වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අවසන් සටනට සූදානම්ව...
ජනවාරි 10, 2020
සිය මහා රාජිනිය සංග්‍රාමයට පිවිසි බව දැනගත් ගෝරාවරුන් මෙන්ම පාබළ බළ සේනාවේ
සාමාන්‍ය සෙබළුන් ද වඩාත් ධෛර්යය සම්පන්නව සටන් කරන්නට වුවද, අමානුෂික ලුන්ඩා යෝධයින් සහ අශ්වාරෝහක සතුරු සෙබළුන්ගේ ප්‍රහාරයන් හමුවේ ඔවුන් කෙමෙන් කෙමෙන් පසු බසින්නට වූහ. කාය ශක්තියෙන් සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් කිහිප ගුණයකින් යුතු වූ මේ මාංශ භක්ෂක තිරශ්චීන මිනිසුන්, සිය දැවැන්ත මුගුරුවලින් සහ කඩතොළු සහිත අසිපත් වලින්, හෙළ සෙබළුන් ගණනාවකගේම දිවි තොර කළේ මෘගයන් මෙනි.
ගෝරාවරුන් මෙන් සටන් ශිල්පයේ ඉහළ හිණිපෙත්වලට පිවිස නොසිටීම සහ ගුප්ත විද්‍යාවන්
වලට සම්බන්ධ නොවීම සාමාන්‍ය සෙබළුන්ගේ පසු බැසීමට හේතු වීය. එම නිසා ඔවුන් සතුරන්ට පහර දෙමින්, සැඟවෙමින්, ඒ මේ අත පනිමින් බොහෝ වෙහෙසට පත් වූහ. එම නිසා ඔවුන්ට කළ හැකි වූයේ ගෝරාවරයෙකු සිදු කරන මෙහෙවරකින් කොටසක් පමණි. මෙම සිදුවීම නිසා ගෝරාවරුන් පිරිස සතුරු සෙබළුන් කපාගෙන ඉදිරියට යාමත්, සාමාන්‍ය හෙළ සෙබළුන් පසුපසට යාමත් සිදු වූයේ නිරායාසයෙනි. ජයමාලී දේවිය සමග සටනට වැදුණු ගෝරාවරියන්ගේ කණ්ඩායම ද බල සේනාව පෙරමුණේ ඇතිවූ සාමූහික සහ ද්වන්ධ සටන් හේතුවෙන් පෙරමුණට යා නොහැකිව එහා මෙහා පනිමින් කුරුමානම් ඇල්ලූහ.
සිද්ධීන් මෙසේ සිදු වෙත්දී පෙරමුණේ සටන් කළ ධූරා ඇතුළු ගෝරාවරුන් කණ්ඩායමට මෙන්ම,
ජයමාලී දේවියටද ඉවෙන් මෙන් වැටහී ගියේ මෙම සංග්‍රාමය සාමාන්‍ය ආකාරයට කාය ශක්තියෙන් හෝ ශිල්පීය තාක්‍ෂණයෙන් පමණක් සිදු කළ නොහැකි බවයි. දහඅට දහසක ගෝරා බල ඇණියකින් සමන්විත වූද, දහස් ගණනක සාමාන්‍ය හෙළ පාබළ සේනාවකින් සමන්විත වුවද, අමානුෂික ලුන්ඩා යෝධයින් සහ මිනිස් රුධිර ගන්ධයට හුරු කරන ලද තිරශ්චීන ඇත් බළකායකින් යුතු මේ මහා සතුරු සේනාව පරදාලීමට අධිමානුෂික බලතල සහ හෙළ ආදි මහා යක්‍ෂ බලවේගවල සහය පැතීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී පැහැදිලිවම පෙනී ගියේය. මේ වන විට සිංහල පැය අටක් පමණ සංග්‍රාමයට ගත වී ගොස් තිබිණ.
