වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි..
සිය රාජිණිය ක්‍රෑර මරණයෙන් ගළවා ගත් ධූරා ජයමාලී දේවිය වෙතින් ලද වරයට ගරු කරන්නාක් මෙන් හිස නවා ආචාර කර, සෙමෙන් නැගී සිටියේය. මේ වන විට ඒ අවට හුන් සියලුම සෙබළුන් සටන් නවතා තුෂ්ණිම්භූතව ධූරාගේ මහා වික්‍රමය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියහ. සිටි සිටි තැන්වලම ගල් ගැසී උන් ඔවුන් පෙනී ගියේ සෙල් රූ පරිද්දෙනි. මහාසිද්ධ මහරජතුමන් සහ ගෝරාවරුන් ඇතුළු හෙළ බළ සේනාවම බලාගත් බැල්මෙන් ඒ දෙස බලා සිටියහ.
ධූරාට මේ කිසිවක වගේ වගක් නොවීය. ඔහු ආපසු හැරී එක එල්ලේම බැලුවේ හරේරා දෙසය.
වයඹ දිග කාන්තාර ප්‍රදේශයේ අති දරුණු පුද්ගලයන් ලෙස නම් දරා සිටි ලුන්ඩා ගෝත්‍රිකයනුත්, ප්‍රබල කඩු සටන් කරුවන් වූ බටහිර කාළවර්ණ අධිරාජ්‍යයේ ගෝත්රිකයිනුත්, ඇසිපිය හෙළනා සැණින් කඩුගා දැමූ මේ අසාමාන්‍ය හෙළ රණශූරයා දෙස හරේරා භීතියෙන් යුතුව බලා සිටියේය. සත්‍ය වශයෙන්ම මොහු කවරෙක්ද? මේ හෙළ රණශූරයා ගේ දක්ෂතාවය දෙස බලන විට හර්ෂදේවයන් ළදරුවෙකු වැනි යැයි හරේරාට හැඟී ගියේය.
එහෙත් කිසිදා නොමියෙන සදාතනික සත්‍යය වූයේ ධූරා යනු මහා ගෝරාවරුන් සත් කට්ටුවේ
නායක හරඹකරු බවයි. තමන්ට දෙන ලද නියෝගයක් කිසිදාක ධූරා ඇතුළු මේ ගෝරා හත් කට්ටුව කඩ කර තිබුණේ නැත. එසේම ඔහු මෙයට පෙර කිසිම විටෙක සිය බල ශක්තිය ප්‍රදර්ශනය කර තිබුණේද නැත. ආදී හෙළ යක්ඛ හටන් බලවේග සමගත්, කසිණ භාවනා වලත්, හෙළ යෝගා සම්ප්රදායේත්, මන්ත්‍ර සහ තන්ත්ර විද්යාවන්ගෙත් ඉහළම හිණිපෙත් වලට පිවිස සිටි ධූරා, ගුරු පරම්පරාවන් අටක හරඹාචාර්යවරුන් යටතේ හෙළ සටන් ශිල්ප සහ ගුප්ත විද්‍යාවන් ද හදාරා සිටි ප්‍රබල ශිල්ප ධාරියෙක් වූයේය. එසේම එම ගුරුකුල සියල්ලේම හරඹාචාර්යවරුන්ගෙන් ගුරු මුෂ්ඨී ලද්දා වූද, එම ප්‍රධානීන්ගෙන් පසුව තම ශිල්පය ඉදිරියට ගෙන යා හැකි ඉහළම සුදුසුකම් ඇත්තෙකුට පිරිනැමෙන සියලු ගරු බුහුමන් ලද්දා වූද, ඒ වන විට හෙළ දෙරණ මත ජීවමාන වූ විශිෂ්ටතම රණශූරයා වූයේය. එවන් වූ අසමසම හැකියාවන්ගෙන් යුතු මහා පුරුෂයෙකු වූ ධූරා ප්රතාපවත් පියවරින් සහ නොසැලෙන බැල්මෙන් යුතුව තමා දෙසට පැමිණෙනු, හරේරා තම දත් ඇඳී එකට ගැටෙද්දී බලා සිටියේය.
