දැයට සමුදුන් අමරපුර මහා සඟ රජු

අප්‍රේල් 2, 2021

අපේ කොටුගොඩ මහ නා හිමියන් තරුණ ස්වාමීන් වහන්සේ නමක් ලෙස පුවත්පත් වලට ලිපි ලියන සමයේ මහ පුත්‍ර කලාගුරු ඩී.බී. ධනපාල සූරින්ගෙන් පණිවිඩයක් නා හිමියන්ට ලැබුණේ කොළඹ ගුණසේන මාවතේ “දවස නිවස” ට වැඩම කරවන ලෙසයි. ඇරයුම පිළිගත් කොටුගොඩ මා හිමියෝ ඩී.බී. ධනපාලයන් හමුවූහ. ස්වාමීන් වහන්සේට අසුනක් පැනවූ ධනපාල මහතා මෙසේ කියා ඇත. “ඔබ වහන්සේ මට එවන සේරම ලිපි මම කියවනවා.එම ලිපි අපේ පාඨකයන්ටත් රටේ පාලකයන්ටත් ඉතා වටිනවා.

 

ලෝ සත හට ඉතා ලිහිල් බසින් ශ්‍රී සද්ධර්මය දේශනා කළ දහමේ සුවය සොයන සියලු දෙනා හට ඉතා සරල බසින් දහම් පොත පත ලියා පළකළ මහා දහම් ආලෝකය පසුගිය විසි දෙවනදා නිවීගියේ මෙරට වැඩ සිටි සුපේෂල ශීක්ෂාකාමී තවත් මහතෙර නමකගේ වියෝව සිරිලක සාසන වංශ කථාවේ සනිටුහන් කරමිනි. උන් වහන්සේගේ අපවත්වීමෙන් හිස්වුණ ධර්මාසනයට එවන් මහ තෙර නමක් යළි වඩා හිඳුවීම සිතන තරම් ලෙහෙසි පහසු නැත.

 

අපේ කොටුගොඩ මහ නා හිමියන් තරුණ ස්වාමීන් වහන්සේ නමක් ලෙස පුවත්පත් වලට ලිපි ලියන සමයේ මහ පුත්‍ර කලාගුරු ඩී.බී. ධනපාල සූරින්ගෙන් පණිවිඩයක් නා හිමියන්ට ලැබුණේ කොළඹ ගුණසේන මාවතේ “දවස නිවස” ට වැඩම කරවන ලෙසයි. ඇරයුම පිළිගත් කොටුගොඩ මා හිමියෝ ඩී.බී. ධනපාලයන් හමුවූහ. ස්වාමීන් වහන්සේට අසුනක් පැනවූ ධනපාල මහතා මෙසේ කියා ඇත. “ඔබ වහන්සේ මට එවන සේරම ලිපි මම කියවනවා.එම ලිපි අපේ පාඨකයන්ටත් රටේ පාලකයන්ටත් ඉතා වටිනවා. ඒ නිසා මා ඔබ වහන්සේ එචන ලද කිසිම ලිපියක් අපතේ නොදමා පළකළා. මා ඔබ වහන්සේට පත්තර කන්තෝරුවට වැඩම කරන ලෙස ආරාධනා කළේ ඔබ වහන්සේට තව තවත් ලියන්නට කියා ඇරයුම් කිරීමටයි. ඒ වගේම ඔබ වහන්සේ කවුදැයි කියා දැක බලා ගන්නටයි. එසේ පැවසූ ධනපාල මහතා තමාගේ මේසය මත තිබූ සීනුවක් නාද කළේය. සේවකයෙක් පැමිණින. “ ගිහින් වතුරේගමට එන්න කියන්න “ ධනපාල මහතා සේවකයාට පැවසීය. ටික වේලාවකින් ජාතික ඇඳුමකින් සැරසුණ උපැස් යුවළක් පැළඳී තලතුනා වියේ මහත්මයෙකු ධනපාල මහතා අසලට පැමිණින.

