වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
හෙළයේ යක්ෂ ගෝත්‍රික මහා අසිපත් පණ ලැබූ වගයි...
සීතල මීදුම් පටලය කෙමෙන් කෙමෙන් තුනී වී යත්ම, උදා හිරු පායා එන බවට දෙන සළකුණක් මෙන් අරුණෝදයේ ළා හිරු රැස් දහරාවන් සෙමෙන් සෙමෙන් මිහි මතට පතිත වන්නට වූයේ ප්‍රදේශයම අමුතුම ජීව ප්‍රාණයකින් නහවා දමමිනි. සුන්දර වූත්, පෞරාණික වූත් දැවැන්ත ගස් වැල් වලින් වට වී පැවති මහා භද්‍රජෝති ආශ්‍රමය ද සුගන්ධවත් වූයේ මල් සුවඳ සමග එකට එතී පැටලී හමා ආ ඖෂධීය සුවඳ දුම් රැල්ලකිනි. භද්‍රජෝති මහ සෘෂිතුමන් මෙන්ම, එතුමන්ගේ පරිවාර සෘෂිවරුන් සහ මුණිවරුන්ද, ආශ්‍රමයේ සෙසු පිරිස ද ප්‍රබෝධමත්ව කටයුතු කළේ උදා වූ පැහැබර දිනයේ අසිරිය විඳීමිනි.
ගත වූ දින කිහිපයේ භද්‍රජෝති ආශ්‍රමයේ පැවති කාර්ය බහුල තත්ත්වය මදක් සමනය වූවාක් වැන්න. සියලුම දෙනා කටයුතු කළේ මන්ද හාසයෙන් යුතුව ප්‍රීතිමත් සහ උද්‍යෝගිමත් ස්වභාවයකිනි. එම සුවිශේෂී දිනයේ අරුණෝදය එළඹෙන්නටත් පෙරාතුව පටන් බ්‍රහ්ම මුහුර්තියේ සිටම විශේෂ වතාවත් ගණනාවක් එම ආශ්‍රමය තුළ ඉෂ්ඨ සිද්ධ වූයේ ප්‍රබල අරමුණූ ගණනාවක් මුල් කරගෙනය.
මහි අංගන ප්‍රදේශයේ කඳු වළල්ල සිසාරා පැතිරෙන්නට වූ ළා හිරු රැස් දහරාවන් භද්‍රජෝති ආශ්‍රමය සුන්දර රන්වන් ආලෝකයකින් නහවා ලීය. දොර කවුළු පියන් හැර දමා නිදහසේ පැහැදිලි වාතාශ්‍රයට එන්නට ඉඩ සලසා තිබූ ඒ මහා ආශ්‍රමයේ ඇතුළත වූ කොරිඩෝරය දිගේ ගමන් කරමින් සිටියේ භද්‍රජෝති මහ සෘෂිතුමන්ය. එතුමන්ගේ සුරතේ වූයේ පියනකින් වසන ලද රන්මුවා භාජනයකි. කඩිසරව ගමන් කළ එතුමෝ, අසල වූ කැටයමින් අලංකාර වූ පියගැට පෙළක් නැග ගොස්, පංච ලෝහයෙන් කරන ලද අගුළක් සහිත දැවැන්ත දොරක් ඉදිරිපිට නතර වූහ. එම අගුළ සෙමෙන් විවර කල එතුමෝ, මනා වාතාශ්‍රයක් සහිත විශාල කාමරයක් තුළට ඇතුල් වී ප්‍රවේශමෙන් දොර වසා දැමූහ.
සුදු හුණු පිරියම් කර තිබූ ඒ සුවිශේෂී වූ කුටියේ වූයේ මනා කැටයමින් යුතු වූ ඉතා වටිනා ගෘහ
භාණ්ඩයන්ය. උදා වාතාශ්‍රයෙන් මෙන්ම අරුණාලෝකයෙන් ඒකාලෝක වූ ඒ කාමරයේ ජනේලය අසලට වී එතුමන් දෙස බලා සිටි සුදු වන් හෙළ ඇඳුමක් හැඳ, ශ්වේත වර්ණ සළුවකින් දෙවුර වසාගෙන සිටි ප්‍රාංශු දේහධාරී ප්‍රබල පුද්ගලයා දුටු භද්‍රජෝති මහසෘෂිතුමන්ගේ මුවෙහි නැගී ගියේ පුළුල් සිනාවකි. ඒ සිනාවෙන්ම එතුමෝ අර රන්මුවා භාජනය අතට ගෙන අර ප්‍රබල පුද්ගලයා වෙතට සෙමෙන් පිය නැගූහ. මෙහිදී ජනේලය අසල සිටි පුද්ගලයා ප්‍රතාපවත් පියවරින් ඉදිරියට පැමිණ, පසඟ පිහිටුවා භද්‍රජෝති මහසෘෂිතුමන් අබියස නමස්කාර කළේය. ආශීර්වාද කොට එම නමස්කාරය පිළිගත් මහසෘෂිතුමන්, තමා අබියස නැගී සිටි ඒ අසමසම පෞරුෂවත් පුද්ගලයා දෙස, දීප්තිමත් දෙනෙතින් බලා සිටියහ. ඒ නම් හෙළ දේශයේ මහා අධිරාජයා වූ තුන්වන මහාසිද්ධ මහරජතුමන් වූයේය.
