අපගේ රාජකාරිය අප අකුරටම ඉටු කළා හූරනි...

ඔක්තෝබර් 11, 2019

සිය දෙසවනට හුරු පුරුදු බටහිර කාලවර්ණ දේශයේ භාෂාවෙන් පැහැදිලිව ඇසුණු ඒ තර්ජනාත්මක හඬින් මෂ්පිණ්ඩි භ්‍රාන්ත වී ගියේය. තමාගේ මුව වසා, අයෝමය ග්‍රහණයකින් සිය ගෙල මිරිකාගෙන සිටි අදෘෂ්‍යමාන තැනැත්තා කුමන අන්දමේ අද්භූත අවතාරයක් දැයි මෂ්පිණ්ඩි, තුෂ්ණිම්භූතව කල්පනා කළේය. වසර අසූ ගණනක සිය ජීවිත කාලය තුළ තමාට මෙවන් සිද්ධියකට මුහුණ පාන්නට සිදු වූ ප්‍රථම වතාවය. යොවුන් වියේ සිටම සිය පියාගේ අභාෂයෙන් ගුප්ත විද්‍යා ක්‍රමවේදයන් ඉගෙන ගෙන තිබූ නමුත්, නොපෙනෙන බලවේගයක් මෙලෙස අදෘෂ්‍යමානව පැමිණ මිනිසුන් හට ප්‍රහාරයක් එල්ල කළ බවක් මෂ්පිණ්ඩි කවරදාක හෝ අසා තිබුණේ නැත. කෙසේ වුවද දැන් එය සිදු වී තිබේ. මේ අවතාරය තමාගේ ඇස් ඉදිරිපිට දීම සිය සෙබළුන් තිදෙනෙකු මරා දමා, මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙළ පැමිණි තමන්වද ග්‍රහණයට ගෙන තිබේ. මොවුන් කවුරුන්ද? බටහිර කාලවර්ණ දේශයේ බසින් පැහැදිලිව කථා කරන්නා වූද, ඇසට නොපෙනෙන්නා වූද, සාමාන්‍ය මිනිසෙකු මෙන් දස ගුණයකටත් වඩා බලවත් වූ මොවුන් කවුරුන්ද? මෂ්පිණ්ඩි ගේ මොළය නානා අන්දමේ මිථ්‍යාවන්ගෙන් පිරී ගියේය.

ඔහුට වැඩි වේලාවක් කල්පනා කරන්නට නොලැබුණි. විද්‍යාජෝති කුමරුවන් විසින් අවශ්‍ය

ආම්පන්න ගෙනවුත් තිබූ නිසා කාර්යය පහසු වීය. මෙහිදී විද්‍යාජෝති කුමරු, තමාගේ ගේ පිටේ රඳවාගෙන තිබූ සම් මඩිස්සලයේ තිබූ විශේෂිත රෙදි කැබැල්ලක් සුරතට ගෙන කිසිවක් සෙමෙන් මතුරා, මෂ්පිණ්ඩි ගේ මුහුණ පිස දමත්ම, හිස කඩා වැටී අප්‍රාණික වුණු මහල්ලා සිහිසුන් වූයේය. ඉන්පසුව එම මඩිස්සලයේම තිබූ ශක්තිමත් සම් වරපට දෙකක් අතට ගත් ඔහු, තවත් කිසිවක් මතුරා මෂ්පිණ්ඩිගේ දෑත පිටුපසට කර අමුතුම ආකාරයේ ගැටයකින් තරයේ බැඳ දැමීය. ඉන්පසුව දෙවන වරපට අතට ගෙන තවත් කිසිවක් මතුරා මෂ්පිණ්ඩි ගේ දෙපය ද ගැට ගසා දැමීය. යම් කිසිවෙකු පිටත හිඳ මේ සිද්ධිය බලා සිටියේ නම් මහල්ලා ගැට ගසා ලූයේ සාමාන්‍ය ඇසට නොපෙනෙන්නා වූද, ගෝරාවරුන්ට පමණක් විෂයය වන්නා වූද, ගුප්ත ශක්තීන්ගෙන් බල ගැන්වූ අදෘෂ්‍යමාන රැහැන් පොටවල්වලින් බව පැහැදිලිවම දකිනු ඇත. ඉන් පසුව අවසානයේ සිය මඩිස්සලයෙන් කාලවර්ණ විශාල රෙදිකඩක් අතට ගත් මහා විද්‍යාජෝති කුමරු, තවත්