 

පත්‍ර කලා දිවියේ ඇරඹුම

 

“ වතුරේගම, මේ තමයි අපේ පත්තරවලට ලියන කොටුගොඩ ස්වාමීන් වහන්සේ. මම මේ හාමුදුරුවෝ ඔබට භාර කරනවා. ඉදිරියේදී මේ හාමුදුරුවෝ එවන ලිපි අපේ පත්තරවල ඉහළ තැනක් දීල පළකරන්න”. පෝය සඟරාවට නොවරදවාම විශේෂ ලිපියක් ලියා ගන්න”. ධනපාල මහතා අණ කළේය. කොටුගොඩ හාමුදුරුවන්ට ගිලන්පස සංග්‍රහයක්ද පිදූ ධනපාල මහතා මෙසේද කීය. “ ඔබ වහන්සේට රටක් වටින සේවයක් කරන්න පුළුවන්. තව තවත් ලියන්න. වතුරේගමට ලියන ලිපි සියල්ල එවන්න.” ධනපාල මහතාගෙන් සමුගත් කොටුගොඩ හාමුදුරුවෝ විමලේන්ද්‍ර වතුරේගම මහතා සමඟද කථාකර යළි ගල්කිස්සේ ධර්මපාලාරාමයට වැඩම කළේ ඉමහත් සතුටිනි.

සඵල වූ අනාවැකිය

 

වෙනදාටත් වැඩියෙන් ලියන්නට කොටුගොඩ හිමියන් පෙළඹුණේ පෝය දවස සඟරාවේ “සඟබෝ සීයා” යන අන්වර්ථ නාමයෙන් පොඩි දරුවන්ට ලිපි පෙළක් ලියූ අතර දහම් ලිපි රාශියක්ද, තම නමින් එම පුවත්පතට යොමුකර පළ කරවා ගත්තේය. දවස, රිවිරැස පුවත්පත් වලට ලිපි ලියූ කොටුගොඩ හිමියන්ට ධනපාල මහතා මසකට වරක් හෝ මා හිමියන් ගෙන්වාගෙන උපදෙස් දුන්නෙ ඉතා ලෙන්ගතුවය. පැවිදි වී ටික කලකින් රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනට වැඩම කළ කොටුගොඩ පුංචි හාමුදුරුවෝ ඉන්පසු අධ්‍යාපනය ලබන්නට වැඩම කළේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනටය. දිනපතාම ගල්කිස්සේ සිට බස් රථයෙන් මාලිගාකන්දට වැඩම කරන කොටුගොඩ හිමියන්ට කොළඹ නැවතී පිරිවෙනට වැඩම කිරීමට නොහැකි වූයේ තමාගේ පැවිදි ආචාර්යෝත්තම උණවටුනේ ධම්මපාල මා හිමියන් රෝගීව සිටින නිසාය. උන්වහන්සේට ඇප උපස්ථාන කිරීමට වෙනත් කෙනෙකු නොවු බැවින් තමන් වහන්සේ අතින්ම එය ඉටුකළ යුතු හෙයින්, දිනක් බස් රියෙන් මාලිගාකන්දට වඩිනවිට එම බස් රථයට වැඩම කළේ තමන් වහන්සේට වඩා වැඩිමහල් හිමි නමකි. උන්වහන්සේ කොටුගොඩ පුංචි හාමුදුරුවන් ළඟින්ම වාඩිවී කොටුගොඩ හාමුදුරුවන්ගෙන් කරුණු විමසමින් කතා කළේ ඉතා ලෙන්ගතුවය. මේ හාමුදුරුවන් තමන්ගේ ගමනාන්තයට පිවිසෙන්නට ළඟා වූ විට කොටුගොඩ හාමුදුරුවන්ට අනාවැකියක් කීමට අමතක කළේ නැත. එම අනාවැකිය වූයේ “ කවදහරි ඔය පොඩි හාමුදුරුවෝ මේ රටේම ප්‍රසිද්ධ ධර්ම දේශකයෙක් වෙනව. හොඳට ඉගෙන ගන්න. බණ කියන්න පුරුදු වෙන්න.” ඒ වැඩිහිටි හාමුදුරුවෝ උපදෙස් දුන්හ. මට මෙහෙම කියන හාමුදුරුවන්ගේ නම, ගම දැනගැනීමට කොටුගොඩ හාමුදුරුවන්ට ඇතිවූයේ ලොකු ආසාවකි. “ ලොකු හාමුදුරුවන්ගේ නම මොකද්ද?” කොටුගොඩ හාමුදුරුවෝ ඇසූහ. “මගේ නමද?” කිරිඇල්ලේ ඥාණවිමල හාමුදුරුවෝ පැවසූහ. තවත් ප්‍රශ්ණයක් කොටුගොඩ හිමියන්ගේ සිතේ නලියමින් තිබුණා. “ කොහොමද මම ධර්ම කථිකයෙක් වෙනව කියලා ලොකු හාමුදුරුවෝ කියන්නේ.” “ මම ඒක පැවසුවේ පොඩි හාමුදුරුවන්ගේ තොල් දෙක පිහිටල තිබෙන සැටියෙන්. ඒක දේහ ලක්ෂණවලට අයිති දෙයක්. “ එසේ කියූ ඥාණවිමල හාමුදුරුවෝ අතරමඟදී බසයෙන් බැස වැඩම කළහ.