මේ වන විට ජයමාලී දේවිය පිළිබඳව හරේරා තුළ තිබූ ආශාව බින්දුවටම වැටී තිබිණ. ඔහු කිසිවක් කරකියා ගත නොහැකිව බලා සිටියේ ජයමාලී දේවිය වටා විශාල කවයක වැතිර තිබූ සිය ගණනක් වූ මළ මිනී අතරින් සන්සුන් ගමනින් තමා වෙත එන ධූරා දෙසය. මේ වන විට අවට සිටි සියලුම සෙබළුන් සටන් නවතා සිදු වන්නට යන දේ දෙස දෑස් අයා බලා සිටියහ. සතුරු සේනාවේ ඉතිරිව සිටි අවසන් ප්‍රධානියා වූ ඉග්ලීස් රජුද, සියලු බලාපොරොත්තු අතහැර ධූරා දෙස බලා සිටියේය.
හරේරාට පියවර දහයකින් පමණ මෑතින් නතර වූ ධූරා, සන්සුන් බැල්මෙන් එක එල්ලේම හරේරා
දෙස බැලීය. මරණයේ සේයාව රැඳුණු මේ ප්‍රබල තරුණයාගේ බැල්ම දරාගත නොහැකිව හරේරා
නොසන්සුන් වූයේය. ධූරා කාළවර්ණ බටහිර දේශවාසීන්ගේ බසින් සන්සුන්ව කථා කළේය.
“නුඹ පරාජිතයි. නුඹ අපේක්ෂා කළේ අපගේ රාජ මාතාවට අත තියන්ටද? අපේ අවසාන රුධිර ධාතුව හෙළ දෙරණේ සැලෙනා තුරාවට හෙළ අධිරාජ්‍යයත්, එහි රාජ පරම්පරාවත් වෙනුවෙන් හටන් වදිනවා. නුඹ හෙළ දෙරණට පා තැබුවේ එය නොදැනද? හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි. ඒ බව නුඹ නොදන්නවාද?”
බටහිර දේශවාසී බසින් කථා කරනා රණශූරයා දෙස හරේරා විමතියෙන් බැලීය.
“නුඹ මට කියා සිටින්නේ කුමක්ද?”
ධූරාගේ මුවේ ඇඳී ගියේ ප්‍රබල වූ සන්සුන් මන්ද හාසයකි.
“මා නුඹට අභියෝග කරනවා හරේරා... නුඹට අපගේ රාජ මාතාව අවශ්‍ය නම් එය කළ යුත්තේ මාගේ මළ සිරුර මතිනුයි...”
එසේ පවසනවාත් සමගම ධූරා ක්ෂණිකව සටන් ඉරියව්වකට පත් වූයේය. විමතියට පත්වූ හරේරා
කිසිවක් කරකියාගත නොහැකිව සිය කාන්තාරවාසී ගෝත්‍රික කඩුපත් යුවළ ඇද ගත්තේය. එසේ නම් මෙම රණශූරයා මරා දැමීමෙන් පසුව තමාට අර රූමතිය හිමි විය යුතුය. මෙසේ සිතූ හරේරා කල්පනාකාරීව ධූරා වටා කුරුමානම් ඇල්ලුවේය. සිම්ජා මිය ගියේ ඉවක් බවක් නොමැතිව පහර දෙන්නට යාම නිසාය. එහෙත් කල්පනාකාරීව සටන් කිරීමෙන් මෙම රණශූරයා මරා දමා තමාට අර රූමතිය ලබාගත හැකිය. හොඳීන් කුරුමානම් ඇල්ලූ හරේරා එකවරම නිහඬව ඉදිරියට පැන ධූරාට කඩු පහරවල් කීපයක් එල්ල කළේය.