කිසිවක් සෙමෙන් මතුරා එම බල ගැන්වූ රෙදිකඩ මෂ්පිණ්ඩි ගේ සිරුර මතට දැමූයෙන්, බටහිර දේශවාසී යක්දෙස්සා, සහමුලින්ම සාමාන්‍ය දෙනෙතින් වසන් වී ගියේය. මෙහිදී

සුවිශේෂී ආකාරයෙන් අර කාලවර්ණ රෙදිකඩෙහි පැති කීපයකින් ගැට ගසා පටි පණුවෙකු මෙන් එම රෙදිකඩෙහිම මෂ්පිණ්ඩිව ඔතා දැමූ මහා විද්‍යාජෝති කුමරුන්, කිසියම් සංඥාවක් කර, දොරටුව අසල සිටි මහා ජීවාලෝක කුමරුන් කැඳවූයේය.

කිසිදු පහන් එළියක් නොමැති ඝන අන්ධකාරය යනු, හෙළ යක්ෂ ගෝත්‍රික ගෝරාවරයෙකු හට තවත් එක දහවලක් පමණකි. තත්පර කිහිපයක් ගත වෙත්ම මහා දවාලක මෙන් ඔවුන් දෙදෙනා යක්දෙස්සාගේ කූඩාරම තුළ තිබූ සියල්ල දැක බලා ගත්හ. මෙහිදී ඉතා පහත් හඬින් හා සංඥාවන්ගෙන් කථා බස් කරමින් මේ හෙළ රණ ශූරයින් දෙදෙනා, ඔවුන්ට වැදගත් යැයි සිතූ කූඩාරම තුළ තිබූ මෂ්පිණ්ඩි ගේ සියලුම අඩුම කුඩුම, පොදි ගසා ගත්හ. පුරාණ පැපිරස් පත්ඉරු වල තිබූ පැපිරස් මන්ත්‍ර පොත්, මෂ්පිණ්ඩි ගේ ජිබ්ලා අඳුන, ඔහුගේ ඇට මාල, ඖෂධ වර්ග තිබූ හෙප්පු කිහිපයක් ආදී තමන්ට ගෙන යා හැකි වූද, වැදගත් යැයි සිතුණු සියල්ල ඔවුන් එකතු කොට ගෙන සිය මඩිස්සල තුළ රුවා ගත්හ.

සිංහල පැයක කාලය ගතවෙත්ම, මහා ජීවාලෝක කුමරුන් විසින් කූඩාරම පිටුපස අදෘෂ්‍යමානව සිටි මහා චන්‍ද්‍රනාථ කුමරුන් හට සංඥාවක් කළෙන්, ඔහුද හෙමින් සීරුවේ බඩගාගෙන කූඩාරම තුළට පිවිසියේය. සියල්ල නූලට රූලට කෙරෙන්නට නම් වහා ක්‍රියාත්මක විය යුතුය. මෙහිදී මහා විද්‍යාජෝති කුමරුන් දෙනෙත් පියා කිසිවක් තොළ මතුළේය. පියාගත් දෙනෙත් පියන් අතරින් මෙහිදී ඔහුට පෙනී ගියේ කඳවුරු භූමියේ ඔවුන් සිටි ස්ථානය වටා සැරිසරන සෙබළුන්ගේ සංඛ්‍යාවයි. සෙමෙන් දෙනෙත් විවර කළ ඔහු සිය සැලැස්ම තම සගයන් දෙදෙනාට හෙළි

කළේය. හිස සැලූ ඔවුන් දෙදෙනා ඊළඟ ගෝරා ක්‍රියාන්වියට සූදානම් වූහ. තමන් පැමිණි ගමනෙහි ප්‍රතිඵලයක් ද තිබිය යුතුය.

විද්‍යාජෝති කුමරුන් විසින් මෂ්පිණ්ඩි ගේ සිරුර ඔසවා කරට ගත් අතර, අනෙක් අඩුම කුඩුම සහිත මල්ල ජීවාලෝකයන්ගේ පිටෙහි රඳවාගෙන තිබිණ. ඔවුන්ට ආරක්‍ෂාව සලසමින් චන්‍ද්‍රනාථ කුමරුන් සෙමෙන් කූඩාරමේ සම් දොරටුව විවර කරගෙන එළියට පැමිණියේය. මේ මහා රණශූරයන් තිදෙනා අර යක්දෙස්සාගේ සිරුර කර තබාගෙන පිටතට පැමිණියත්, ගෝරාවරයෙකුට හැර අන් කිසිවෙකුට නොපෙනෙනු නියතය.