දින ගණනාවක පටන් කරන ලද ඖෂධීය සහ ගුප්ත විද්‍යාත්මක ප්‍රතිකාර හමුවේ මේ මහා හෙළ
පුත්‍රයා, නියත මරණයෙන් ගළවා ගනු ලැබුවේ අසමසම වූ හෙළ වෙදකමටත්, හෙළ ගුප්ත විද්‍යාවන්ටත් පින් සිදු වන්නටය. මරණයෙන් ගැළවුණු තැන් පටන් වෙනත් චිකිත්සා ක්‍රමවේද ගණනාවක් යොදා ගනිමින් මේ මහා අධිරාජයා බල ගැන්වූ මහාසෘෂිතුමන් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම, මේ හෙළයේ මහා සූර්ය පුත්‍රයා සද්දන්ත කුලයේ මහා හස්ති රාජයෙකු මෙන් නිරෝගී භාවයෙන්, ශක්තියෙන්, බුද්ධි බල මහිමයෙන්, පෞරුෂත්වයෙන් සහ ශිල්ප ඥානයෙන්ද යළිත් පිරී ඉතිරී ගොස් සිටියේය.
“මේ ඔබ වහන්සේට කරනු ලබන චිකිත්සාවේ අවසාන බෙහෙත් වඩියයි මහරජතුමනි. මෙය පානය කරනු මැනවි. මෙතැනින් පසුව ඔබ වහන්සේට කරන ප්‍රතිකාර සියල්ල අවසන්...”
සිනාමුසු මුහුණින් මෙසේ පවසමින් භද්‍රජෝති මහසෘෂිතුමන් අර රන්මුවා භාජනය මහාසිද්ධ
මහරජතුමන් හට පිළිගැන්වීය. ගෞරව පූර්වකව එය අතට ගත් මහරජතුමෝ, එහි රන්මුවා පියන්පත හැර බැලූහ. එම ඖෂධ භාජනයෙන් හමා ආ ප්‍රබල සුගන්ධයෙන් අර කුටිය පිරී යන්නට ගත් වූයේ සුළු මොහොතකි. මද මොහොතක් ඒ දෙස බලා සිටි මහරජතුමෝ, එයින් කොටසක් පානය කළහ.
“ඔබ වහන්සේට අනේක වාරයක් මාගේ ප්‍රණාමය වේවා මහ සෘෂිතුමනි... ඔබ වහන්සේත්, පරිවාර
සෘෂිවරුන් සහ මුණිවරුන් නොවන්නට අපගේ මහ හෙළ අධිරාජ්‍යය අරාජික වන්නට තිබුණා...”
මහරජතුමන් ගේ මේ ස්තුති පූර්වක වදන් වලට භද්‍රජෝති මහ සෘෂිතුමෝ මද හසක් පෑහ.
“ඔබ වහන්සේ දැන් සිටියාටත් වඩා ශක්තිමත් මහරජතුමනි... ඒ වගේම දැන් ඔබ වහන්සේ ගේ ශරීරයට කිසිදු විෂකින් හෝ බන්ධනයකින් හානියක් කළ නොහැකියි. ඒ තරම් බලවත් තාන්ත්‍රික හෙළ ඖෂධ අප ඔබ වහන්සේගේ රුධිරයට මුහු කළා. කිසිවකට බියක් ගන්නට කාරි නැහැ...”
මෙහිදී මහරජතුමෝ කුතුහලාත්මක බැල්මෙන් මහසෘෂිතුමන් දෙස බැලූහ.
“මාගේ බිසව කොහිද මහසෘෂිතුමනි? ඇය ධූරා සමග සටන මෙහෙයවනවාද? වැඩිමහල් පුතණුවන් සහ මහසෙනෙවි ජයබුද්ධි තවම මෙහි සිටින නිසා ඔවුන් යුද්ධයට මුහුණ දෙන්නේ කෙසේද?”