සිය අසිපත් කොපුවේ තිබියදීම ධූරා හරේරාගේ කඩු පහරවල් වලින් ඉතාම පහසුවෙන් ගැළවුණේය. ඒ සියලුම පහරවල් එන ආකාරය ධූරා කල්තබා දැන සිටියාක් මෙනි. මෙහිදී හරේරාද කල්පනා කළේ මෙම පුද්ගලයා එසේ මෙසේ තැනැත්තෙකු නොවනා බවයි. කපටි නුවණකින් යුතු මොහු ඊළඟට කුරුමානම් අල්ලන අතරතුර දී, සිය හිණේ රඳවාගෙන සිටි හලාහල විෂ පොවන ලද ලෝහමය කූරක් හෙවත් කලින් මහරජතුමන්ට පහර දුන් ජිස්ඩාකෝන් අවියක් අතට ගත්තේය. සිය කඩුපත් යුවළ සමගම සෙමෙන් එහා මෙහා කරකවමින් සිටි හරේරා එක් අතකින් කඩු පහරක් එල්ල කරන ගමන්ම, අනෙක් අතින් සූක්ෂම ලෙස අර තියුණු කූර ධූරා වෙත දමා ගැසීය.
හරේරා කිසියම් වංචාවක් කරන්නට යන බව ධූරාට වැටහී ගොස් තිබිණ. එම නිසා ඔහු ඉතා
කල්පනාවෙන් පසු වූයේය. අසිපත් පහර සමගම හී තලයක් වැනි යමක් වේගයෙන් තමා වෙත එන බව දුටු ධූරා ක්ෂණිකව ඒ මාර්ගයෙන් ඉවත් වූයෙන්, අර විෂ පෙවූ කූර ඇදී ගොස් පියවර ගණනක් ඈතින් බිම උල ගැසී ගියේය. ඒ සමගම හරේරාගේ අවධානය බි¼දී ගියෙන්, ඇසිපිය ගසන නිමේෂයෙන් ධූරා ඉදිරියට පැන්නේ හරේරාගේ මුහුණට වේගවත් මුෂ්ඨි පහරක් එල්ල කරමිනි. පහරේ ප්රබලත්වයට සිය කඩුපත් දෙක අතහැරුණු හරේරා පියවර කිහිපයක් පසුපසට විසිවී ගොස් බිම ඇද වැටුණේය. නාස් පොල්ල කැඩී ගොස් රුධිරය ගලා හැලෙද්දී කලබල වූ හරේරා දනි පනි ගා නැගිට, වැටී තිබූ අසිපත් යුවළ ගන්නට පහත් වූවා පමණි...
සුළි සුළඟක් තමා වටා ක්ෂණිකව හමා බැස්සාක් වැනි හැඟීමක් හරේරාට ඇති වූයේය. ඒ සමගම කිසියම් ප්‍රබල පුද්ගලයෙකු හරේරාගේ පසෙකින් පැමිණ, ඔහුගේ දෑතම එකට හිර වන සේ ප්‍රබල ගැටයක් යොදා ඔසවා ගත්තෙන්, දඬු අඬුවකට හසු වූවාක් මෙන් හරේරා අසරණව දඟලන්නට වූයේය. අවට සිටි සියල්ලෝම තියුණු කරගත් දෙනෙතින් යුතුව මේ නිරායුධ සටන දෙස බලා සිටියහ.
දැඩි ග්‍රහණයකින් හරේරා අල්ලා ගත් ධූරා ඔහුගේ කනට සෙමෙන් කෙඳීරුවේය.
“අපගේ මහා මෑණියන් හට අත තබන්නට තෝ කවරෙක්ද නීචයෝ? ගවමස් බුදින පරයා... වර යන්ට...”
මෙසේ හරේරාගේ කනට කෙඳීරූ ධූරා, අර දැඩි ග්‍රහණය පිටින්ම ඔහු අල්ලාගෙන ජයමාලී දේවිය
වෙත බලෙන්ම ඇදගෙන එන්නට වූයේය. කෑදර කමින් තමාව ග්‍රහණය කරගන්නට තැත් කළ පුද්ගලයාව තමා වෙත දැඩි ග්රහණයෙන් ඇදගෙන එන ධූරා දෙස, ජයමාලී දේවිය ආඩම්බරයෙන් බලා සිටියාය. දැඩි ග්රහණයෙන් හරේරාව අල්ලා ගෙන ජයමාලී දේවිය අසලට ඇදගෙන ආ ධූරා, හරේරාගේ දෙදණ පිටුපසට පා පහරක් දුන්නෙන්, ඔහු ජයමාලී දේවියත්, ඇයගේ ප්‍රබල කඟවේණා වූ ධමූලාත් ඉදිරියේ දණ ගැසී ගියේය. සතුරු සේනාවේ සියලුම දෙනා හරේරාට අත්වන මේ ශෝචනීය ඉරණම දෙස කම්පාවෙන් බලා සිටියහ. මෙහිදී මහාසිද්ධ මහ රජතුමෝ සිය කඟවේණා වූ සුබායු පිට නැගී ජයමාලී දේවිය සිටි තැනට පැමිණියෝය.
