මූත්‍ර අශ්මරී හෙවත් මූත්‍ර ගල්

ජනවාරි 29, 2021

රෝගය හඳුනා ගත් පසු පමා නොවී නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්

මුත්‍රා මාර්ගය ආශි‍්‍රතව ඇති වන ගල් මූත්‍ර අශ්මරී මෙන්ම ශුක්රාශ්මරී ලෙස වෙන් කෙරුණ ද මේ දෙකම රෝගියාට එකම ආකාරයට වේදනාව ගෙනදේ. ශුක්රාශ්මරියෙන් පීඩාවට පත් වන්නේ පුරුෂයන් වීම විශේෂිතය. වෘක්කය හෝ මූත්‍ර මාර්ගය ආශි‍්‍රතව පැනනඟින ගල් හේතු කොට ගෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්ෂවයම පීඩාවට පත් වේ.

 

මිනිසුන් නිරතුරුව මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගයන් ගෙන් පීඩා විඳිනු ලබත්. මුත්‍රා යනු මිනිස් සිරුරේ බහිස්‍රාවීය ද්‍රව්‍ය වේ. වෘක්ක මගින් රුධිරයෙහි ඇති අපද්‍රව්‍ය පෙරා ඉවත් කර ගැනීමෙන් පසුව මූත්‍ර ලෙස ඒවා මිනිස් සිරුරින් ඉවත් වේ. මිනිස් සිරුරේ පැවැත්මට අහිතකර බොහෝ දේ මෙලෙස පිටවීමෙන් මිනිසාට නිරෝගී දිවි පැවැත්මක් පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ. බටහිර වෛද්‍ය ක්‍රමයේ දී මූත්‍ර සංයුතිය නිරීක්ෂණය කිරීමෙන් මිනිස් සිරුර තුළ හට ගන්නා වූ රෝග පිළිබඳව විනිශ්චයකට පැමිණේ.

 

මූත්‍ර කෘච්චය සාමාන්‍ය ව්‍යවහාරයේ මූත්‍ර අඩස්සිය ලෙස හඳුන්වනු ලබයි. ඇතැම් විට මුත්‍රාශය පිරී තිබියදී මුත්‍රා පිට නොවීම මෙන්ම මුත්‍රා පෙරීම ඇනහිටීම හේතුවෙන් ද, මූත්‍ර බැහැර නොවීම සිදු විය හැකිය. විජලනය, ඖෂධ විෂවීම, විෂ ශරීර ගත වීම, හදිසි අනතුරු, වෘක්ක ප්‍රදාහය, හෘද ක්‍රියා දුබල වීම හෝ විකෘතිතා හේතුවෙන් ද මුත්‍රා ශරීරයෙන් බැහැර නොවීමට හෝ වකුගඩු මගින් මූත්‍ර පෙරීම ඇනහිටීමට හේතු වේ.

මූත්‍ර මාර්ගයේ ගල් ඇතිවීම අශ්මරියයි. එය මූත්‍ර ආඝාතය ඇති කරවයි. මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව රෝග ඇති වීමට හේතු ලෙස අධික ලෙස වෙහෙස වීම, අති තීක්ෂණ, රූක්ෂ ආම්ලික තාවයෙන් වැඩි, අධික උෂ්ණ ගුණයෙන් යුත් ආහාරපාන, වේගයෙන් ගැස්සීම් සෙලවීම් ඇතිවාහන භාවිතය, පශු පක්ෂී ආදීන්ගේ මාංශ අධික ලෙස ආහාරයට ගැනීම, අධික අම්ලතාවය, දීර්ඝ කාලීනව සැර ඖෂධ භාවිතය, අධික මධ්‍යසාර පානය දක්වා තිබේ.

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගයන් ලෙස මුත්‍රාශ ප්‍රදාහය, අශ්මරී, අර්බුධ (ගෙඩි) දැක්විය හැකිය. වර්තමානයේ බොහෝ වශයෙන් මුහුණ දෙන ගැටලුවක් ලෙස මුත්‍රා අශ්මරී හෙවත් මුත්‍රා ගල් දැක්විය. මූත්‍ර ගල් බොහොමයක් නිපැදවෙන්නේ වෘක්ක හෙවත් වකුගඩු තුළය. වකුගඩු ආශ්‍රයෙහි නිපදවෙන මූත්‍රගල් කුඩා කැටිති ලෙස පවත්නා කල්හි මූත්‍ර මාර්ගය හරහා පිටතට ගමන් කිරීම ඇරැඹීම හේතුවෙන් තදබල වේදනාවක් ඇති කරයි. මූත්‍ර ගල් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමේ විවිධ ක්‍රමවේද වර්තමානයෙහි පැවැතිය ද පාරම්පරික හා දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ද ගල් දිය කිරීම මගින් අතුරු ආබාධයකින් තොරව ඉවත් කර ගැනීම සිදු විය.

මූත්‍ර මාර්ගය ආශි‍්‍රතව ඇති වන ගල් මූත්‍ර අශ්මරී මෙන්ම ශුක්රාශ්මරී ලෙස වෙන් කෙරුණ ද මේ දෙකම රෝගියාට එකම ආකාරයට වේදනාව ගෙනදේ. ශුක්රාශ්මරියෙන් පීඩාවට පත් වන්නේ පුරුෂයන් වීම විශේෂිතය. වෘක්කය හෝ මූත්‍ර මාර්ගය ආශි‍්‍රතව පැනනඟින ගල් හේතු කොට ගෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්ෂවයම පීඩාවට පත් වේ.

