වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්වන ගම්පහ වික්‍රමාරච්චි වෙද විදුහල
දිගු කාලයක් තිස්සේ කළයුතු සංකල්පනාවක්ව පැවැති රටේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව වූ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන අන්දමින් ගරු ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවට ද, අනුකූල වන අන්දමේ සද්කාර්යයක් ලෙස රට තුළ ආයුර්වේදීය දියුණුව උදෙසා ‘විශ්ව විද්‍යාලයක්’ ඇති කිරීමේ කාර්යාවලියක් යෝජනා කෙරී, සම්මත වී තිබීම රටේ ජාතියේ ජනතාවට සෙත සුව පතන කාගෙ කාගේත් හිතසුව පිණිස හේතුවන සුබ නිමිත්තක් බවද මුව පුරා සිත පුරා ඇති වූ සතුටකින් යුතුවම සඳහන් කළ හැක්කේ ය.
සිය ජීවිතයම සිංහල ජනතාවගේ දියුණුවත් ආයුර්වේදයේ ප්‍රගතියක් උදෙසා කැප කරන ලද ආත්මාභිමානී හැඟීම ඇතිව විසූ ජාතික පුරුෂයකු වූ ගම්පහ පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි වෙද රාළහාමි නමින් මෙම මහා විශ්ව විද්‍යාලය පිහිටුවන්නට කටයුතු යෝජනා කෙරී ස්ථිර වී ක්‍රියාත්මක කෙරෙන්නට කටයුතු සම්පාදනය වී තිබීම ජාති හිතෛෂී, දේශහිතෛෂී, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට හිතෛෂී රට වැස්සන්ගේ සිත්හී අමන්දානන්දනයට හේතු වූ ප්‍රවෘත්තියක් වනවාට කිසිදු සැකයක් නැත්තේ ය.
එපමණක් ද නොවේ. පාරම්පරිකව තමන් ලද වෛද්‍ය දැනුම ශිෂ්‍යත්වයකින් ලද විශේෂ දැනුම අනුව තව තවත් දුරදිගයවමින් සිය රටේ ජනනතාව සුඛිත මුදිත ජනතාවක් කිරීමේ ඒකායන උදාර සංකල්පනාවක් ක්‍රියාත්මක කරමින් එය ජාතික දේශයට නව පනක් වන්නක් බව පසක් කළ ගේබ්‍රියෙල් පෙරේරා වික්‍රමාරච්චි නම් වූ එම උදාර සත්පුරුෂයාණන් සිය නැණ බලය, ධන බලය හා මෙහෙයුම් බලය යොදවමින් ආරම්භ කරන ලද ‘ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය’ බිහි කරලීම එම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සළකා තුන් කල් බලා සිදු කරන ලද්දක් බවට එහි අගය දුටු විද්වතුන් උගත් ගණයේ මුවින් එකල කියැවුණු සත්‍යයකි.
කරුණු මෙසේ වූ හෙයින් ඉංගී‍්‍රසි පාලන යුගයේ දී ආරම්භ කර රටේ ඉදිරි පරපුර සිතින් මෙන්ම ගතින්ද සුවය ඇත්තන් බවට පත් කරලීමේ ඒකායන හැඟීමෙන් යුතුව එකල සිය භද්‍ර යෞවන වියේ සිටි වික්‍රමාරච්චි තරුණයා විසින් එදා වර්ෂ 1929 ජූලි 19 වෙනිදා මෙම මහා කාර්යභාරයේ මුල් පහන්සිල දල්වන ලද්දා වූ අවස්ථාව පිළිබඳව ද, මෙහිදී මතකයට නගා ගැනීම වැදගත් වේ යැයි සිතේ.
ගේබ්‍රියෙල් පෙරේරා වික්‍රමාරච්චි දරුවා උත්පත්තිය ලැබුවේ සියනෑකෝරළයේ නැදුන්ගමුව ගම්මානයේ පාරම්පරික වෙද ගෙදරකය. එකල මහා තක්සලාවක් වූ මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ නායක අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පාමුල භාෂා ශාස්ත්‍ර සමග වෙදකම්ද ඉගෙන ගත් ගේබ්‍රියෙල් පෙරේරාගේ සහජ දස්කම් එකලදීත් මනාව කැපී පෙනුණේ ය. පාරම්පරිකව ලත් වෛද්‍ය දැනුමට අමතරව පිරිවෙනක භාෂා ශාස්ත්‍ර ඉගෙනගත් වික්‍රමාරච්චිට වර්ෂ 1913 දී ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ අවසන් විභාගය භාෂා තුනකින් ලියා ප්‍රථම ගිහි රාජකීය පණ්ඩිතයා වීමේ අවස්ථාව ද, හිමි විය. එය එකල තරුණ ශාස්ත්‍රධරයකු ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ද විය.
ඉන්පසුව තවත් වැදගත් කාර්ය භාරයත් කිහිපයකම යෙදී අනතුරුව එතුමන්ට ආයුර්වේදය දියුණුවට ඇති කළ පෙරදිග වෛද්‍ය විද්‍යා අරමුදල මගින් පිරිනමන ලද ඉන්දියා ශිෂ්‍යත්වය ලැබිණ. ඒ අනුව වර්ෂ 1917 දී කල්කටාවට ගිය වික්‍රමාරච්චි තරුණයා එහි ජාමිණ භූෂරාරෝයි අෂ්ටාංග ආයුර්වේද විද්‍යාලයට ඇතුළත්ව එහිදී වෛද්‍ය කර්මයන් පිළිබඳව හසල දැනුම් සම්භාරයක් ද විශේෂයෙන් තෙල්, බෙහෙත් ආදී කටයුතු මනාව නිෂ්පාදනය කිරීම පිළීබඳව වූ අධ්‍යයනයක්ද ලබා ගන්නට සමත් විය.