රාජකීය කඟවේණ ධේනුව වූ විශ්වාසී ධමූලාගේ පිට නැගුණු ජයමාලී දේවිය දෙස දෙනෙත්
නොපියා බලා සිටි තවත් තැනැත්තෙක් මෙහි දී සිටියේය. ඒ නම් කෑදර දෙනෙතින් ඇය දෙස බලා සිටි හරේරා වූයේය. කාළවර්ණ සන්නාහයකින් වැසී පැවතියද, මේ අභිරාමවත් රූමතිය ගේ පහස පිළිබඳවම තොළකට ලෙවකමින් කල්පනා කළ හරේරාගේ අපේක්‍ෂාව වූයේ හෙළයේ මහා රාජිනිය පණ පිටින් අල්ලාගෙන බලහත්කාරයෙන් හෝ ඇයගේ පහස ලැබීම පමණක්ම වූයේය. එම නිසා තමා අවට සිටි ලුන්ඩා යෝධයින්ගේ ප්‍රධානියෙකුට අඬ ගැසූ ඔහු, කඟවේනෙකු ගේ පිට නැගී වාත වේගයෙන් ඒ මේ අත හැරී සතුරන්ට පහර දෙන ඒ රූමතිය ජීව ග්‍රහණයෙන් ගෙන තමා වෙත ගෙන ඒමට අණ කළේය. එම නියෝගය හිස් මුදුනින් පිළිගත් අර ම්ලේච්ඡ නායකයා, ජයමාලී දේවිය දෙසට අත දිගු කර තම දැවැන්ත ගෝත්‍රිකයන් පිරිසකට තියුණු හඬින් යමක් පැවසූයෙන්, පනස් දෙනෙකුගෙන් පමණ සමන්විත ඒ ම්ලේච්ඡ පිරිස, සතුරු සේනාව කපාගෙන ඉදිරියට පැමිණෙමින් සිටි හෙළයේ මහා රාජිනිය ආක්‍රමණය කරනු සඳහා කවාකාරව විහිදී ගොස් වළල්ලක් ලෙසින් ඇය දෙසට සතුරු සෙනග මැදින් හෙමිහිට ළං වූහ.
වාසනාවකට හෝ අවාසනාවකට සටනේ යෙදී සිටියද, කිසියම් අහඹු සිද්ධියක් සිදු වන්නට යන බව මෙහිදී එක් අයෙකුට දැනී ගියේය. එනම් ජයමාලී දේවියට පියවර ගණනාවකට මෑතින් සතුරන් සමග සටනේ යෙදී සිටි ධූරා හටය. අශ්වාරෝහක ධූරා වටා අවි අමෝරාගත් සතුරු සෙබළුන් ගණනාවක් සිටියද, සිය මහා රාජිනියට යම්කිසි අනතුරක් වන්නට ඉඩ ඇති බව ධූරා හට කිසියම් සවැනි ඉන්ද්‍රියයකින් මෙන් දැනී ගියේය. සිය අශ්වයා හරවමින් සතුරු සෙබළුන් දෙතුන් දෙනෙක් කපා හෙළූ ධූරා, ලද ඇසිල්ලෙන් ජයමාලී දේවිය දෙස බැලීය. ධමූලා පිට නැගී සටනේ යෙදී සිටි මහා රාජිනිය ඔහුට දිස්වූ අතර, ඒ අතර සතුරු සෙබළුන්ට පිටුපසින් හොර රහසින් මෙන් දෙනෙත් නොපියා ඇය වෙතම බලාගෙන ඇයට ළං වන දැවැන්ත ලුන්ඩා ගෝත්‍රිකයන් ගණනාවක් මෙහිදී ධූරාට පෙනී ගියේය. ක්‍ෂණික බැල්මකින් හාත්පස බැලූ ධූරාට පෙනී ගියේ ජයමාලී දේවිය ලුන්ඩා ගෝත්‍රිකයන් විසින් වටලනු ලැබ ඇති බවයි. තව මිනිත්තු
ගණනකදී ඔවුන් සියලුම දෙනා එක්වී ඇයට එකවිට පහර දීමට අර අඳීන බව ධූරාට සක්සුදක් සේ පැහැදිලිය. ඔහු වහාම ක්‍රියාත්මක වූයේය.