 

දින චර්යාව

 

නායක හාමුදුරුවන්ගේ ලේකම්වරයා ලෙස මා වසර කිහිපයක් කටයුතු කළේ උන්වහන්සේ අමරපුර මහ සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ධූරය දරන සමයේදීය. නායක හාමුදුරුවන්ගේ ජීවිතයේ රසමුසු තැන්, දුක්මුසු තැන් නා හිමියන්ගෙන් විමසූ විට මා සමඟ නොයෙක් වර පවසා ඇත. නා හිමියන් එම තනතුර දරණ කාලයේ බොහෝ ධර්ම පත්‍රිකා හා පොතපත ලියන්නට මට වරම් ලැබුණි.

පාන්දර හතරට පමණ අවදි වී ඇඳ මතම සිට නව ගුණ වැල රැගෙන පැයක් පමණ භාවනා කරන අපේ නායක හාමුදුරුවෝ උදේ 6.30 ට පමණ තෙල්, මල් සමඟ හඳුන්කූරු රැගෙන, පත්කඩයක්ද ගෙන චෛත්‍ය වහන්සේද, බෝධීන් වහන්සේද, බුදු මැදුරද වන්දනා කර යළි කුටියට පැමිණ ගිලන්පස වළදා, එදිනට පළවූ පුවත්පත් රැගෙන කියවා අවසන්ව හීල දානයට පාත්තර තැටියද රැගෙන දාන ශාලාවට වැඩම කර දන් වළදා අවසන්ව වැඩම කරන්නේ තමාගේ ලියන මේසය අසළටය. පුටුවේ අසුන් ගන්නා නා හිමියෝ දිනපොත හරවා බලා එදිනට යොදාගෙන තිබෙන වැඩ කටයුතු විමසා බලති.

ධර්ම දේශනා, පාංශුකූල, නිකායේ රැස්වීම්, නායක උත්සව, රාජ්‍ය සාකච්ඡා, විශේෂිත නියෝජිත හමු, දහම් පාසල් උත්සව, පොත් දොරට වැඩීම්, විදේශ නියෝජිතයින්ගේ හමුවීම්, මැති ඇමතිවරුන්ගේ පැමිණීම්, විවිධ ස්ථානවල ධර්ම දේශනා ආදියෙන් දිනපොත පිරී ඇත. සියල්ල කාලසටහනට අනුව සිදුකිරීම නා හිමියන්ගේ සිරිතයි. නියමිත වේලාවටම නා හිමියන් අදාළ තැනට වැඩම කරති. තම කාර්ය ඉටුකළ විටම නැවත තම ආරාමයට වැඩම කිරීම නා හිමි පිළිවෙතයි. දහවල දානයෙන් පසු විනාඩි 15 ක් පමණ විවේක ගන්නා නා හිමියන් රාත්‍රී දහයෙන් පසු අනිවාර්යනේම රාත්‍රියට සැතපීම සිදුකරති.

පන්සලේ වැඩ සිටින විට සියලුම විවේක වේලාවන් ගතකළේ ශ්‍රී සද්ධර්මය ලේඛණගත කිරීමටයි.

මාසිකව පළකරන බෞද්ධෝදය ධර්ම පත්‍රිකාව සැකසුවේ විශේෂ වගකීමකිනි. එය පොහෝ දිනට සති දෙකකට පෙර ලිවීම ආරම්භ කරති. නා හිමියෝ පත්‍රිකාවට තේමාව යොදාගෙන එය ලියන්නට ආරම්භ කරනුයේ දුරකථනය විසන්ධි කර තැබීමෙනි.

