වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
තවුසන්ගේ දැහැන් බිඳි නාරි රුව
පසුගිය සතියෙන් ....
නාරිලතා පුෂ්ප තවුසන්ගේ ශීල භේදයට පැමිණ වීමෙහි සමත් වූ බව අලඹුස ජාතකයෙන් පෙන්වා දී ඇත. ඍෂිව උපන් බෝධි සත්වයෝ, මුව දෙනකුගෙන් උපන් තම පුත් “ ඉසිසිංග“ යන් සමඟ “ නාරිවාහන නම් වනයට ගොස් එහි පිපුණාවූ මල්කැන් දක්වා කියන්නාහු “එම්බා පුත. මේ හිමාලයෙහි මේ මල් හා සදාශ වූ ස්ත්‍රීහු නම් ඇත. ඔවුහු තමන් වසඟයට පැමිණිය උන් මහත් වූ විනාශයට පමුණු වන්නාහ” යි කීවෝහ. මෙහි නාරිලතා පුෂ්පම තවුසන් ශීල භේදයට පමුණුවන බව නිශ්චය වශයෙන් නොකීවද එම පුවත ස්ථිර කරන වන්නම් හා සව්දම් පැරණි සිංහල ජනකවි අතර ඇත.
පැරණි වන්නම් නමැති රාජකීය පණ්ඩිත කිරිඇල්ල ඥාාණවිමල ස්වාමිපාදයාණන් විසින් රචිත කෘතියෙහි දැක්වෙන පරිදි මෙසේය. සුන්දර පිරි නංග පෙම්බරී හට නිගා කරන ... නන්දනවන නාරිපිඤප්රී...
සුරලොව බැලුවත් එහි නැත
නා ලොව බැලුවත් එහි නැත
බඹලොව බැලුවත් එහි නැත
සව් සිරි පිරි මනුලොව හිමගත මිස මේ දිනි පියව නා සුන්දර....
වඩන බවුන් ඇත ගරු තර
තවුසො මුත් ඇත සම හර
දැහැනෙන් පිරිහෙති කර දර
නාරි සලෙලු මන පිනවන ඉතිරියැ කැයි
සිතා රාගෙන
සුන්දර.....
ඉතිරි රුවක සිරිය දරන
වැතිර අරණ තැනෙක පිපෙන
නොතිර කුසුම මන වඩවන
ලොව්තුරු මුනිදහම් විලස නාරිලතා
කියා දෙනු මැන
සුන්දර....
හිමාලයෙහි මිස අන්තැ න
නිමා නැතුව සෙව් මුත් පැ න
පමා වේය සොයනට දැ න
සමා සිතින් සතර දහම් බැලූ අයට පෙනේ
මන මෙනා
තවද සිංහල වන්නම් සහ සව්දම් අතර දැක්වෙන මතු සඳහන් ජන කවියෙන් ද කෙරෙන්නේ නාරිලතා පිළිබඳ මිහිරි වර්ණාවකි. නාරිලතා ඇසුරු කොට ඇත. කාමාසක්ත ලක්ෂණය පමණක් නොව සිංහල සිත්තරා එය සිතුවමකට හෝ කැටයමකට තනා ඇති ස්වරූපයද එයින් කියැවෙයි.