මෙහිදී තමා නැග සිටි අසු හරවා අශ්වයා මතින් බිමට පැන්න ධූරා අසුට කිසියම් නියෝගයක්
දුන්නෙන් ඒ බුද්ධිමත් සත්වයා, හේෂාරවය කරමින් සතුරු සේනාව මැදින් ආපසු දුවන්නට වූයේය. හුදෙකලාවම ධූරාගේ අශ්වයා ආපසු දුවන අයුරු දුටු මහා හර්ෂදේවයෝ, සටන් බිම සිසාරා හෙළූ ක්‍ෂණික බැල්මකින් සිදු වන්නට යන දේ සැණින් අවබෝධ කර ගත්හ. එසැණින්ම තමා හා සටනේ යෙදී සිටි සතුරු සෙබළුන් දෙදෙනා අසිපත් පහර දෙකකින් බිම දැමූ මහා හර්ෂදේවයෝ, ධූරා මෙන්ම තමාගේ අශ්වයාද හරවා, අසු පිටින් බිමට පැන කිසියම් නියෝගයක් දී ඒ සෛන්ධවයා රණ බිමෙන් පිටතට පලවා හැර, තමා හා සටනේ යෙදී සිටි ගෝරාවරුන්ට මහා හඬින් කෑ ගසා තමා ඉදිරියට යන බව පවසා ඒ හිස්තැනට ඔවුන් කැඳවමින්, සතුරු සෙනඟ මැදින් වේගයෙන් ඉදිරියට දුවන්නට වූයේය. මහා හර්ෂදේවයන් අසලම හිඳ සටන් කළේ හෙළ අසිපත් කලාවේ අග්‍රගණ්‍ය මහා පද්මනාථ කුමරුන් සියල්ල වටහා ගත්තෙන්, ඔහු වහාම සිය අසු
මෙහෙයවා, හර්ෂදේවයන් ගේ අඩුව පුරවාලමින් ඒ තැනට පිවිසියේය.
මේ කිසිවක් නොදත් ජයමාලී දේවිය, සිය ස්වාමි රාජයා නැති අඩුව පුරවමින් හුදෙකලාවම සතුරු සෙබළුන් කපාගෙන ධමූලා සමගින් ඉදිරියටම ගමන් කළාය. හෙළ දේශය පර සතුරන්ගෙන් ගලවා ගැනීමේ පරම අභිලාෂයෙන් ගමන් ගත් මෙම රාජ මාතාව සතුරු සෙබළුන් ගණනාවකට ජීවිත අහිමි කරමින් ධමූලා පිට නැගී පෙරමුණ ගත්තාය. මෙහිදී තමා පමණට වඩා සතුරු සේනාව මැදට පිවිස ඇති බව ඇයට අමතක වී ගියේය. එසේම තමා දෙස බලාගෙන දැවැන්ත ලුන්ඩා ගෝත්‍රිකයින් පනස් දෙනෙක් තියුණු අවි අමෝරාගෙන සතුරු සෙබළුන් අතරින් තමා දෙසට එන බවක් මේ රූමතිය දැන නොසිටියාය.
දැවැන්ත ලුන්ඩා යෝධයින් රාශියක් කවාකාරව රාජිනිය දෙසට පැමිණෙනු දුටු සතුරු සෙබළුන්
ක්‍රමයෙන් ජයමාලී දේවියගෙන් ඈත් වූයේ සිද්ධ වන්නට යන දේ ඉවෙන් මෙන් ඔවුන්ට වැටහී ගිය නිසාය. මෙහිදී ජයමාලී දේවිය හා සටන් වදිමින් සිටි සතුරු සෙබළුන් කිහිප දෙනා ද වට පිට බලා යමක් තේරුම් ගත්තෙන්, ඔවුන්ද ජයමාලී දේවිය කෙරෙන් ඈතට දුව ගොස්, ලුන්ඩා යෝධයින් හට ඉදිරියට එන්නට සලස්වා පිටුපසට ගියහ. තමා හා සටනේ යේදී සිටි සතුරු සෙබළුන් සියලුම දෙනා හදිසියේම පලා යන්නේ මන්ද යන්න බැලූ ජයමාලී දේවිය වික්ෂිප්ත වූවාය.
දැවැන්ත ලුන්ඩා යෝධයින් විසින් වට කරනු ලැබූ අඩි පනසක පමණ කවාකාර බිම් ප්‍රදේශයක
ජයමාලී දේවිය, ධමූලා සමග හුදෙකලාවම සිටගෙන සිටියාය. අඩි සතක් හෝ එයටත් වඩා උස් වූ විශාල සිරුරුවලින් යුතු මේ අමානුෂික යෝධයින් රාශියක් තියුණු අසිපත් සහ දැවැන්ත මුගුරුවලින් සන්නද්ධව ජයමාලී දේවිය වටලාගෙන සිටියහ. ඔවුන් අවටින් තව තවත් ලුන්ඩා ගෝත්‍රිකයින් ඉදිරියට පැමිණියේ අයෝමය මාංශමය බිත්තියකින් මෙන් ඇයව වට කරමිනි. එයට පිටුපසින් වූයේ සතුරු සෙබළුන් ගේ බළ ඇණියයි. හාත්පසින් වූ සතුරු සේනාව සිය ගෝරාවරුන් සහ සාමාන්‍ය හෙළ සෙබළුන් සමග යුද්ධයේ නිරත වෙද්දී, නොදැනුවත්වම තමා සතුරු සේනාව මැදට පිවිස ඇති බවත්, අමානුෂික ලුන්ඩා යෝධයින් රාශියකට මැදිවී ඇති බවත් ජයමාලී දේවියට වැටහී ගියේ අවසන් මොහොතේය.