වසර කිහිපයක් නා හිමියන් දේශනා කරන කරුණු නා හිමියන් කියන විට මා ලියාගෙන යමි.

ප්‍රථමයෙන් ගාථාව කියා එහි තේරුම සිංහලෙන් පවසති. ඊළඟට පාලි ගාථාවේ වදන් එක එක ගෙන එහි තේරුම පවසති. එයින් පසු ගාථාවට අදාළ ප්‍රවෘත්ති කථාව දේශනා කරති.

යළි අතරමඟ එය නවත්වා ලියූ කොටස් මුල සිට කියවන ලෙස ඉල්ලා එය කියවූ පසු යළි ඉතුරු කොටස් කියාගෙන යති.

“ මහත්තයෝ ඔය ධර්ම පත්‍රිකාව රට පුරාම යනවා. ඕක කියවන්නේ විශ්ව විද්‍යාලවල ළමයි, ආචාර්ය, මහාචාර්යවරු නෙවෙයි ගම්වල සිටින අහිංසක උපාසක අම්මලා, උපාසකවරු. ඒ අයට තේරෙන භාෂාවෙන් වටහ ගන්න පුළුවන් විදියට ලියනව මිසක් මගේ අග්ග මහා පණ්ඩිතකම,

ත්‍රිපිටක විශාරද බව පෙන්වන්න ලියන එකක් නෙවෙයි.” දහම් පොත පත ලියන්නේද එසේ සිතාය. නායක හිමියන්ට ස්වභාවයෙන් යම් යම් අමතක වීම් ඇත.

නමුත් කිසි විටෙක භෞතික දේ අමතක වුණත්, ධර්මය නම් අමතක නැත. අසවල් පොතේ මෙහෙමයි, අනිත් පොතේ තිබෙන්නේ මෙහෙමයි, ගුරුළුගෝමී ලියුවේ වෙනත් විදියකටයි යන්න සියල්ල කට පාඩම්ය. මතකයේ පුණ්‍යය මහිමය එසේය.

දිනෙක නා හිමියන් මා අමතා පැවසුවේ “සොයිසා මහත්තයා මට ටිකක් සීනි වැඩියි වගේ දැනෙනවා. එහෙම වුණාම තම්බල බොන බෙහෙත් කසායක් තිබෙනවා. මේ බෙහෙත් සීට්ටුවේ තිබෙන බෙහෙත් බඩු ටික ගෙනත් දෙන්න. තම්බල බොන්න. “ නා හිමියෝ බෙහෙත් සීට්ටුවක් මා අත තැබූහ. මා දෙහිවල නගරයට ගොස් බෙහෙත් බඩු ටික ගන්නා අතර එහි සිටි වෙළඳ මහතා පැවසුවේ “ දැන් මේ බෙහෙත් වර්ගය අතුළත් කර අලුත් බෙහෙත් වර්ගයක් හදලා තියෙනවා. ඒක මේවා තම්බ තම්බ ඉන්නවට වඩා බොන්න ලෙහෙසියි යනුවෙනි”. නමුත් නා හිමියන්ගේ කැමැත්ත අලුත් නිෂ්පාදන නොව පැරණි ක්‍රමයට සකසා පානය කිරීම බව මා දන්නා නිසා ඒ අලුත් බෙහෙත් නිෂ්පාදනයේ පත්‍රිකාවක්ද ඉල්ලාගෙන නා හිමියන් පැවසූ බෙහෙත් වට්ටෝරුවට අනුව සියල්ල රැගෙන අවුත් නා හිමියන් අතට දුනිමි. ආරාමයේ සිටින සේවකයෙක් කැඳවා එම බෙහෙත සකසන අයුරු කියාදුන් නා හිමියෝ මා අත තිබෙන කොළය කුමක්දැයි විමසූහ. මා එවිට එම බෙහෙත ඇතුළත් නව නිෂ්පාදනය ගැන කීවෙමි.