මහරජතුමන් ගේ පැනයට මෙහිදී භද්‍රජෝති මහසෘෂිතුමෝ මද සිනාවක් පෑහ.
“ඒ සියල්ල නිවැරදිවම ඉෂ්ඨ සිද්ධ වෙනවා මහරජතුමනි. ඔබ වහන්සේ ඒ වෙනුවෙන් කිසිවක් බියක් ගත යුතු නැහැ. ඔබ වහන්සේට නිසි වේලාවට ඔවුන් වෙතට යාමට හැකියි.”
රන්මුවා භාජනයේ තිබූ ඖෂධ සියල්ල පානය කිරීමෙන් අනතුරුව මහරජතුමන් වෙතින් එම
භාජනය අතට ගත් භද්‍රජෝති මහසෘෂිතුමෝ, හිටිවනම දෙනෙත් පියා දැහැනට සම වැදුණහ. තත්පර කිහිපයක් ගත වන්නට ඇත. කුටියේ දොරට පිටතින් තට්ටු කරන හඬින් එතුමෝ දෙනෙත් විවර කළහ.
“ඇතුළට පැමිණෙන්න මාගේ පුත්‍රය...”
මෙහිදී පිටතින් දොර සෙමෙන් විවර කර ගනිමින් කුටිය තුළට ආවේ සුදු රෙදි වලින් මුඛවාඩම්
යොදාගත් මහසෘෂිතුමන්ගේ පරිවාර සෘෂිවරුන් කිහිප දෙනෙකි. ඔවුන් අත වූයේ සුදු රෙදි වලින් ඔතනු ලැබූ කිසියම් වස්තූන් කිහිපයකි. ඒ සියල්ල අර කාමරයේ වූ කැටයම් සහිත දැවමුවා මේසයක් මත තැබූ ඔවුන් ප්‍රවේශමෙන් ඒ සුදු රෙදි ආවරණ ඉවත් කළහ. ඒ තුළ තිබූ දේවල් දුටු මහරජතුමන්ගේ දෙනෙත් ප්‍රබලව දීප්තිමත් වී ගියේය. එහි වූයේ යුද්ධයට යොදා ගන්නා හෙළ අධිරාජයාගේ අංග සම්පූර්ණ ස්වර්ණමය සන්නාහයයි. ප්‍රශ්නාර්ථයෙන් යුතුව මහරජතුමෝ, මහසෘෂිතුමන් දෙස බැල්මක් හෙලූහ.
“මේ ඔබ වහන්සේ ගේ හෝරාවයි. මේ අංග සම්පූර්ණ සන්නාහය පැළඳ ගනු මැනවි. ඔබ වහන්සේ හට යාමට නැකත් සියල්ල සාදා අවසන්. අප සියලු දෙනා පහත මහා ශාලාවේ ඔබ වහන්සේගේ පැමිණීම අපේක්‍ෂා කරනවා මහා සූර්ය පුත්‍රයාණනි...”
දෙනෙතින් වැගිරෙන කෘතඥතා පූර්වක සතුටු කඳුළින් යුතුව ඒ මහා අධිරාජයා තමාගේ දිවි ගළවා ගත් මහසෘෂිතුමන් ගේ දෙපා සිපගෙන නමස්කාර කළේය. දෙවුරහිසින් අල්ලා එතුමන්ව නැගිටුවා ලූ මහසෘෂිතුමන්, මහාසිද්ධ මහරජතුමන් ගේ හිස සෙමෙන් පිරිමැද්දේය.
“අපගෙන් සිදු විය යුතු සියලු කටයුතු ඉෂ්ඨ සිද්ධ කෙරුණා මාගේ පුත්‍රය. දැන් නුඹගේ වාරයයි. නුඹගේ පිය මහ රජාණන් මෙන්ම නුඹද ශ්‍රේෂ්ඨ මහ රජෙක්. නුඹ මෙන්ම නුඹගේ පුත්‍රයාද මේ හෙළ දෙරණ විශ්වයටම ඔසවා තබන ශ්‍රේෂ්ඨ නරපතියෙක් වනු නිසැකයි...”