මේ ආදරණීය බිසවට සිය ස්වාමි රාජයා සිහි වූයේය. ඔහු මෙහි සිටියා නම්...? තත්ත්වය සහමුලින්ම වෙනස් වනු ඇත. එසේම මහා ගෝරාවරුන් සත් කට්ටුව මෙහිදී ඔවුන්ට පැවරී ඇති රාජකාරිය අනුව යුද්ධය මෙහෙයවමින් සිටිති. දහ අට දහසක් වූ ගෝරා බළ ඇණිය සහ සාමාන්‍ය හෙළ සෙබළුන්, සතුරු සේනාව අබිමුඛයේ සටනේ නිරත වන හෝරාවක තමා දැවැන්ත සතුරු සේනාවක් විසින් වටලනු ලැබ ඇත.
මේ තමාගේ අවසානයද...? තම තිස් හත් වසරක ජීවිතයේ අවසානයද...? මහාසිද්ධ මහරජතුමන් හා ගෙවූ ආදරණීය හෝරාවන් ජයමාලී දේවියට ක්‍ෂණිකව සිහිපත් වූයේය. මේ යුද්ධය අතරමැද දී පවා ඔහුගේ ප්‍රබල උණුසුම ඇයගේ සිත් අගටම දැනී ගියාක් වැන්න. තමාගේ සෙනෙහස නොමැති ජීවිතයක් ඔහු ගෙවන්නේ කෙසේද...? වැඩිමහල් පුත් කුමරුවන් ඇතුළු සිය දූ දරුවන් පස් දෙනාම ඇයට සිහිපත් වීය. අම්මා නොමැති ජීවිතයක් ඔවුන් කෙසේ ගත කරයිද...? සිය මා පිය යුවළ ඇයට සිහිපත් වූයේය. තම වැඩිමහල් දියණිය සතුරන් අතින් මිය යාම ඔවුන් කෙසේ දරා ගනීද...? තම ආදරණීය යහළු යෙහෙළියන්, සිය කාන්තා ගෝරා බළකායේ වීර හෙළ දියණියන් ජයමාලී දේවියට සිහිපත් වීය. එසේම ආදරණීය හෙළ දේශවාසීන් සියලුම දෙනා තමාගේ වියෝව කෙසේ දරා ගනීද...?
ඒ කෙසේ වෙතත් තමන් රණගල හටන් පරපුරේ මහා හරඹාචාර්ය භීමනාථ මහ සෙනෙවියාගේ
වැඩිමහල් දියණියයි. එසේම හෙළ අධිරාජ්‍යයේ අධිරාජයා වන තුන්වන මහාසිද්ධ මහරජතුමන්ගේ බිසවයි. තමා ඒ ගෞරවය තැබිය යුතුය. තමා මිය ගොස් හෝ අනාගතය වෙනුවෙන් හෙළ දේශය සුරක්‍ෂිත කළ යුතුය. අනාගත හෙළයේ මහා අධිරාජයා වන රාවණ ගේ ආගමනයට හෙළ දේශය ලෙයින් සෝදා පිරිසිදු කළ යුතුය. අද දින තමාගේ මරණය හෙට දින හෙළ දේශයේ සහ හෙළ ජාතියේ නිදහස වෙනුවෙනි.
මෙසේ සිතූ ඒ වීර මහා අධිරාජිනිය දිවා හිරු රැසින් රක්ත වර්ණයෙන් ආලෝකමත් වූ ලේ වැකුණු සිය අසිපත අමෝරාගෙන ධමූලා පිට නැගී තියුණු දෙනෙතින් සතුරු වළල්ල සිසාරා බැල්මක් හෙළුවාය. ලුන්ඩා යෝධයෝ තොලකට ලෙවකමින් සෙමෙන් සෙමෙන් කවය කුඩා කරමින් ඇය වෙතට එන්නට වූහ. සිය අවසාන සටනට මුහුණ දෙන්නට සූදානම් වූ ඒ රූමතිය තියුණු අසිපත තරයේ සුරතට ගෙන සතුරන්ට මුහුණ දෙන්නට සූදානම් වූවාය. එහෙත්......
මතු සම්බන්ධයි.