දැන් මේ බෙහෙත බිලා සුවයක් නොලැබුණොත් ඕකත් ගෙනත් බලමු. නා හිමියන් පැවසූහ. ඒ අතර නා හිමියන්ගේ කාර්යාල කාමරය අසළ සුදු ඇඳගත් මැදිවියේ කාන්තාවක් සිටිනු දකින්නට ලැබිණි. මා එතුමිය ළඟට ගොස් පැමිණියේ කුමක් සඳහාදැයි විමසීය. නායක හාමුදුරුවන්ගේ දහම් පොතක් කියවූ පසු උන්වහන්සේ දකින්නට ආසාවක් ලැබුණ බවත්, නායක හාමුදුරුවෝ දැකල වැඳල පුදල යන්නයි ආවේ. එතුමිය මට පැවසුවාය. මෙවන් අය නිතර නිතර ආරාමයට එන එක සිරිතක් නිසා මහ නාහිමියන්ට ඇයගේ පැමිණීම ගැන පැවසුවෙමි. එවිට නා හිමියන් සිය කාර්යාලයට පැමිණ තම ආසනයේ වැඩ හිඳ ගත්හ.

පැමිණි මාතාව රැගෙන එන ලද පාර්සලයක් මේසය මත තබා නා හිමියන්ට තෙවරක්ම වැඳ, අවසන්ව “ අපේ හාමුදුරුවන්ට සුදුසුයි කියලා හිතෙන බෙහෙතකුත් මම ගෙනාවා. “ කියා මේසය මත තිබුණු කුඩා පාර්සලය නා හිමියන්ට පූජා කර පසුව නා හිමි සුවදුක් විමසා, ධර්ම කරුණු කිහිපයක් අසා දැනගෙන ඇය ආරාමයෙන් පිටව ගියේ ඉතා සතුටිනි.

 

බෙහෙතේ අනුහස

 

මේ උපාසක අම්මා පූජාකළ බෙහෙත කුමක්දැයි බලන ලෙස නා හිමියන් මා අත එම කුඩා පාර්සලය තැබීය. මා එය විවෘත කර බැලීමි. පුදුමයකි එහි තිබුණේ මා මීට පෙර දෙහිවල බෙහෙත් සාප්පුවෙන් දැන විමසාගෙන පැමිණි විස්තර පත්‍රිකාවේ තිබුණ බෙහෙත් බෝතලයකි. නා හිමියන්ට මම මේ පුදුමය කීවේ මාගේ මවිතයද ප්‍රකාශ කරමිනි. නමුත් නා හිමියෝ පුදුම වූයේ නැත. හැබෑට ඒ බෙහෙතමද? හාමුදුරුවෝ ඇසූහ. මම මා ගෙනා විස්තර පත්‍රිකාවත්, ලැබුණු බෙහෙතත් නා හිමියන්ට පෙන්වා විස්තර කළෙමි. ඒ කිසිවත් අසා පුදුම නොවූ නායක හාමුදුරුවෝ මට පැවසුවේ ඔය වගේ දේවල් මම තරුණ කාලයෙත් වෙලා තියෙනවා. පුදුම වෙන්න දෙයකුත් නැහැ. අපේ වුවමනාව කාටහරි දැනෙනවා ඇති.

නා හිමියෝ ලියමනේ තිබෙන බෙහෙතට පෙර අලුතෙන් ගෙනා බෙහෙත වළඳා සුවය ලැබූහ.

කොටුගොඩ මහා නා හිමියෝ යනු එවන් ආශ්චර්යවත් මහ හිමි නමකි.

 

ජන්ම ලාභය

 

අපේ මහානායක හාමුදුරුවෝ මෙලොව එළිය දුටුවේ මීට වසර අසූ අටකට පෙර 1933 ජනවාරි 26 වෙනිදාය. නායක හාමුදුරුවෝ නිඹුල් දරුවෙකි. එදිනට තවත් සොහොයුරික්ද උපත ලබා ඇත. පියාණන් වූයේ වැවිවිලිකරුවකු වූ ඇඳවිතාරණගේ හරමානිස් රුද්‍රිගු උපාසක මහතාය. මෑණියන් වූයේ ඇඳවිතාරණගේ සෙලෙස්තිනා රුද්‍රිගු මාතාවය. ගිහිකල සිරිමෙවන් රුද්‍රිගු නමින් හැඳීන් වූ කොටුගොඩ හාමුදුරුවෝ කුඩා කල පාසල් අධ්‍යාපනය ලැබුවේ කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන්ය. කොටුගොඩ පිහිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේය.