මෙසේ ආශීර්වාද කළ භද්‍රජෝති මහසෘෂිතුමෝ, සිය පරිවාර සෘෂිවරුන් සමග දොර වසා ගනිමින්
කුටියෙන් ඉවතට ගියහ. ඔවුන් සියලුම දෙනා ගමන් ගත්තේ භද්‍රජෝති ආශ්‍රමයේ තිබූ මහා ශාලාවටය. කිසියම් විශේෂ අවස්ථාවක දී කරනා අන්දමට ඒ රමණීය මහා ශාලාව සුන්දර ලෙස සරසා තිබූ අතර, සන්නාහ සන්නද්ධව සිටි මහ සෙනෙවි ජයබුද්ධි, වැඩිමහල් පුත් කුමරුවන්, ආශ්‍රමයේ ආරක්‍ෂක ගෝරා ප්‍රධානීන් සහ මහි අංගන ප්‍රදේශයේ ආරක්‍ෂක ගෝරාවරුන් රාශියක් එහි ප්‍රතාපවත් ලෙස සිටගෙන සිටියහ. එහෙත් එහි වූයේ පූර්ණ නිසංසල වාතාවරණයකි.
සිංහල පැයක පමණ කාලයක් ගත වන්නට ඇත. උඩු මහලේ දොරක් විවර වන හඬින් සියලුම
දෙනා නිහඬ වූහ. පියගැට පෙළ බසිනා කිසියම් ප්‍රතාපවත් පියවර හඬක් ඇසී ගිය අතර, කොරිඩෝරය දිගේ එම පියවර හඬ ස්ථිර පද පාතයෙන් යුතුව මහා ශාලාවට පිවිසෙන දොරටුව දක්වා පැමිණෙත්ම සියලුම දෙනා හිස් හරවා ඒ දෙස බැලූහ.
රන් වන් කේශර ගසා නැගී සිටින මහා සිංහ රාජයෙකු මෙන් එහි පෙනී සිටියේ හෙළ දේශයේ
ප්‍රතාපවත් මහා අධිරාජයා වූ මහාසිද්ධ මහරජතුමන්ය. පූර්ණ නිරෝගීමත්ව, තේජස් බල පරාක්‍රමයෙන් යුතුව රන්වන් සන්නාහයෙන් සැරසුණු ඒ මහා සූර්ය පුත්‍රයා දැවැන්ත ශාලාවේ දොරටුවෙන් ඇතුළට පිවිසෙත්ම, ආශ්‍රමයේ මහා ඝන්ඨාව ප්‍රදේශය සිරාරා රැව් පිළිරැව් දෙමින් නාද වන්නට වූයේය. මහා ශාලාවේ වූ කැටයම් සහිත රාජකීය ආසනය වෙත පැමිණි ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ ආශ්චර්යවත් ශ්‍රී විභූතිය දෙස සියලුම දෙනා ගෞරව පූර්වකව දෙනෙත් නොපියා බලා සිටියහ. මෙහිදී හෙළයේ මහා අධිරාජයා සතු ඉතිහාසගත මහා සූර්ය වංශික යක්ෂ ගෝත්‍රික රාජකීය අසිපත දෝතින් ගත් භද්‍රජෝති මහසෘෂිතුමෝ මහාසිද්ධ මහරජතුමන් වෙත ගමන් කර, ගෞරව පූර්වකව එය මහරජතුමන් වෙත පිරිනැමූහ.
“හෙළ දේශයේ අනාගතය සුරතින් ගත් මහා සූර්ය පුත්‍රය... දැන් නුඹගේ වාරයයි. මේ හෙළයන්ගේ නිජ භූමිය සතුරන් ගෙන් නිදහස් කර ගැනීම නුඹට භාරයි. අපගේ යුතුකම සහ වගකීම අප නිසි ලෙස ඉටු කළා. දැන් නුඹගේ වාරයයි මාගේ පුත්‍රය. අසමසම පරාක්‍රමයෙන් යුතුව ඉදිරියටම ගොස් මේ ආක්‍රමණිකයන් නසා දමා හෙළ අධිරාජ්‍යය ගළවා ගැනීම නුඹට භාරයි මහා අධිරාජයාණෙනි...”
මෙහිදී මහාසිද්ධ මහරජතුමෝ, ඒ රාජකීය මහා අසිපත ක්‍ෂණිකව රන්මුවා කොපුවෙන් ඇද උදා හිරුකිරණ වැටුණු තියුණූ අසිපත් තලයෙන් කාන්තිය දසත විහිදෙන ලෙස අහසට ඔසවා ලූහ.
“එසේ නම් හෙළයේ වීර පුත්‍රවරුනි... අපගේ හෙළ දෙරණට ජය වේවා...”
ශාලාව පුරා රැව් පිළිරැව් දෙන ලෙස මහරජතුමෝ තියුණු ලෙස ඝෝෂා කරත්ම, හාත්පස සිටි
සන්නාහ සන්නද්ධ සියලුම දෙනා සිය අසිපත් අහසට ඔසවා නැගූ ජය ඝෝෂාවෙන් භද්‍රජෝති ආශ්‍රමය ඒක නින්නාද වී ගියේය.
මතු සම්බන්ධයි.
කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත