හදිසි අනතුරු මෙන්ම රෝගාබාධ සිදුවන අපල කාලය

දෙසැම්බර් 13, 2019

කේන්දරයක හයවැන්න සතුරු ස්ථානය මෙන්ම රෝග ස්ථානය ද වේ. එහි අධිපති ග්‍රහයා මෙන්ම චන්ද්‍ර කේන්දරයෙන් හයවැන්න . අධිපති ග්‍රහයාගේ තත්ත්වයෙන් ද ජන්මියාගේ රෝගාබාධ සම්බන්ධ තොරතුරු පැහැදිලි කර පෙන්වයි. රාශි කේන්දරය මෝටර් රථයකට උපමා කරන විට එහි ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන යාන්ත්‍රික තත්ත්වය හෙවත් ඇන්ජිම නවාංශක සටහන වේ.එසේනම් නවාංශක කේන්දරයේ වැදගත්කම ද අමතක කළ නොහැකිය. නවාංශක කේන්දරයේ හයනැන්න අධිපති ග්‍රහයා ද පාප දෘෂ්ටි හෝ පාප ග්‍රහ සංයෝගවලින් යුක්තවීමද රෝගී තත්ත්වයක් ගෙනදීමට හේතු වේ.

සෞම්‍ය ග්‍රහයන් වන සඳු හෝ සිකුරු ග්‍රහයා රාශි කේන්දරයේ හයවැන්නේ පිහිටා තිබේ නම් ආහාර දිරවීම අපහසුතා හෙවත් උදරාබාධායන් මතුවන බවට සලකුණකි. තවද හයවැන්නේ කේතු ග්‍රහයා පිහිටීම නිතර උදරබාධා මතුවීමට මෙන්ම බඩවැලේ දෝෂ නිසා ඇපැන්ඩිසයිටිස් හෝ හර්නියා වැනි ශල්‍යකර්ම වලට ද හේතු වේ.

ඒරාෂ්ඨක පීඩා නොමැති වුවද 22 වැනි දෙර්කානාධිපති හෝ අටවැන්න අධිපති ග්‍රහයාගේ මෙන්ම චන්ද්‍ර කේන්දරයෙන් අටවැන්න අධිපතියාගේ දසා කාලයේදී ද ජන්මියාට උපතින්ම උරුම රෝගාබාධ මතුවන බවට අපගේ පැරණි දෛවඥයන් විසින් පෙන්වා දී ඇත. බොහෝ විට දුර්වල ග්‍රහ පිහිටීම් සහිත කේන්දර හිමියකුට ඒරාෂ්ටක පීඩා ආරම්භවීමට මාස කිහිපයකට පෙර රෝගී තත්ත්වයන් මතුවිය හැකිය. එහෙයින් අදාළ ග්‍රහ තත්ත්වය සම්බන්ධයෙන් තෙමසකට පෙර සෙත් කවියක් කියැවීම බෝධි පූජා පැවැත්වීම මෙන්ම අසරණයන්ට දානමානාදිය පිරිනැමීම ආදි වත් පිළිවෙත් කිරීමෙන් තදබල ග්‍රහ දෝෂවලින් සහනයක් ලබාගත හැකිය.

