මඟින් ප්‍රතිකාර ගන්නා ජනතාව රටෙහි අවමය. මෙම විශිෂ්ට ඖෂධ මඟින් බොහෝ රෝග සුව කළ හැකි ය.

ශාක ඖෂධවලට වඩා රස ඖෂධවලට ක්‍රියාකාරීත්වය ඉක්මන්ය. සමහර ආයුර්වේද වෛද්‍යවරු ශාක ඖෂධ සමඟ රස ඖෂධද ප්‍රයෝජනයට ගනිති.

රසදිය වනාහී සියලු ද්‍රව්‍යවල ශක්තිය උකහාගත හැකි සුවිශේෂ ඛණිජයක් සේ සැළකේ. දීප්තිමත් රත්‍රං කැබැල්ලක් රසදිය බඳුනක ගිල්වා ස්වල්ප වේලාවක් තබාගත් විට රත්‍රං කැබැල්ලේ දීප්තිය අඩුවේ. එයට හේතුව එහි මතුපිට රත්‍රං ලෝහය රසදිය මගින් උරා ගන්නා බැවිනි. රසදිය හා රත්‍රං හොඳ ඖෂධීය සුසංයෝගයකි. රස වෛද්‍ය ශාස්ත්‍රයේදී මෙම දෙවගය යොදාගැනීමෙන් විශ්මිත ඖෂධ නිර්මාණය කරගත හැකි ය.

ඕනෑම ඛනිජ ද්‍රව්‍යයක මූල ද්‍රව්‍ය වශයෙන් විෂ මාත්‍රාවන් තිබේ. මේ නිසා රස ඖෂධ නිපදවීමට පෙර විවිධ සංස්කරණ ක්‍රියා මඟින් මෙම මූලද්‍රව්‍යවල විෂ මරාගත යුතු ය. මේ සඳහා බොහෝවිට ගුරුකුල උපදෙස් හා ක්‍රමවේද යොදාගැනේ. ඒ නිසා වෛද්‍යවරුන් අතර ප්‍රචලිත සංස්කරණ ක්‍රමවේදවලට වඩා විවිධ වූ ක්‍රමවේද තිබිය හැකි ය. ගුරුකුල ක්‍රමවේද පාරම්පරික උරුමයන් හා රහස් සමඟ ඉදිරියට යන්නකි. ඒවා රැකගැනීම ඉදිරියට ගෙනයාමත් මේ වෛද්‍ය පරපුරුවල යුතුකමක් ද වේ.

රස ඖෂධ නිෂ්පාදනය කරගැනීමට උපයෝගීකරගත හැකි මුද්‍රිත ග්‍රන්ථ අපේ රටේ ඇත්තේ සුළු ප්‍රමාණයකි. එසේ ග්‍රන්ථගතව රස ඖෂධ සංස්කරණ ක්‍රම පිළිබඳව සමහර උපදේශ ප්‍රතිඵල රහිත ය. සකු භාෂාවෙන් රචිත සෞඛ්‍ය ක්‍රමය පිළිබඳ ග්‍රන්ථ ප්‍රායෝගිකත්වයෙන් අත්දැකීමෙන් දැක නැති සමහර උගත් වෛද්‍යවරුන් විසින් ද හෙළ බසට පරිවර්තනය කර ඇති අවස්ථා හමුවේ. ඒ නිසා රසදිය රත්‍රං සංස්කරණයට ගොස් රත්‍රංවලට අහිමි වූ වෛද්‍යවරු ද සිටියහ.

රසදිය ඖෂධීය ද්‍රව්‍ය 18 කින් වත් විෂ මැරීමට කියා ඇතත් ඊට වඩා කෙටි ක්‍රමවේද භාවිත කර ඔසු නිපදවන අය සිටී. ඒ පිළිබඳව මීට කලකට පෙර සුබසෙත මඟින් පාඨකයන් දැනුවත් කර ඇත. අපේ රටේ කෙසේ වෙතත් ඉන්දියාවේ නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් මෙම ඔසු අද නිෂ්පාදනය වෙයි.

රසදිය බර ලෝහයකි. නමුත් විසිර යයි. මෙය ඒකරාශී කළ හැක්කේ ගෙන්දගම්වලට ය. එසේ විෂ මැරීම උදෙසා බුලත් ඉස්ම, සුදුලූනු යුෂ, තුඹ කොළ ඉස්මවලින් කළ හැකි ය.

මේ හැම ද්‍රව්‍යයක්ම ශෝධන මාරණ ක්‍රම මඟින් සකස් කරගනු ලැබේ. රස ඖෂධ මගින් විවිධ රෝග සුවකළ හැකිවාක් මෙන්ම ඉන්ද්‍රියන්ට නව ජීවනයක් ලබා දේ.

සාමාන්‍යයෙන් එදිනෙදා හටගන්නා උණ, ප්‍රතිශ්‍යාව, උදරාබාධ වැනි සාමාන්‍ය රෝගවල සිට කල්ගත වූ අසාධ්‍ය රෝගද රස වෙදකමින් සුවකළ හැකි ය.

එදිනෙදා රෝග රස ඖෂධ මඟින් ඉක්මනින් සුවවන නිසා ඒවා දිගින් දිගට ඖෂධ භාවිතය අවශ්‍ය වන්නේ නැත.

රසදිය හා රත්‍රං මිශ්‍ර ඖෂධ ඉතා ඉක්මනින් ක්‍රියා කරයි. මෙම ඖෂධ ශරීරයේ ඉන්ද්‍රියන්, රුධිර සංසරණය ක්‍රියාවලිය, ඇට කටු, ඇට මිදුලු වල හොඳින් ක්‍රියාකරයි. නවීනයන් කියන වෛරස් රෝග විෂම රෝගවලට මෙම ඖෂධ ප්‍රයෝජනවත් ය.

න්‍යායාත්මකව වෙදකම ඉගෙනගැනීමෙන් පමණක් රෝගීන් සුවකිරීමට නොහැකි ය. ඒ සඳහා අත්දැකීම පලපුරුද්ද හා සුදුසු ඖෂධ තිබිය යුතු ය. රස වෙදකමට පමණක් නොව හැම වෙදකමටම මෙය පොදු ය.

 

හෙලවෙද නන්දන දේශමාන්‍ය

වෛද්‍ය

සිසිර ඇම්. විජේසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.