සිරි දැරු - සිරි දැරු මල් උයනේ අතරු ලතුරු
බඹරු ලතා ව යි
හිමගිරි කුළුඅරණේ - හිමගිරි කුළුඅරණේ එම මල වරුණ නාරිලතාවයි
දුටුසත කුල්මතිනේ දුටුසත කුල්මතිනේ දසත දෑත සුවඳ පැතිරෙයි
සුරඟන නටන මෙනේ සුරඟන නටනු මෙනේ දමන දෑත ඔමරි ලතාවයි
තපසුත් නැත එවනේ තපසුන් නැත එවනේ දුටුවොත්
සීලබේ වෙයි
ඉපැරණි කලා කෘතීන් සඳහා චිත්‍ර හෝ කැටයම් නිර්මාණය පිණිස වනිතා රුව යොදා ඇති බව මැනවින් සාධක තිබේ. මහනුවර යුගයේදී සිංහල සිත්තර ලී කැටයම් සඳහා ද පිත්තල කැටයම් වලදී ද ඇත්දළෙන් නෙලන කැටයමටද ලෝහ කැටයම් කරන විටදී ද සිතුවමට නැඟීමට ද ඇඳීමට ද කාන්තා රුව යොදා ගන්නා ලදී. ඉතා සියුම් උපකරණ නිම කරන්නට ඇත්දළ සඳහා කාන්තා රුව යොදාගෙන කන්හැන්දක් වැනි සියුම් උපකරණයක් යොදා ගන්නා ලදී. එමෙන්ම විහාර දේවාලයන්හි දොර, ජනෙල්, කවුළු සඳහා ද මුදුන්හි සැරසිලි සඳහා ද ලොකු කුඩා නොයෙක් අන්දමේ සැරසිලි වලදී “ නාරි රූපය” යොදාගෙන ඇත. නාරි රුව මෙතරම් ජනපි‍්‍රය වීමට හේතුව කුමක්දැයි සිතන විට තීරණය කළ හැකි වන්නේ “ නාරිලතාව“ එනම් ස්ත්‍රියාව සෑමවිටෙකම පුරුෂයාගේ ශරීරයෙහි වෙළී ලතාවක් ලෙස සිටීමට කැමැති නිසාවෙනි. සෝමලතා, චන්ද්‍රලතා, ඥාාණලතා, සිරියලතා යනාදී වශයෙන් කාන්තාව වැලකට සමාන කොට තිබීම මෙහි විශේෂතාවයකි. වැලක් සෑම මොහොතකදීම ගසක් ආශ්‍රය කොට වැඩෙන්නකි. ගසක ආධාරය කරගෙන, ගසේ වාරුවෙන් හැදෙන නිසාම යුගල පදයක් ලෙසින් ගස් වැල් යන්නෙන් හැඳින්වේ.
ස්ත්‍රී රුව සුන්දර බවේ සංකේතයක් බව කියන කවියා
කන්ද කපා හඳ පායන වා
ලන්ද අඳුර දුරු වී යන වා
සීතල සුළඟට බනිමින්
දෑතම පටලා ගනිමින් සොඳුර මගේ ළඟට ඇදෙනවා
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල වටින් එන ඩහදිය මුතුකැටියේ
අතපා මුදු පය පාමුදු වෛරොඩියේ
මට පිටුපා ගෙට යනවද සුරතලියේ...
තම ආදරවන්තියට එසේ අමතන කවිකාර පෙම්වතාගේ මනස සුන්දර සිතුවිලිවලින් මිහිරි අදහස් වලින් ගැවසී ගත් සෙයක් මෙහිදී පිළිබිඹු වන්නේය. එදා කුල කාන්තාව ඇයගේ සුන්දර ලාලිත්‍ය ඔප වන සේ ඇඳි සංවර ඇඳුම වන රෙද්ද හැට්ටයද ඔසරියද සිංහලකම සුරැකෙන පරිදි සැරසී ආයිත්තම් විණි.
වර්තමාන කාන්තාව දියුණු යැයි සැලකෙන සමාජයට අවතීර්ණය වීමත් සමඟ ඇයගේ සංවර ගති සිරිත් සහ ඇඳුම පැළඳුමද සංකර විණි. එනමුත් 25%ක තරම් වර්ණාව තවමත් සංකරභාවයට පත් නොවී නොකැළැල් ජීවිතයකට උරුමකම් පාන්නට තරම් සංවර බවකින් සිටිම මේ සිංහල ජාතිය යැයි පැවසීමට යම්තම් අවකාශයක් ලබා තිබීම ද පුදුම සහගතය. වර්තමානයේ මහ මග බැසයන මවද පියකු දුවද පුතාද දිගු කලිසම් හෝ ටීෂර්ට් වලිනි සැරසීගෙනයැ. වරෙකට පියාට තම බිරිඳ හෝ දියණිය එකවර හඳුනා ගැනීමට පවා අපහසු වන්නේද මෙම අසංවර ලීලෝපිත ඇඳුම් නිසා විය හැකිය. සිංහල කම රැකීමට ජාතික ඇඳුමක් ලෙස පුරුෂ පක්ෂයට නියමිත ජාතික රෙද්ද බැනියම ද සිංහල කුල කත හැඳ රෙද්ද ( ඔසරිය) හැට්ටය අනාගතයේදී නැත්තටම නැති වී යා හැකිය. අපේ ජාතික ඇදුම හෙළකම, හෙළ බව ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනිතොත් එය ජයග්‍රහණයක් බව පවසමි.
පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය
සුසිලා නාලිනී ගොඩලියද්ද