ආ මාර්ගයේම යන්නට ඔවුන් පියවර දහයක් තබන්නට ඇත. අසිපතක් සුරතින් ගත් කාළ වර්ණ

දේහධාරී දැවැන්ත සෙබළෙක් ඔවුන් ඉදිරියට ආවේය. කිසිවක් සිතන්නට වත් කලින් අදෘශ්‍යමාන දෑතකින් නිල ස්ථානවලට වැදුණූ ප්‍රබල පහරවල් දෙකකින් ඔහු කපා හෙළූ කෙසෙල් කඳක් මෙන් ඇද වැටුණි. බිම වැටෙන්නට පෙර ඔහුගේ අසිපත අල්ලා ගත් චන්ද්‍රනාථ කුමරුන්, එම සෙබළා ක්‍ෂණිකව පසෙකට ඇද, මෂ්පිණ්ඩි ගේ කූඩාරමෙහි සම් රෙද්ද තුළට ඇතුල් කළේය. තවත් ඉදිරියට යත්ම, තමන්ට පිටුපා සිටි තවත් දැවැන්තයෙක් එලෙසම හමු වූ අතර, කල් යල් බලා ක්‍ෂණික ගැටයක් යොදා ගෙල අඹරවා දැමූ මහා ජීවාලෝක කුමරුන්, එම සෙබළාගේ මළසිරුරද අසල වූ කූඩාරමක අන්ධකාර මුල්ලකට ඇද තැබීය.

කිසිම හාහූවක් නොමැතිව මහා ජීවාලෝක කුමරු සහ මහා චන්‍ද්‍රනාථ කුමරුන්, මෂ්පිණ්ඩි කර තබාගෙන පැමිණෙන මහා විද්‍යාජෝති කුමරුවන්ගේ මාර්ගය ශුද්ධ කළහ. මුහුණට හමුවන කිසිම සතුරෙකුට සමාවක් නම් හිමි නොවීය. එසේම සිහින් කෙඳීරිල්ලක් වත් නගන්නට ඔවුන්ට කාලයක් නොවීය. හෙළ යක්ෂ ගෝත්‍රික ගෝරාවරුන් ගේ අසමසම දක්‍ෂතාවය හමුවේ මාරයා නිහඬවම සතුරු කඳවුර පුරා සැරිසැරුවේ අද්භූත අන්දමිනි. සිම්ජාත්, ඔහුගේ සගයන් ඇතුළු සිය දහස් ගණනක් සෙබළුන් නින්දේ පසු වද්දී, කඳවුර ඇතුළත නිහඬව සිදු වූයේ මහා මනුෂ්‍ය ඝාතනයකි. හෙළ දෙරණට කළ නින්දාවටත්, සිය මහ රජතුමන් හට කළ අපහාසයටත්, මේ යක්ෂ ගෝත්‍රික ගෝරාවරුන් සිත්සේ වාඩුව පිරිමසා ගත්හ. සිංහල පැය තුනක් පමණ ගත වී ඔවුන් තිදෙනා, කඳවුර වටා පිහිටි ආරක්‍ෂක වළල්ල වෙතට පැමිණෙන විටත්, සතුරු කඳවුර තුළ අතන මෙතන තිබූ අන්ධකාර අහු මුළුවලට ඔබා තිබූ සතුරු මළ සිරුරු සංඛ්‍යාව දෙසියයකට ආසන්න වූයේය.

තමන් සතුරු කඳවුරට ඇතුල් වූ තැනින්ම නොව වෙනත් තැනකින් පිට වන්නට මේ ගෝරාවරුන් සැලකිලිමත් වූහ. එසේම බල ගැන්වූ ගුප්ත විද්‍යාවන්ගේ මහිමයට පින් සිදු වන්නට මේ මහා ගෝරාවරුන් තුන් කට්ටුව හෝ, විද්‍යාජෝති කුමරුන් කර පිට තබාගෙන සිටි අප්‍රාණික මහල්ලාගේ සිරුර ද, කිසිවෙකුට පෙණුනේ නැත. සතුරු ආක්‍රමණයක සේයාවක් නොතිබූ ඒ සීතල, සුන්දර රාත්‍රියේ අඩ සඳ එළියෙන් නැහැවුණු රිදීමැඩිල්ල මහා වෙල් යායේ සතුරු කඳවුර වටා හාත්පස සිටි සන්නාහ සන්නද්ධ ආරක්‍ෂක සෙබළුන්, හෙට දින සිදු වන්නට නියමිත ආක්‍රමණය සිහි කරමින් සතුටු සාමීචියේ යෙදී උන්හ. බියගුළු හෙළයන්ගේ මෝඩකම් ගැන සිනා සෙමින් කථා කළ ඔවුන්, මේ තරම් ප්‍රබල ආරක්‍ෂක වළල්ලක් කඳවුර වටා තිබියදී, කඳවුර තුළ සිදු වූ මිනිස් සංහාරය ගැන හාංකවිසියක් වත් දැන නොසිටියහ.