 

පැවිදි දිවියට

 

නායක හාමුදුරුවන්ගේ පැවිදි බව අහම්බයෙන් සිදුවූවකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ගමේ දරුවන් සවස් කාලයේ ගමේ පන්සලට පැමිණෙන්නේ සිංහල පාලි සහ බුදු දහම හොඳීන් දැන උගෙන ගන්නටය. සිරිමෙවන් රුද්‍රිගු නමින් හැඳීන් වූ මෙම දරුවාද ගමේ පන්සලට පැමිණ සවස් කාලයේ උගත්හ. පන්සලේ නායක හාමුදුරුවන්ට එක් දිනක් ලැබුණු ලිපියක් බිම වැටී තිබෙනවා දුටු සිරිමෙවන් ළමයා එය රැගෙන කියවා බැලීය. ලිපිය එවා තිබුණේ කොළඹ පැත්තේ වෙසෙන හාමුදුරු නමකි. ලිපියේ සඳහන් වූයේ ඒ හාමුදුරුවන්ට පැවිදි කිරීමට දරුවෙක් අවශ්‍යව සිටින බව කොටුගොඩ පන්සලේ හාමුදුරුවන්ට බොහෝ අවස්ථාවල කියා සිටියේ එසේ දරුවෙකු සොයා නොදීම ගැන සිත් වේදනාවෙන් සිටින බවත් එය ඉටු නොවීම ගැන සිත් වේදනාවෙන් සිටින බවත් තමන් වහන්සේ අධික රෝගී බවින් පසුවෙන හෙයින් ගෝල හිමි නමකගේ අවශ්‍යතාවය තදින් දැනෙන බවත් ලිපියේ සඳහන් වී තිබුණි.

මෙම ලිපිය කියවූ මෙම දරුවා ඒ ලිපිය පෙන්වා පන්සලේ හාමුදුරුවන්ට පැවසුවේ එම හාමුදුරුවන් ළඟට ගොස් පැවිදි වීමට තමන් කැමති බවය. ඒ වන විට මෙම දරුවාගේ වයස අවුරුදු 15 කි. ඒ ගැන පන්සලේ නායක හාමුදුරුවෝද පුදුමයට පත්වූහ. දෙමාපියන්ගේ අවසරය මත ගල්කිස්සට පැමිණ වර්තමාන ධර්මපාලාරාමයේදී 1948 අගෝස්තු 17 වෙනිදා සිරිමෙවන් රුද්‍රිගු දරුවා කොටුගොඩ ධම්මාවාස නමින් පැවිදි දිවියට ඇතුළත් වූයේ එම ආරාමයේ වැඩ විසූ උණවටුනේ ධම්මපාල මා හිමියන්ගේ අචාර්යත්වයෙනි.

පූජ්‍ය උණවටුනේ ධම්මපාල මා හිමියෝ අධික ලෙස ඇදුම රෝගයෙන් පීඩා විඳී හිමි නමකි.

උන්වහන්සේ නිතර වෛද්‍ය ප්‍රතිකාර ගැනීම පිණිස ගාල්ලේ උණවටුනේ සිට පැමිණෙන්නට සිදුවීම තවත් මහත් පීඩාවක් විය. මේ නිසා කොළඹ ප්‍රදේශයේ ආරාම වල නැවතී සිටිමින් ඖෂධ ප්‍රතිකාර ගන්නට වූහ. තමාගේම තැනක් තිබුණොත් වඩාත් පහසු බව ධම්මපාල හිමියන්ට පෙනී ගියත් එවන් තැනක් සොයා ගැනීම අපහසු විය. මේ අතරේදී නා හිමියන්ට සැදැහැවත් මහත්මයෙක් හමු විය. “ආබ්‍රේව් මහත්මයා” නමින් හැඳීන් වූ මෙතුමා බලපිටියේ කොස්ගොඩ ප්‍රදේශයෙන් පැමිණ කොළඹ පදිංචිව සිටින අයෙකි. ධම්මපාල හිමියන්ගේ අවශ්‍යතාවය තේරුම්ගත් ආබ්‍රේව් මහත්මයා ඒ හිමියනට වර්තමානයේ ධර්මපාලාරාමය පිහිටි තමාට අයත් ඉඩමෙහි පර්චස් 10 ක් පූජා කළේය. ලෑලිගසා පොල් අතු සෙවිළි කර ආවාසයක් තනාගෙන ධම්මපාල නා හිමියෝ මෙහි වැඩ වෙසෙන්නට වූහ.