ජයමාලී දේවිය ඉදිරියේ දෙදණින් නැගී සිටි හරේරා, මුළු සිරුරම කාළවර්ණ සන්නාහයකින් වැසී
තිබූ මේ රූමතියගේ මුහුණේ අභිරාමවත් සෞන්දර්යය දෑස් පුරා රස වින්දේය. මුළු මහත් වයඹ දිග කාන්තාර දේශයේම මෙවන් රූප සෞන්දර්යයකින් යුතු ගැහැනියක නොවූ බව නම් හරේරාට සහතිකය. මහාසිද්ධ මහ රජතුමන් මේ දෙස උපහාසයෙන් යුතුව බලා සිටියේය. ධූරා මෙහිදී සිය ප්‍රබල හඬ අවදි කළේය.
“නුඹ දන්නවාද මේ කවුරුන්ද කියා? කියාපිය. නුඹගේ මහ ලොකු යෝධයින් කියන මිනීමස් බුදින
ම්ලේච්ඡයින් යොදවා අල්ලා ගන්නට තැත් කළේ කවුරුන්ද කියා දන්නවාද?”
මෙහිදී ඇයගෙන් දෙනෙත ඉවතට නොගෙනම හරේරා දෙපසට හිස සැලීය.
“මේ අපගේ හෙළ අධිරාජ්‍යයේ මහා රාජිණිය. නුඹ විසින් විෂ විදින්නට යෙදුණු අපගේ මේ තුන්වන මහාසිද්ධ මහරජතුමන්ගේ බිසව, ජයමාලී දේවිය.”
හරේරාගේ මුව ඉමහත් සේ ඇදී ගියේය. ඇය දෙස දෙනෙත් නොපියා බලා සිටි හරේරා ඉන්පසුව
ඇය අසලම සිටි ඒ මහා සූර්ය පුත්‍රයා දෙස බැලීය. ඇයගේ උත්තරීතර ස්වාමියා මොහුය. රාගයෙන් සහ ද්වේෂයෙන් සිහි විකල් වූ හරේරා මහරජතුමන්ට පහර දෙනු පිණිස, තමාගේ හිණේ වූ තවත් විෂ පෙවූ ලෝහමය කූරක් හෙවත් ජිස්ඩාකෝන් අවියක් අතට ගත්තා පමණි...
පිටුපසින් සිටි ධූරා වාත වේගයෙන් ක්‍රියාකාරී වූයේය. ඇසිපිය හෙළන සැණින් හරේරාගේ දකුණත
සහ ගෙළ හිර වන සේ ක්ෂණික ගැටයක් යෙදූ ඔහු අයෝමය ග්‍රහණයකින් යුතුව වැරයේ සිර කර අඹරා දැම්මෙන්, සුසුම්නාවත්, බෙල්ලේ නහර සියල්ලත් කැඩී ගිය ස්ත්‍රී දූෂක කෑදර හරේරා, මුවින් ලේ උතුරවමින් ජයමාලී දේවිය ඉදිරියේ මැරී බිම පෙරළී ගියේය. රාජකීය යුවළ ඉදිරිපිට නිහඬවම ගෝරා නමස්කාර මුද්‍රාවෙන් ආචාර කළ ධූරා ආපසු හැරී, මිට මෙළවූ සුරත අහසට ඔසවා සංඥා කළෙන්, හෙළ බළ සේනාවේ ජයෝන්නාදයෙන් යුද්ධ භූමිය කම්පා වී, ප්‍රකම්පා වී ගියේය.
මතු සම්බන්ධයි.