ශිෂ්‍ය රත්න ඇල්.ඒ.එම්.එස්. (ගෞරව) උපාධිය ද කල්කටාවේ ආයුර්වේද නවන්හිදී ‘කවිරන්ජන්’ උපාධියද ලබා ගැනීමට එතුමනට හැකි විය. ඉන්පසුව වර්ෂ 1921 දී සියරට පැමිණි වික්‍රමාරච්චි තරුණයාට වෛද්‍ය අංශයෙන් මෙන්ම පණ්ඩිතමානී අංශයෙන්ද ඉහළම ගෞරව පිරිනැමිණ.
තම පියාගේ පාරම්පරික වෛද්‍ය කර්මය තවත් දුරදිගට ගෙනයනු පිණිස රටපුරා වෛද්‍යවරුන් විධිමත් ලෙස පුහුණු කරවන වෙද විදුහලක් ඇති කරලීමද, ඔවුනට සිංහල ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය පිළිබඳව ද මනා පුහුණුවක් ලබාදීමද මෙකල වික්‍රමාරච්චි පණ්ඩිත තරුණයාගේ අදහස විය.
තමන්ගේ සිතෙහි හටගත් මෙම උදාර මෙහෙවර ක්‍රියාවට නගාලීම් වස් වර්ෂ 1929 ජූලි 19 වැනිදා උදේ තම ගුරු දෙගුරු පැවිදි ගිහි වැඩිහිටි නායක කාරකාදීන් හමුවේ එතුමෝ සුබ නැකතින් ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළහ. මෙම අවස්ථාව ලංකාවේ සිංහල ආයුර්වේද ඉතිහාසය තුළ එක්තරා වැදගත් සන්ධිස්ථානයක් වන බව එයට සහභාගි වූ හැම දෙනාගේ ම මතය විය.
කොළඹ නුවර පාරේ දහ අට වැනි සැතපුම් කණුව පසුකොට යක්කලට යන විට හමුවන උස් භූමි භාගයක මෙම ‘ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය’ පිහිටා තිබිණ. සියලු ආරාධිත පැවිදි ගිහි අමුත්තන් පිළිගෙන නැකතට පහන් දැල්වීමෙන් අනතුරුව වික්‍රමාරච්චි තරුණයාණෝ පැමිණ සිටි පිරිස ඇමතූහ.
“මවිසින් දල්වන ලද මෙම ප්‍රදීපයේ ආලෝකයක් මෙම කුඩා ශාලාව තුළ අඳුර පහ වී ආලෝකමත් වන්නාක් මෙන් ම මෙම විද්‍යාලය මගින් පතුරුවා හරින ශාස්ත්‍රාලෝකයෙන් මුළු ලක්දිව ඒකාලෝක වේවායි මම ප්‍රාර්ථනා කරමි. විද්‍යාලය මගින් මුළු මහත් ආයුර්වේදය සම්පූර්ණයෙන්ම ඉගැන්වීමට පුළුවන් වේ යැයි නොසිතමි. අපේ බලාපොරොත්තුව මේ විද්‍යාලය මගින් සූත්‍රපාත අධ්‍යයනයක් ලබා දීමට ය.එම සූත්‍ර පාත ඔස්සේ ඉදිරියට ගමන් කරන ශිෂ්‍යයන් මට වඩා උසස් වෛද්‍යවරයන් වන බව මට විශ්වාසය’ යනුවෙන් වූ එතුමාගේ කතාවෙන් එහි සිටි සියල්ලන්ටම වික්‍රමාරච්චි චර්යාව මනා ලෙස වැටහුණු බව පෙනිණ.
කලින් කරන ලද නිවේදනයක් අනුව වෛද්‍යවරුන් වශයෙන් උසස් අධ්‍යාපනයක් ලබාදීමට සුදුස්සන් කැඳවා සම්මුඛ හා ලිඛිත පරීක්ෂණයක් කිරීමෙන් ද අනතුරුව විසි දෙනකු, තෝරා ගන්නා ලද්දේ ය. ඔවුනට කෑමබීම, ඉඳුම් හිටුම්, මෙන්ම නිසි ලෙස අධ්‍යයනයක්ද ලබාදීම මෙම ක්‍රියාවලියේ මූලික අරමුණ ද විය.
වික්‍රමාරච්චි පණ්ඩිතතුමාණන් විසින් එම විද්‍යාලය අසලම මනා ලෙස වවන ලද බෙහෙත් පැළෑටි උද්‍යානයද, සිය පිය වෙද මහතාණන් විසින් සදාගත් ශරීරාභ්‍යන්තරයේ ශල්‍ය කටයුතු උදෙසා වූ උපකරණ භාවිතය පිළිබඳවද මෙන්ම, තව කල්කටාවේදී මනා ලෙස උගත් බෙහෙත් නිෂ්පාදනය පිළිබඳව මෙහිදී ඔවුනට නිසි වෛද්‍ය අධ්‍යපනයක් සැලසිණ. පසුව තමන්ගේ මෙම අධ්‍යාපන ක්‍රමය ඔවුන් මනාසේ ඉගෙන ගෙන සිතට ගන්නා බව දුටු අවස්ථාවලදී එතුමාණේ මහත් සේ සතුටට පත්වූහ.
ඒ සමගම එහිදීම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ පහසුකම් ඇති බෙහෙත්හලක් ද ඇති කළ හෙයින් එසේ වික්‍රමාරච්චි පණ්ඩිත මහත්මයා වෙතින් ඉගෙන ගන්නා ගමන්ම ලෙඩක්සේ ලෙඩ හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කිරීමේ සැලසුමක්ද ඇති කෙරිණි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>