සේවාදායකයකු ඡ්‍යොතිර්වේදියකු වෙත පැමිණ කරුණු විමසන අවස්ථාවේදී සකස් කරන තත්කාල කෙන්දරයෙන්ද රෝගී තත්ත්වය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගත හැකිය. ජන්ම කේන්දරයෙන් පැහැදිලි කරන ග්‍රහ තත්ත්වයට අතිරේක වශයෙන් තත්කාලයේ පිහිට ලබාගැනීමට අපගේ වැඩිහිටියන් සිත යොමු කරන ලද්දේ ඒ නිසාය. තත්කාලයට පාප ග්‍රහයකුගේ ලග්නයක් උදාවීම, තත්කාල ලග්නාධිපති ග්‍රහයා කිසිදු සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ටියක් නොලබා රෝගස්ථානයේ දක්නට ලැබීම ද රෝගී තත්ත්වයක් පිළිබඳ තොරතුරු විමසීමක් බව පැහැදිලි වේ. එය ඖෂධ මගින් මෙන්ම ගුප්ත විද්‍යා ශාන්ති කර්මයක් මගින් විසඳා ගැනීමට හැකියාවක් තිබේ දැයි දැනගත හැක්කේ අත්දැකීම ලැබූ ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියකුට පමණකි. තාරකා විද්‍යාව හෝ ඇතැම් භූත බලවේගවලට යටවී සිටින බොහෝ දෙනකුට යට කී ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් දීමට නොහැකි වී තිබේ. එසේම සාමාන්‍ය ජනතාව ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය අවතක්සේරුවට ලක් කිරීමට හේතුවී ඇත්තේද ඒ නිසාය.

කේන්දරයක සිව්වැන්න පුද්ගලයකුගේ පපුව ප්‍රදේශයේ නියෝජනය කෙරේ. එහි අධිපති ග්‍රහයා හය , අට, දොළහ දුෂ්ට රාශිගත වීමද, අපල කාලවලදී රෝගාබාධ මතුවන බවට ඉඟියකි. සිව්වැන්න අධිපතියා 22 වැනි දෙර්කානාධිපතියා වී තිබියදී, කේන්දරයේ කුමන භාවයක හෝ රවි / රාහු යෝග්‍ය හා රවි /කුජ යෝගය දක්නට ලැබේ නම් පපුවේ වේදනා කැක්කුම් පමණක් නොව මැදිවියටත් පෙර හෘදයාබාධ වැළඳීමට වැඩි ඉඩක් තිබෙන ග්‍රහ තත්ත්වයකි. සිව්වැන්නේ රාහු ග්‍රහයා පිහිටා තිබියදී,සිව්වැන්නාධිපති ග්‍රහයා රෝගස්ථාන (හයවැන්න) යේ දක්නට ලැබේ නම් පපුවේ සිදුරක් උපතින්ම පිහිටීමට වැඩි ඉඩක් ඇත. එසේ වුවද බලවත් ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියක් සිව්වැන්නට හෝ රෝගස්ථානයට වැටී තිබේ නම් වැඩිකල් යන්නට මත්තෙන් එම සිදුර ඉබේටම වැසී යනු ඇත. ශල්‍යකර්මයක සලකුණක් ග්‍රහ පිහිටීම්වල දක්නට ලැබේ නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුය.

හයවැන්න අධිපතිත්වය ගුරු ග්‍රහයා හෝ පාප පීඩිත සිකුරු ග්‍රහයාට අයත් නම් මුත්‍රා දෝෂ ඇතුළු කල් පවතින දියවැඩියාව ද, සෙනසුරු ග්‍රහයාගෙන් වාතාධික රෝග පීඩා මෙන්ම අංශභාගය වැනි කල් පවතින නිධන්ගත රෝග ද, ශනි ග්‍රහයා කුජ සමඟ සම්බන්ධවීමෙන් අධිරුධිර පීඩනය (ප්‍රෙෂර් වැනි රෝග පීඩා ද මතු වේ. තවද රාශි කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයේ ග්‍රහ තත්ත්වය ද අදාළ ග්‍රහයාට පාප ග්‍රහයකුගේ නැකතක් හිමිව තිබේ නම් රෝගී තත්ත්වය උග්‍ර වන බව ද කියනු ලැබේ.

