ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත්

දෙසැම්බර් 15, 2023

ශ්‍රී ලංකාව මිනිසා විසින් නිර්මාණය කළ හා සොබාදහම විසින් නිර්මාණය කළ වස්තූන්ගෙන් පිරී ඇත. ලෝකයේ කිසිම රටක් අප රට මෙන් සොබා නිර්මාණවලින් පෝෂිත වී ඇතැයි සිතිය නොහැකිය. මිනිසා විසින් නොයෙක් විස්මිත දේ නිමවා ඇතත් ඒවා කිසිවකට සොබාදහමේ නිර්මාණ පරාජය කළ නොහැකිය යන්න පරම සත්‍යයකි. මුතු,මැණික්, ඛනිජ, කඳු, පර්වත, දියඇලි, ගංගා, ගස්වැල් හා වනසතුන්ගෙන් පිරි අප රට සම්පත් ආකරයකි. එහෙත් අපි තාමත් එම සම්පත් ප්‍රයෝජනයට නොගෙන දරිද්‍රතාවයේ ගිලී සිටිමු. අප රට විද්‍යාඥයන් කෙතරම් පර්යේෂණ කළත් සොබාදහමේ නිර්මාණ සොයාගත නොහැකිවීම නිසා ඒවා තාමත් වනගතව පවතී. රටක සංවර්ධනය සඳහා එහි ඇති සොබාසම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගත හැකිය.

වනගත වී සැඟවී ඇති සම්පත් අතරින් උණුදිය උල්පත් මුල්තැන ගනී. ඈත අතීතයේදී ලංකාව නමින් දූපතක් නොතිබූ අතර එය ෆැන්ජියා මහද්වීපයේ කොටසක්ව තිබූ බවත් එම මහද්වීපය කැඩීයාමෙන් ගොඩබිම සහ සාගර නිර්මාණය වූ බවත් භූගෝල විද්‍යාඥයෝ පවසති. එසේ නිර්මාණය වූ භූතල අතරින් ශ්‍රී ලංකාවද එකක් බව ඔවුහු පවසති. අප රට උණුදිය උල්පත් මේ භූ ඉතිහාසයේ කොටසකි.

උණුදිය උල්පත් ඇතිවීමට හේතු භූ විද්‍යාවේ සඳහන්ව ඇත. ඒ අනුව පෘථීවි අභ්‍යන්තරයේ සිට පෘථිවි පෘෂ්ඨය මතුපිටට පැමිණෙන උණුවූ පාෂාණ වලින් (මැග්මා) තාපය නිකුත්වන අතර, ඒවායින් පෘථීවිය තුළ ඇති ජල තැන්පත්වල හා පෘථීවියේ ඇති පැලුම් තුළින් ගලායන භූගත ජලය රත්වී පෘථිවියේ කුහර තුළින් මතුපිටට පැමිණීම, පෘථිවියේ ඇති පාෂාණවල ඇතිවන තාපය පිටවී ඒ වටා ඇති ජලය රත්වී පෘථිවිය මතුපිටට පැමිණීම හා පෘථිවි කබල අභ්‍යන්තරයේ සිසිල් වෙමින් පවතින මැග්මා මඟින් නිකුත් කරන උෂ්ණත්වය නිසා භූ අභ්‍යන්තරයේ ඇති ජලය රත්වී පෘථිවි පෘෂ්ඨය කරා පැමිණීම ආදිය උණුදිය උල්පත් ඇතිවීමට හේතු වේයැයි පැවසේ.

ලංකාවේ ඇති උණුදිය උල්පත් අතරින් වැඩිම සශ්‍රීකව පිහිටා ඇත්තේ ලංකාවේ නැඟෙනහිර වෙරළ, ආසන්නයේය. රූස්ස කැලෑවල හා වගුරුබිම්වලද උණුදිය උල්පත් කිහිපයක්ම ඇත. දැනට වාර්තා වී ඇති ආකාරයට ලංකාවේ උණුදිය උල්පත් දහයක් පමණ ඇත. මෙයින් වඩාත්ම උණුසුම් උල්පත් දෙක වන්නේ මහඔය පිහිටා ඇති කපුරුල්ල උල්පත සහ මහඔය උල්පත්ය. කපුරුල්ල උෂ්ණත්වය සෙල්සියස් අංශක පනස්පහක් වන අතර, මහඔය උල්පත ද සෙල්සියස් අංශක පනස්පහකින් යුක්තය. වඩාත්ම දේශීය හා විදේශීය සංචාරකයින් අතර ජනපි‍්‍රය උණුදිය උල්පත් වන්නේ ත්‍රිකුණාමලයේ පිහිටි කින්නියා උල්පත් සංකීර්ණයයි. මෙය උල්පත් හතකින් යුක්තය. මෙය දිනපතා සංචාරකයන්ගෙන් පිරී ඇත. මෙහි ජලය ස්නානය කිරීමෙන් සමේ රෝග ඇතුළු රෝග රාශියක් සුවවන බවට ජනතාව අතර විශ්වාසයක් පවතී. මේ දිය නෑමෙන් දේවාශිර්වාදය ලැබෙන බව දෙමළ ජනතාව පවසති. මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් දෙකක් පමණයයි පැවසේ.

වැඩිම උෂ්ණත්වය රැඳි උල්පත් දෙකට අමතරව පදියතලාව, ඉඟිනියාගල, වැලිකන්ද, ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල, මුලතිවු සහ අම්බලන්තොට ආදි ප්‍රදේශවලද උණුදිය උල්පත් ඇත.

ස්වාවික සම්පත්වලින් පිරුණු අපේ රටට සොබාදහම විසින් දායාදකර ඇති දුර්ලභ ගණයේ උණුදිය උල්පත් රටේ සංවර්ධනය සඳහාත් විදේශ විනිමය ඉපයීම සඳහාත් උපයෝගි කරගත හැකි වුවත් මෙතෙක් බලධරයන්ගේ ඇස් ඒ දෙස යොමු වී ඇත. විනිමය උල්පත් වශයෙන් යොදා ගැනීම සඳහා සංචාරකයන් කැඳවා ගැනීම උදෙසා ළිං බැඳ ඒ අවට අප රටට ආවේණික ශාක වර්ග, ඖෂධ ශාක, දේශීය මල් වර්ග වගා කළ උද්‍යාන, ගෙවතු වගා, පලතුරු වගා ස්ථාපිත කළ යුතුව ඇත. එමෙන්ම පැරැණි මුළුතැන්ගේ මෙවලම්, ගොවි මෙවලම්, සංගීත භාණ්ඩ කුටි පිහිටුවා ළිං අවට වඩාත් ආකර්ෂණීය කළ හැකිය. අපනයනය සඳහා උණුදිය බෝතල් කර හැකිය. එයට අමතරව නොයෙක් චර්ම රෝග නිවාරණය සඳහා යොදා ගැනීම සහ බලශක්ති වශයෙන් විදුලිය නිපදවීමද කළ හැකිය. විනිමය හිඟයෙන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති අපි මේ සම්පත් කෙරෙහි යොමු නොවන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්නයකි.

පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි 
තලාතුඔය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.