සතුරු කඳවුරේ ආරක්‍ෂක වළල්ලෙන් හීන් සීරුවේ පිටතට පැමිණි මේ මහා රණශූරයන් තිදෙනා,තවත් සතුරන් කිහිප දෙනෙකු මරා දමන්නට තිබූ ඉමහත් ආශාව දැඩි අසීරුවෙන් මැඩ ගත්තේ යම් හෙයකින් සතුරන් කලබල වුවහොත් සිය ඉලක්ක සියල්ල වැරදී යනු ඇති හෙයිනි. කඳවුරින් පිට වී මද දුරක් ඈතට ගමන් කළ ඔවුන්, ඉන් පසුව සතුරු කඳවුර වටා කවාකාරව ගමන් කර, දික්ගහලෙන කන්දට පිවිසුම් දුන් රහස් මාර්ගය වෙතට පැමිණියහ. තවත් සිංහල පැය දෙකක් පමණ ගත වත්ම ඔවුන් ඒ දැවැන්ත කඳු ශිඛරයට පිවිසුම් දුන් මග ඔස්සේ කන්ද ඉහළට නගිමින් සිටියහ.

කන්දේ මද දුරක් නැග ගිය ඔවුන්, දැවැන්ත ආරිද්ද ගසක් අසල තිබූ තරමක් පැතලි ගල් තලාවක් මතට පැමිණ මෂ්පිණ්ඩි ගේ සිරුර සෙමෙන් බිම තබා, සීතල ගල් තලාවේ හිඳ ගත්තේ විඩා නිවා ගැනීමටය. එම ගල් තලාව ගස් වැල්වලින් මනාව ආවරණය වී තිබූ අතර, අසල වූ දොළ පාරින් දෑත් සෝදා දියබීමෙන් පසුව මේ මහා ශිල්ප සොහොයුරෝ, ගල් තලාව මත හිඳගෙන තරමක් ඈතින්, පහතින් පෙනෙන සතුරු කඳවුර දෙස පරීක්‍ෂාවෙන් බලා සිටියහ. සියල්ල සාමකාමීව පැවතුණි. සතුරු ආක්‍රමණයක සේයාවක් වත් නොතිබූ ඒ අන්ධකාර රාත්‍රියේ නිහඬව තමන් සිදු කළ වික්‍රමය ගැන ආඩම්බර වෙමින් මහා විද්‍යාලෝක කුමරුන් සිය සහෝදර ගෝරාවරුන් දෙදෙනා ගේ කර වටා දෑත් යැවීය.

“මට නුඹලා ගැන ආඩම්බරයි. අපගේ රාජකාරිය අප අකුරටම ඉටු කළා හූරනි...”

විද්‍යාජෝති කුමරුන්ගේ මද සිනාවක් පෑ ජීවාලෝක කුමරුන් සහ චන්ද්‍රනාථ කුමරුන් මන්ද

හාසයෙන් යුතුව සිය ප්‍රබල ගුප්ත විද්‍යා ධාරී ශිල්ප සොහොයුරා දෙස බැලූහ.

“කණගාටුවට කරුණක් වන්නේ හෙළ දේශයත්, යක්ෂ ගෝත්‍රික ගෝරාවරුන් පිළිබඳවත් නොදන්නා මේ තරම් විශාල මෝඩයින් රැළක් ආක්‍රමණයකට යැයි සිතා හෙළයන්ගේ නිජ භූමියට පැමිණ, නිකරුණේ අපගේ දේශයේ පසට පොහොර වී යාමයි. මෙහි පැමිණෙන්නට කලින් උන්ට ඒක සිතන්නට තිබුණා...”

තරමක විහිළුකාරයෙක් වූ චන්ද්‍රනාථ කුමරුන් ගේ මේ කථාවට ඔහුගේ සහෝදර ගෝරාවරුන්

දෙපළ පහත් හඬින් සිනා සෙන්නට වූහ.

 

මතු සම්බන්ධයි.

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.