ශුක්රාශ්මරී ඇති වන්නේ මුත්‍රා මාර්ගයේය. මූත්‍රශ්මරිය ඇති වන්නේ වා පිත් සෙම් ශුක්‍ර සමඟ එක්වී වස්තියේ තැන්පත් වීමෙනි. බොහෝ විට මූත්‍ර වේගය පිළිබඳව නොසලකා මෛථූනයයෙහි යෙදීමෙන් ද ශුක්රාශ්මරිය ඇතිවේ.

එමෙන්ම අපිරිසුදු රුධිරය වාතය හා සෙම් පදාර්ථ සමඟ එක්ව ඇති කරනු ලබන අශ්මරිය වස්ති ද්වාරයෙහි ඇතුළු පැත්තේ තැන්පත්වීමෙන් අධික ලෙස වේදනා උපදවයි.

වෘක්කයේ ඇති වන ගල් හේතු කොට ගෙන වෘක්ක හෙවත් වකුගඩු අක්‍රිය තත්ත්වයට පත්වීමෙන් මූත්‍ර පෙරීම ඇනහිටීම සිදු විය හැකි අතර රුධිර පිරිසුදුකිරීමේ කාර්යය නැවැතී සිරුරේ අපද්‍රව්‍ය ඉවත් වීම නැවතී පුද්ගලයා පීඩාවට පත්වේ. වර්තමානය වන විට තාක්ෂණය බොහෝ දියුණුූ වී ඇති බැවින් බටහිර වෛද්‍ය ක්‍රමයේ දී යන්ත්‍ර භාවිතයෙන් මිනිස් සිරුරේ රුධිරය පිරිසුදු කිරීමේ කාර්යය සිදු කරනු ලබයි.

මෙසේ ගල් ඇති වීමට හේතුවන තත්ත්වයන් ලෙස සිරුරේ කැල්සියම් අධි මාත්‍රාවක් පැවැතීම, ජලය පානය කිරීම අවම වීම, පිරිසුදු ජලය පානය නොකිරීම, වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බාධා පැමිණීම දැක්විය හැකිය. හදිසි අනතුරු හේතුවෙන් ඇතිවන පීඩා මෙන්ම වර්තමානයේ අධික ලෙස රසායනික ද්‍රව්‍ය මිශි‍්‍රත ජලය භාවිතය. ඒ හේතු අතර වේ. අධික වෙහෙස, නිදි වැරීම, අධික නිද්‍රාව, අධික මෛථුනය, බර ඉසිලීම, වේග ධාරණය, විරුද්ධ ආහාර ගැනීම .

මුත්‍රාශ්මරි තත්ත්වයෙන් වැළැකී සිටීමට යහපත් ආහාර විහරණ මෙන් හොඳ සෞඛ්‍ය පුරුදු ද අවශ්‍ය වේ.

කතුරුමුරුංගා , වැල්පෙනෙල, හාල්මැස්සන්, සාලයා, තක්කාලි, දෙහි යුෂ, කැල්සියම් බහුල ආහාර නිතර නිතර වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීම නොකළ යුතුය (සාමාන්‍ය ප්‍රමාණයෙන් ආහාර වේල් සඳහා එක්කර ගැනීම ප්‍රමාණවත්ය) වැඩි ජල ප්‍රමාණයක් ආහාරය සඳහා එක්කළ ගත යුතු වේ.

මේ රෝගී තත්ත්වයට ප්‍රත්‍ය ආහාර ලෙස පිරිසුදු ජලය පානය , තැඹිලි, වතුර, ඉරමුසු , බෙලිමල්, පොල්පලා, ඉකිරිය තැම්බූ වතුර, කැකිරි, පිපිඤ්ඤා,පතෝල, කොල්ලු, බාර්ලි, ධාන්‍ය වර්ග, දෙලුම්, කොමඩු, කටුඅනෝදා, කුප්පමේනියා, අක්කපාන වැනි ද්‍රව්‍ය ද යෝග්‍ය වේ. මේ ගුණදායක ආහාර වර්ග තමන් කැමැති ලෙස සාමාන්‍ය ආහාරවේල් සමඟ හෝ සාමාන්‍ය ආහාර වේල් ලෙස සතියකට දෙතුන් වරක් ගැනීමෙන් ශරීරය නිරෝගී බව පවත්වා ගැනීමට උපකාරි වනු ඇත. ඔබට කෙසේ වුව මූත්‍ර අඩස්සියක් හෝ යම් වේදනාවක්වේ නම් වහාම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවීම කළ යුතුය. දේශීය වෛද්‍ය ක්‍රමය මගින් නිට්ටාවටම රෝගී තත්ත්වය සුව කර ගත හැකිය. ඒ සඳහා දක්ෂ වෛද්‍යවරයෙකු හමුවිය යුතු වේ. එහෙත් රෝගය හඳුනා ගත් පසුත් වෛද්‍යවරයා හමුවීම පමා කිරීම යෝග්‍ය නැත.

 

වෛද්‍ය

චානක අමරතුංග

 

සටහන

ටෙක්ලා පද්මිණී කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.