අපේ කාලයේ සුමධුර ධර්මදේශකයාණන් වහන්සේට නිවන් සුව පතමු

අප්‍රේල් 2, 2021

බණ දහම් අප කොතෙකුත් අසා ඇත. ඒත් සිතට දැනෙන හදවතේ පැළපදියම් වන බණ දහම් අප අසා ඇත්තේ දෑතේ ඇඟිලි ගණනට වන්නට පුළුවන. ඒ අතර මාගේ දහම් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂය වන්නේ එක්තරා දම් දෙසුමක් යයි කීවොත් ඔබ පුදුමයට පත් නොවනවා ඇත. සැබවින්ම මීට දශක කීපයකට එපිට රාත්‍රියක හුදෙකලා බවින් වේලී සිටි මට ගුවන් විදුලියේ එක්තරා දහම් දෙසුමකට සවන් දීමට හැකි විය.

 

කොතෙකුත් බණ දහම් අසා තිබූ මට ඒ ආකර්ෂනීය හද බැදගත් ආදරණීය පහන් සිතිවිලි දනවන ඒ ධර්ම දේශනාව තරම් වෙනත් නොවු තරම් ය. එදා පටන් මට ඒ ධර්ම දේශකයාණන් වහන්සේ සියැසින් දැක ගැනීමට සිත් විය. වසර ගණනාවකට පසු උන්වහන්සේ මට මුණ ගැසුණහ. මට ඒ දිනය හරියටම අද වගේ මතකය ඒ සොඳුරු දේශකයාණන් වහන්සේ වෙන කවුරුවත් නොව ශ්‍රී අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා යතිවරයාණන් වහන්සේ ය.

එදත් මා උන්වහන්සේගෙන් බණ ඇසුවෙමි. එයට පසු මා උන්වහන්සේට සමීප වීමට තරම් භාග්‍යවන්ත වීමි. කාලයාගේ ඇවෑමෙන් මා උන්වහන්සේගේ සමීපතමයෙකු විය. දිනෙක මා සුබසෙත පුවත්පතේ මුල් පිටුවේ නාහිමිපාණන් හට සෙත් කවියක් ලියා පින්තූරය සමඟ පල කළෙමි. එය ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විසින් මුමුණනු බව දන්නා නිසා ය. එවිට එම ලක්ෂ සංඛ්‍යාත පිරිස වෙතින් කියැවෙන සෙත්කවිය මුවින් මුව මන්තරයක් සේ ජපවනු ඇත. එක් අයකු සෙත් කවියක් දේව මන්දිරයේ ගායනා කරනවාට වඩා එය සාර්ථකය. සෙත් කවිය පළවී සති දෙකකට පසු මගේ දුරකථනය නාද විණි. මම එයට සවන් දුනිමි. ප්‍රතිවිරුද්ධ පැත්තේ මට හුරු ශාන්ත නිහඬ සුපින්වත් හඬකි. ඒ මාගේ හදගත් දේශකයාණන් වහන්සේම ය. උන්වහන්සේගේ පින්බර හඬ අවදි විය. “මහත්තයෝ මහත්තයාගෙ සෙත් කවිය වැඩ කළානේ” මට සිතා ගැනීමට නොහැකි විය. උන්වහන්සේ යළි මෙසේ කියන්නා හ. ඔබතුමා අපටත් නොකියා පත්තරේ සෙත් කවියක් පලකරලා තිබෙනවා. ඒක මං මගේ ලියන මේසයේ වීදුරුව යට දමාගෙන නිතර කියවනවා. අපේ කොටුගොඩ දායක මහත්වරු පිරිසකුත් ඒක බෝධි පූජා අවසානයේ කියවල තිබෙනවා. ඒකෙන් මට පුදුම සුවයක්නේ මහත්තයෝ ආවේ. උන්වහන්සේ එසේ කියද්දී මට දැනුනේ අනේකවූ, සතුටකි. ඊට තවත් සතියකට පසු උන්වහන්සේට අමරපුර නිකායේ උත්තරීතර මහානායක පදවිය ද අග්ග මහා පණ්ඩිත නම්බු නාමයද හිමිවිය. මාගේ සෙත් කවියේ ආනුභාවය ඊට යම් තරමක හේතුවක් වූවා යයි උන්වහන්සේගේ අදහස විය. ඒ බව මට විටින් විට උන්වහන්සේ පවසා සිටියහ.

මෙසේ දිනෙන් දින දැඩි ලෙන්ගතුකමින් අපේ මිත්‍රත්වය දලුලා වැඩෙත්ම සුබසෙත පුවත්පතට වසර 50 ක් සපිරීමේ උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඡ්‍යොතිෂවේදීන් ගුප්ත විද්‍යා වේදීන්, හස්ත රේඛා විශාරදයින් හා ආයුර්වේද වෛද්‍ය විද්වතුන් දෙසීයකට ආසන්න පිරිසකට සම්මාන නම්බුනාම පිරිනැමීමට කටයුතු සංවිධානය කෙරිණි. එහි මුලසුන සඳහා මාගේ සිහිනය වූවේ අපේ පින්බර කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් මුලසුනේ හිඳුවා උත්සවය සිදු කිරීමටය. මගේ බලාපොරොත්තුව සපල විය. උන්වහන්සේ ඒ වන විටත් අසනීප තත්ත්වයේ පසුවුණත් මාගේ ඇරයුමට අනුව එහි වැඩම කළා පමණක් නොව මුලසුණ හොබවමින් පිරිස පංචශීලයෙහි පිහිටුවමින් හා සුමධුර දේශනාවක්ද සිදුකර අවසානයේ දෙසීයකට ආසන්න විද්වත් පිරිසකට සියතින්ම ත්‍යාග සහතික ප්‍රදානය කිරීමට කටයුතු කළහ. ඒ පමණකුදු නොව ඒ සියලුම දෙනාට සහතික පත්‍රය පිරිනමන ගමන්ම වෙන් වෙන් වශයෙන් පිරිත් දේශනා කරමින් ඒ අයගේ තොරතුරු විමසමින් පැය හතරකට ආසන්න කාලයක් මුලසුනේම වැඩහිඳ කළ සේවාව කිසිවකුටත් අමතකවී ඇතැයි මම නොසිතමි. ඒ වෙහෙසකාරී අවස්ථාව සිය යුතුකම ලෙස සලකා කළ කැපවීම සැමගේ පුදුමයටත් ඇගයුමටත් හේතුවිය. වැඩසටහන අවසානයේ වේදිකාවේ ඉතිරි වූ එකම ආරාධිත ප්‍රභූවරයා වූයේ ද උන්වහන්සේමය. එවන් අවස්ථා පටන් ගැනීමේ සිට අවසානය දක්වා ඉටුකිරීම උන්වහන්සේ තුළ තිබූ අපරාජිත යුතුකමක් බව මම දනිමි. එවන් උත්තරීතර හිමි නමකගේ අඩුව අදටත් වඩා අපට හෙට දින දැනෙනු ඇත. අපට සිටි ඒ යෝධ ශක්තිය සැබවින්ම කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේමය. අප උන්වහන්සේට නිවන් සුව පතමු.

 

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.