කොටුගොඩ ධම්මාවාස හිමියෝ පැවිදි වූයේ මෙම පුංචි ආවාසයේය. උදයේත්, දහවල් කාලයේත් පිඬු සිඟා ඇවිද දානය සොයා ගත්හ. සවස රත්මලානට පිරිවෙන් ගියහ. දවසේ වැඩි කාලයක් ගත කළේ නායක හාමුදුරුවන්ගේ රෝගී තත්ත්වයට උවටැන් කිරීමටය. විද්‍යොදයට ගොස් අධ්‍යාපනය ලැබුවද පිරිවෙන් අධ්‍යාපනය අතරමගදී නැවතිනි. නමුත් කොළඹ 07, පෙම්බ්‍රොක් විද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි භාෂාව හොඳීන් උගත්හ. දෙමටගොඩ ධර්මදූත විද්‍යාලයේද අධ්‍යාපනය ලැබූහ. 1953 වසරේදී අමරපුර මහා නිකායේ උපසම්පදාය ලබා ගත්හ. 1967 දී සිදුවූ සිය ආචාර්යෝත්ම පූජ්‍ය උණවටුනේ ධම්මපාල මා හිමියන්ගේ අපවත් වීමෙන් පසු ධර්මපාලාරාමයේ අධිපති පදවියට පත් වූහ. පර්චස් 10 ක් පමණ තිබුණු ආවාසය ආරාමයක් බවට පත් කර මහා විහාරයක් ගොඩ නැගුණේ ධම්මාවාස නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසාය.

දැනට අක්කර භාගයක් පමණ විහාර භූමිය තුළ දා ගැබ, බෝධිය, විහාරය, සීමා මාලකය,

පුස්තකාලය, ලැගුම් ගෙවල්, ධර්මශාලා ආදියෙන් ආරාමය අංග සම්පූර්ණකර ඇත. ගල්කිස්ස ආරාමයට අමතරව කතරගම උපාලි ධර්මාශ්‍රමය, නේපාලයේ චාරුමතී රජමහා විහාරය, බුරුමයේ බෞද්ධ මධ්‍යස්ථානය කොටුගොඩ නාහිමියන් සතු විහාර ආරාමයන්ය.

 

නිලතල හිමිවීම

 

1970 දී තමන්වහන්සේ අයත් අමරපුර පාර්ශවයේ සංඝ සභික ධූරයට පත් වූ කොටුගොඩ මහා හිමියෝ පසුව අධිකරණ සංඝ නායක පදවිය, ලේඛකාධිකාරී ධූරයද, අනුනායක පදවියද, එයින්

අනතුරු මහා නායක පදවියටද පත්වූහ. අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකම් පදවියකට කොටුගොඩ නා හිමියන් පත්කර ගත්තේ එවකට සංඝ සභාවේ සභාපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත කොස්ගොඩ ධම්මවංශ මහා නා හිමියන් වහන්සේය. පැවරුව වගකීම නිවැරදිව, මනාව ඉටු කිරීම නිසා කොටුගොඩ නා හිමියෝ සංඝ සභාවේ ලේඛකාධිකාරී, මහ ලේඛකාධිකාරී, සංඝ සභාවේ සභාපති පදවි හොබවා 2017 වසරේදී සමස්ත අමරපුර මහා නිකායේම උත්තරීතර මහා නායක පදවියට පත් වූයේ අති පූජ්‍ය දඹුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන්ගේ අපවත් වීමෙන් සිදු වූ පුරප්පාඩුව සඳහාය.