ධනු ලග්නයට අධිපති ගුරු ග්‍රහයා ජන්ම කේන්දරයත් අටවැන්නේ (කටක රාශිය) පිහිටීම උච්ච බලය දැක්වුවද, එම ග්‍රහයා කටක නවාංශකයේ පිහිටීම “අෂ්ටමාංශ දෝෂයක්” ලෙස සැලකේ. එවිට ජන්මියාගේ අවසානය සිදුවන්නේ ඥාතියකු නොමැති ස්ථානයකදී බිම ඇද වැටීමෙන් මරණය සිදුවීමෙනි. මීන ලග්නයේදී ගුරු බලවත් වුවද එම ග්‍රහයා තුලා නවාංශකයේ පිහිටා තිබේ නම්. (රාශි තුල්‍ය නවාංශක ක්‍රමය අනුව) කේන්දරයේ අටවැන්න හිමිවේ. එබැවින් ඉහත කී ප්‍රතිඵලයම ඔහුට හෝ ඇයට මුහුණදීමට සිදුවනු ඇත. එම ග්‍රහ තත්ත්වයට මාරක කුජ ග්‍රහයාගේ හෝ රාහු ග්‍රහයාගේ සම්බන්ධතාවයක් මත සිදුවුවහොත් හදිසි අනතුරකින් හෝ ආයුධයකින් හෝ බෝම්බ වැනි හිංසාකාරි දෙයකින් මරණය සිදුවන ඇත.

අසුබ දසා කාලය

රාහු මහ දසාවේ – කුජ අතුරු දසාවේදි ගින්නෙන් හෝ ආයුධවලින් පීඩාකාරි තත්ත්වයක් ගෙන දෙනු ඇත. රාහු මහ දසාවේ, බුද අතුරු දසාවේදි වාත රක්තය, හන්දි ඉදිමීම වස විස නිසා ඇතිවන පීඩා ද දක්නට ලැබේ. රාහු ලග්නභාවයේ පිහිටා පාප ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටී තිබේ නම් මානසික රෝගවලට හේතුවේ. තවද එම ග්‍රහයා හරහා තවත් පාප ග්‍රහයකු ගෝචරයෙන් ගමන් කරන කාලයේදී සෞඛ්‍ය තත්ත්වය තදබල ලෙස දුර්වල වේ.

රාහු ග්‍රහයා ලග්න භාවයේ හෝ සිව්වැන්නේ පිහිටි ජන්මියා රාහු මහ දසාවේදි කල් පවතින ලෙස ඇස්වල පෙනීමේ දෝෂද, උදරාබාධ මෙන්ම ආහාරපාන විසවීමකටද ඉඩ ඇත. දෙවැන්නාධිපති පාප පීඩිත වී තිබේ නම් එම ග්‍රහයාගේ දසා කාලයේදී ඇස් රෝග මතු වේ.

කේතු මහා දසාවේ – කුජ අතුරු දසාව පවතී නම් මුත්‍රා ආබාධ, සර්පයින්ගෙන් පීඩා ද, කේතුගේ බුද අතුරු දසාවේදී සෙම් කෝපවීමෙන් සෑදෙන රෝගාබාධයන්ද උණ රෝගද වැළඳේ. හය, අට, දොළහ දුෂ්ට රාශියක සිටින කේතු ග්‍රහයාට පාප ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටී තිබේනම් එම කාලය තුළදි අත්පාවල දුබලකම් මතු වේ.

අටවැන්නාධිපති ග්‍රහයාගේ මෙන්ම හයවැන්නේ සිටින පාප ග්‍රහයාගේ දසා කාලයේ ද සෞඛ්‍ය තත්ත්වය දුර්වල වන බැවින් එම කාලයට පෙර ග්‍රහ ශාන්තිකර්මවල පිහිට ලබාගත යුතුය.

ජන්ම කේන්දරයේ මාරකස්ථාන වන අටවැන්නේ රවි ග්‍රහයා දක්නට ලැබේ නම් මව්පිය දෙදෙනාට තිබූ (ජානමය හේතූන් වන) දියවැඩියාව වැනි කල්පවතින රෝගාබාධ වැළඳෙනු ඇත. කෙසේ නමුදු සිකුරු ග්‍රහයා අටවැන්නේ දක්නට ලැබේ නම් ගරු ගාම්භීර අයුරෙන් අවමංගල්‍ය කටයුතු සිදුවන බව ඡ්‍යොතිෂ පතපොතෙහි සඳහන් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.