1964 සැප්තැම්බර් 17 වෙනි දිනට යෙදුන අනගාරික ධර්මපාල තුමාගේ සියවෙනි ජන්ම දිනය

නිමිත්තෙන් අනගාරික ධර්මපාල ධර්මදූත සංගමය අරඹා හිටපු අගවිනිසුරු හේව බස්නායක

මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා බෞද්ධ ප්‍රබෝධයකට මග සැලසූහ. ධර්මපාලතුමන් ජන්ම සමරු සියවන සංවත්සරයේදී ලංකාවේ ස්ථාන සියයක ධර්මදේශන සියයක් එකවර පැවැත්වීමට නායක හාමුදුරුවන් සංවිධානය කළේ මහත් වගකීමකිනි. දෙහිවල බෞද්ධ සංගමයේ අනුශාසනක පදවිය දරමින් ධර්ම පත්‍රිකාවන් වසර තිහකට ආසන්න කාලයක් මාසිකව ලියා පළ කළ නායක හාමුදුරුවෝ, දහම් පොත් 36 ක් පමණ ලියා පළ කළහ. ඒවා සියල්ල මුදලට අලෙවි කරන දහම් පොත් නොවීම විශේෂත්වයකි.

 

සුමධුර දෙසුම

 

නාහිමියන්ගේ දහම් දෙසුම සුවිශේෂීය. ත්‍රිපිටකය ධර්මය පිළිබඳව ඇත්තේ හසළ දැනුමකි. සිංහල සාහිත්‍යය, ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් තිබුණි. මේ නිසා ත්‍රිපිටක ධර්ම විශාරද ගෞරව උපාධිය මියන්මාර් රාජ්‍යයෙන් පිදෙන අග්ගමහා පණ්ඩිත උපාධිය ආදී දෙස් විදෙස් ගෞරව නාම සම්මුති හා උපාධිවලින් කොටුගොඩ මහා නා හිමියෝ සම්මානිත වූහ.

අමරපුර භික්ෂු වංශය මෙරට අරඹා වසර 200 පිරීම නිමිති කරගෙන නිකායික නව පුනරුදයට මහා විශාල ශක්තියක් වූයේ කොටුගොඩ මහා නා හිමියන්ය. නිකායේ සංඝ මූලස්ථානය ගොඩ නැංවීම, නිකායික ධජය නිර්මාණය කිරීම, නිකායේ නව ව්‍යාවස්ථා සම්පාදනය කිරීම, ගිහි දායක සභාව පිහිටුවීම, අමරපුර - රාමඤ්ඤ නිකායන් දෙක සමගි වී සංඝ සංස්ථාවක් පිහිටුවීම කොටුගොඩ මහා නා හිමියන්ගේ අසිමිත සේවාවේ ප්‍රතිඵලයන්ය.

බුරුමයේ සංචාරයක යෙදුණ එක් අවස්ථාවකදී නායක මා හිමියන්ට යෝගාවවර බුරුම ජාතික හිමි නමක් පවසා ඇත්තේ ඔබේ රටේ සිටි දුටු ගැමුණු නැමැති මහා රජෙකු බුදු සසුන බේරා ගැනීමට යුද වැදී සිටියා. යුදයට ගියේ මහ සඟ රුවනත් පිරිවරාගෙන. ඔබ වහන්සේ එදා යුද්ධයට ගිය ගමනේ වැඩම කළ හිමිවරුන් අතර එක් හිමි නමක් යනුවෙනි.

1960 වසරේ සිට 2020 දක්වා වසර හැටක් ගල්කිස්ස ධර්මපාලාරාමයෙන් ලොව පුරා ගලා ගිය

කොටුගොඩ දහම් ගඟුල හෙළදිව “බණ රජ්ජුරුවෝ” හෙවත් අමරපුර මහා සඟරජු දැන් දැයෙන් සමුගෙන හමාරය. උන්වහන්සේ වැනි මහ තෙරවරුන් වහන්සේ අප රටට වැඩි වැඩියෙන් අවශ්‍යව ඇති යුගයක අපි ජීවත්වෙමු. දෙව්ලොව වැඩම වූ අප මහා නා හිමියන් පමා නොවී යළිත් හෙළදිවටම වැඩමවනු මැනවි.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධූරන්ධර සද්ධර්ම විශාරද අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මා හිමිපාණන් වහන්ස ඔබ වහන්සේ පැතූ බෝධියෙන්ම නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

 

 

නාහිමියන්ගේ හිටපු ලේකම්

අහුන්ගල්ලේ

දේ.සු.ද.සොයිසා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.